Thursday, April 29, 2010

කොස් ගහ නුඹයි

කොස් ගහ නුඹයි මගෙ දිවියට බත් ගහය
වරකා නැතිය හැදුනේ වැල පමණමිය
කන්නට ආසමුත් දිය රස පිනවමින
වැල හිද්දාද බැරි ඔය හැටි ගිලගන්න

දිවගට මිහිරිමුත් වැල බැරිනන් ගිලගන්න
වරකා ගසක් බැරිනන් පැල කරගන්න
කන්නට ආස හින්දා කුස පුරවන්න
වැල වරකා නැතිව ගැට පොලොසක් දෙන්න




Tuesday, April 27, 2010

මාතෘකාවක් නොමැත

මගේ ලග උන්නා නම්
දනිමි මා අද කරන දෙය
පෙර පින් ඇත්තියකි
මන්ද යත් නුඹ දුර ඈත වෙන්
තවත් දුර යන්න
ඈතට ඈතටම යන්න
එපා ලං වෙන්න
ලං වුවොත් වෙයි
හිනහෙන්න
කදුලු රස බොන්න
එපා ඉන් සැනසෙන්න
තවත් විදගන්න
හොදටම අඩ අඩා සැනසෙන්න
නුඹට ඔහු හොදනම්
යන්න.......... තව.... තවත්..... ලං වෙන්න
තුරුලටම රිංගන්න
එපා කිසිවිට සතුටු වෙන්නට
දුකම උරුමයි
හැමදාම මේ ලෙසට
දනිමි මම
පිළිතුරක සිත පොරබදන බව
හිනහෙන්න
තවත්.... තව..තවත්.....
දනිමි නුඹ
මට බනින බව........

දුක හිතෙන ඇත්ත කථාවක්

ඔන්න ඉතින් පසන් බබා පුරුදු පරිදි ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන උදේ පාන්දරම පාරට පැනපු කුකුලෙකුත් කිහිල්ලෙ ගහගෙන බස් එකට නැග්ගයි කියමුකො ඉතින් පොඩ්ඩක් වටපිට බලල හොද සීට් එකක් උඩට පතබෑවිල වටේට ඇන්ටනාව දාන් ඉන්න කොට ලස්සන කෙලි පැටියෙක්කියකුත් ගොඩ උනා මේ බස් එකට පැටික්කියෙක් කිව්වට රස්සාවකට යන කෙනෙක් හොදේ ඉතින් ඔය ළමය බස් එකට නැග්ගට පස්සෙ අපේ රියදුරු මාමා ක්ලච් එක දුන්න විතරයි අර කෙලි පොඩ්ඩ දඩෝං ගාලා ගිහින් පිටි පස්සෙ තියන වීදුරුවෙ හොම්බ ඇන ගත්තෙ නැතෑ ඒ සද්දෙ මොකක්ද කියල බලන්න බේරේක් පාරක් ගැහැව්ව විතරයි ආයෙත් ඒ කෙල්ල උඩින් විසිවෙලා ගිහින් ඩ්‍රයිවර් මාමගෙ ඔඩොක්කුවෙ

මගේ පපුව වාවන්නැතුව ගියා මොනව උනත් ඇහට කනට පේන කෙල්ලනෙ මාත් ඉතින් ආබාදිත කෙල්ලෙක් කියල හිතාගෙන සීට් එක දෙන්න කියල හිතාගෙන දත් 32කම එළියට දාගෙන ‍කෙලි පොඩ්ඩ පැත්තට ඇහැ කැරකෙව්වා
මේන් වැඩක් දැන්නෙ සීන් එක දැක්කෙ ඒ කෙල්ල නිකං අපේ අම්ම පොලේ ගිහින් එනව වගේ ඇග වටේටම වෙසක් කූඩුවෙ රැල් එල්ලල වගේ තිබ්බ බෑග් ගොඩ.? අනේ හත් දෙයියනේ මිනිහෙකුට උස්සන් යන්න පුලුවන් බරක්ද අප්පා....මගේ හිත උණුවෙලා වැක්කෙරෙන් ගත්ත. ඉතින් මොනවයි දන්නවද ඒ බෑග් වල තිබ්බෙ? මටත් නිකන් ඉන්න බෑනෙ අපිට හොරෙන් කොහෙද ඔවා... මාත් ඇහ දාල බැලුව මේන් තිබ්බ දේවල්....

අලි තඩි වතුර බෝතල් 1යි
කෑම දෙකක් දාපු බෑග් 1යි
ලේඛනාරක්ෂක දෙපාරතුමේන්තුවෙන්ද කොහෙද උස්සපු පරණ file ගොඩකුයි
තව ඉංගිරීසි පොත් වගයකුයි
හැන්ඩ් බෑග් එකයි
තව ඒ වගෙම පොඩි බෑග් එකයි
ආහ් ඒ මදිවට phone එකත් කනේ

අනේ සංසාරේ අපේ රටේ කෙල්ලො ඔය තරන් මෝඩද ආ

ඇයි ඔය කෙල්ලට ඔය අඩුම කුඩුම ටික දාගෙන යන්න හෙන ගොඩක් බෑග් ඔනිද වතුර බොතලේ office එකේ දාල එන්න බැරිද? ඇයි officeවල වතුර දෙන්නැද්ද බොන්න. වැඩ ගෙදර අරන් යන්නෙ අහවල් මගුලක් කරන්නද? දාන් ඉන්න කචකචේ අඩු කරානන් ගෙදර ගිහින් කරන්න වැඩ ඉතුරු වෙන්නැහැනෙ. අනේ මට තෙරෙන්නැහැ දෙයියනේ මේ හැදිමිටේ නුවණ කවදා කොසු මිටක් තරන් වෙයිද කියල.......

මේක කෙළිපැටික්කියන් කියවල කොසු මිටවල් අරන් එන්නෙ එහෙම නෑ.... තේරුනයි

ප.ලි.

කවුද මේවට වග කියන්න ඕනි.....

Monday, April 26, 2010

තවත් එක් දිනක්

තවත් එක් දිනක..

මහ මගට වන්නෙමි සොයා යන්න‍ට

නොමගක්

ගෙවන්නට තවත් එක් දිනක්

කිසිවකුත් නැති,

මහ වැසි ඇද වැටෙන..

තවත් එක් දිනක්.........

එය නුඹට නම්….

තවත් එක් දිනක් වනු ඇත

සතුට උතුරන

සිහින මල් පුබුදින

එහෙත් ……..

මම අදත් තනිවම

තවත් එක් දිනක්

ගෙවන මොහොතක් තනිව………




Sunday, April 25, 2010

50වෙනි එක

දවස් ගානක් කල්පනාකරා 50වෙනි එකට මොනවද දාන්නෙ කියල ​මොන මගුලකට 50වෙනි කියල එකක් තියනවද මන්ද?? අද නන් කොහොම හරි දෙයක් දානව කියල හිතාගෙන යාලුවගෙ බෝඩිමට ආව දෙකක් දාගත්තම ඔය එන්නෙ අදහස් ගලාගෙන මොනව උනත් මම මේ බ්ලොග් කෙරුවාවට කඩන්පාත්උන විදිහ ලිව්වනන් හොදයි කියල හිතුන

මගුල නැති උනාට පස්සෙ මෙලෝ රහක් නැතිව වේලි වේලි බෝඩිමට වෙලා ඉද්දි මගෙ යාලුවෙක්ට කවියක් ඔනි වෙලා තියපු කවි තරගකින් මම පළවෙනිය උනා ඉතින් එතන හිටපු මගේ යාලුවෙක්ගෙ යෝජනාවක් නිසා මටත් හිතිල ඒ යාලුවට කියලම මේ බොලොග් එක හදාගෙන තමයි මම මෙතනට පාත් වුනේ

මෙතනට ආපු මට මෙතනින් වාසි ගොඩක් උනා

කවදාවත් දැකලනැති අහල නැති හීනෙන්වත් පෙනිල නැති යාලුවො ටිකක් මට හම්බ උනා මම ලියන ඒවා අමාරුවෙන් හරි කියවල comment දාල මාව සතුටු කරපු ඒ හැමෝටම ඔක්කොටම කලින් පිං දෙන්න ඔනි මම ලියන ඒවා අමාරුවෙන් හරි කියවල දාල මාව සතුටු කරන එකට( මම වැඩිය පිං කරපු කෙනෙක් නෙමේ මගේ ලග පිං පොඩ්ඩයි ඇත්තෙ ඒ ටික රන්ඩු කරගන්නැතුව ඔය හැමොම බෙදා ගන්න)

මම තනියෙන් හිටපු කාලෙ මගේ කාමරයට හොරන් එබිල මම තනියෙන් ඉන්නව දැකල මට නෝනඩි දාපු ඒ පුර හද අද මම කවි ලියද්දි අපේ පේරගහ උඩ වාඩි වෙලා මාත් එක්ක ඉන්න එක හැමදාම ඒකා අපේ පේරගහ උඩ නළියල කොයි වෙලේ හරි පේර අත්තක් කඩපු දවසට තමා ඒකා අපේ අම්මගෙන් තරු පේන්න ගුටි කන්නෙ ඔවට මම පළිනැහැ ඕන්

තව මගේ දුක කියන දේ නැතිවෙලා පොඩිහරි සතුටක් හිතට දැනේන් පටන් ගත්තෙ මේ කෙරුවාව නිසාම තමා ඉතින්

තව ලියන්න පුලුවන් ඒත් අකුරු බොද වෙනවනෙ අනේ මන්ද මේ කම්පීතරයගෙ අවුලක්ද කොහෙද
ඒ නිසා මම නවතිනන් පස්සෙ මම තව ලියනන්​කො මම ගියාවෙ එහෙනන් ආයෙත් පාරක් කියනව මේව කියවන හැමෝටම පිං හොදේ

පොඩි කවි කෑල්ලකුත් දැ​ම්මෙ නැත්තන් හොද නෑනෙ

පුරහද ඈවිත් නළියයි අපෙ ගේ ලගම
කවි පද ගලයි මගෙ හිතටත් රහසේම
පෙර කවි අහපු නුඹ ලග නැති හින්දාම
විහිදා හැරිමි කාගෙන්වත් නොවිසාම

කියවා විදින ඔය සැම ලග නැති හින්දා
දිවුරා කියමි මගෙ හිත නළියන හින්දා
වෙන කිසි දෙයක් දෙන්නට මට නැති හින්දා
මම දැන් යන්ට යමි ඔබ සැමටම වැන්දා

Thursday, April 22, 2010

හිරු කුමරුනේ මගෙ තනිකම හුරුයි මට


ගොම්මන් අදුර අවටින් එන වේලාවට
පාලුව මකන්නට දිව්වයි කඩ පිලට
යන විට මගදි දුටු ඒ රූ සොබාවට
අතර මගදි හැරුනයි මේ වැව දෙසට

තිසා වැවේ වැව් බැම්මේ ඉන්න කොට
නිල් දිය දහර රළ නංවයි ලතාවට
ඈතින් පදින ඔරුවේ යන කලාවට
සිත දිව්වයි මට නොදැනිම අතීතෙට

මතකද වැවේ ඔරු පැද්දා අපි එකට
දෙතොලින් මොට්ටු තිබ්බා නුඹෙ නලලතට
දෙනුවන් පියා නුඹ ලං වී මගෙ කනට
කිව්වා සත්තමයි ආදරේ කියා මට

දෑසින් වැටෙන කදුලැලි පිසදමන්නට
මල හිරු එබෙයි දුක හිතිලද රැස් වලට
අද බැස ගියත් නුඹ යළි එයි හෙට ලොවට
හිරුකුමරුනේ මගෙ තනිකම හුරුයි මට

Wednesday, April 21, 2010

මිතුරියේ නුඹ!!!!


මිතුරියේ නූඹ
ඇයිද මේ ලෙස වෙනස් වූයේ
පෙම් කලේ නැත
මගේ කවි සිත ඇයට හැර
වෙන කිසිවෙකු‍ට එලෙසේ
යෙහෙලියන් සිටියත්
මගේ තනියට
සැවොම එක ලෙස මා සිතන්නේ
ඇයිද නුඹ අද
මාව මග හැර
ඉවත හැරිලා බලන් ඉන්නේ
දුකින් සිටිනා විටදි සැම විට
නුඹයි තනියට ලගම සිටියේ
‍කෙලෙස නුඹෙ සිත
මෙවන් විලසට
ගලක් කරගෙන බලන් ඉන්නේ
හිනා වීලා කථා කෙරුවට
පෙමක් නැහැ එහි වැඩෙන්නට
මගෙ පුරුද්දට සැමට එක ලෙස
හිනාවෙන් මා මත්කරන්නේ
එපා කිසිවිට උරන වෙන්නට
අහිංසක මම කරන වරදට
මිතුරියේ නුඹ ලගට එනු මැන
මහමෙරකි නුඹ මගේ දිවියට

Tuesday, April 20, 2010

මෙහෙම ගියොත් පිස්සු හැදෙනව!!

අනේ මන්ද පිළිවෙලක් වෙන්නලු
ඇයි මම අපිළිවෙලද??
මට හැදෙන්නලු
ඇයි මම නරක් වෙලාද???
අනාගතය ගැන හිතන්නලු
ඇයි වර්ථමානය හොද නැද්ද??
දුකෙන් ඉන්න එපාලු
මගේ හිනාව පේන්නැතිවද???
ඔනිවට වඩා හිනා වෙන්න එපාලු
ඇයි වදේ කොහොමද ඉන්න කියන්නෙ??
කවි ලියන්න එපාලු
ඇයි කවි ලියන අය සතුටෙන් නෙමේද??
රැවුල වවන්න එපාලු
රාජසිංහ රජ්ජුරුවන්ට හොද නන් මට නරකද??
කොන්ඩෙ කපන්නලු
අවුරුදු කන්න ගිය බාබර් ඇවිත් නැත්තන් මම මොකද කරන්නෙ????
සුරාව හොද නැහැලු
එහෙනන් මගුලටද ඒව හදන්නෙ??
රෑ වෙන්න කලින් ගෙදර යන්නලු
ඇයි මම දරුවො නළවන්නද??
කෙල්ලන්ට රැවටෙනවලු
මම විතරද රැවටෙන්නෙ??
මෝඩයිලු
ඒ මොකද ඒ ???

එයාව අමතක කරන්නලු
ඊට පස්සෙ??????
මේවට උත්තර කෝ........
මෙහෙම ගියොත් පිස්සු හැදෙනව



Monday, April 19, 2010

පියඹුවේ ඇයි මෙලෙස රහසින්

සුරගනක සේ නුඹ
දැනෙන්නට විය
මගේ ළග නුඹ
සැතෙපෙනා විට


බිද දමා බැදි යදම්
මහා විරුවෙකු ලෙසින්
සොයා නූඹ වෙත
හැල්මෙ අවෙමි
තුරුලු වන්නට නුඹ ලගින්

සලා නුඹෙ දිදුලනා තටුවෙන්
සනසවා එහි නැගුනු පවනින්
නොපවසා නුඹ රකුසියකු විලසින්
සැනසුවා මා සුරගනක සෙනෙහසින්

නුඹේ සුන්දර මුහුන දුටු විට
සැක කලේ නැත රකුසියක විලසට
හැර දමා නුඹ ගියත් මෙලෙසට
සුරගනකි නුඹ තවම දිවියට

හැර දමා ප්‍රේමයේ සලුපිළි
පෙන්නලා රකුසියක හැගුමන්
තටුසලා නුඹ රුදුරු විලසින්
පියඹුවේ ඇයි මෙලෙස රහසින්


Sunday, April 18, 2010

ප්‍රථම ප්‍රේමය අමතක කළ නොහැක්කේ ඇයි?????

ප්‍රථම ප්‍රේමය අමතක කළ නොහැක්කේ ඇයි?????

ලොව වසන බහුතරයක් වූ මිනිසුන් පිරිසක් ප්‍රථම ප්‍රේමය අහිමි වීමෙන් පීඩා විදිති. එය එසේ විමට මා දකින කරුණු කිහිපයක් පහතින් සදහන් කරමි..

1. ආදරයතුල අප විදින සෑම අත්දැකීමක් කුලුදුල් වන්නේ ප්‍රථම ප්‍රේමය තුලය.

2. බොළද ආදරය යනුවෙන් හදුන්වන ආශාවල් පමණක් යදින ජීවිතයක මිහිර ඇත්තේ එය තුල පමණක්වීම.

3. වයසින් මුහුකුරා යත්ම ප්‍රථම ප්‍රේමයෙන් ඉටු කරන ලද අශාවල් නැවතත් ඉල්ලා සිටිය නොහැකි නිසා සිත තුල ඇති වන්නා වූ පීඩනය. අප බොළද ප්‍රේමයතුල බොහෝ බොලද වන්නේය. එය වයසින් මුහුකුරා ගිය පසු ලැබෙන ආදරයෙන් ඉල්ලා සිටීම හෝ ලැබීම ලැජ්ජාවට කාරණයක් මෙන් බොහෝදෙනා දකිති. (උදා* ප්‍රථම ප්‍රේමය තුල දුරකථනයෙන් සිප වැළද ගැනීමෙන් පවා අසීමිතව සැනෙසෙන මිනිසුන් වයසින් මුහුකුරා යත්ම එවැනි ආසාවල් හිත තුල පැවතියද අපි දැන් ලොකුයි එහෙම බොළද වැඩ උවමනා නැතැයි යනුවෙන් සිතා හිත හදා ගැනීමට පුරුදුව සිටිමු, නමුදු එයා හිටිය නමි කිස් එකක් දෙනවා යැයි තමාම සිතා ගනිමින් අහේතුක දුකක් අත් විදිති)

4. ලැබූ ප්‍රථම ආදරයේ මිහිර දෙවනි පෙම්වතා හෝ පෙම්වතිය සමග බෙදා ගැනීමට ඇති අකමැත්ත. එනම් දෙවනුව ලබන අදාරය තුල ප්‍රථම ප්‍රේමය පිළිදව කිසිත් කතිකා කර නොගනී. එසේ කතිකා කිරීමෙන් දෙදෙනා විරසක වන්නේ නම් එයින් අදහස් වනුයේ දෙදෙනා අතර මනා අවබෝධයක් නොමැති බවය. එසේ පැවසීමෙන් වෙන කෙනෙක්ගෙ තුරුලෙ හිටපු කෙනෙක් යැයි සිතුවිල්ලක් ඇති ‍වන නිසා එය කීමෙන් වැලකී සිටියහොත්, පසු කලක එය දැන ගත්විට ඇයි මෙචිචර දවස් නොකිය හිටියෙ, තව මොනවද හංගගෙන හිටියෙ යැයි, අසූ තැන් සිට දෙදෙනා අතර තිබෙන්නා වූ විශ්වාසය පලුදු වී යාමට හැක. ‍යමක් වසන් කිරීමෙන් අත් වන්නා වූ කිසිදු යහපත් ඉරණමක් නොමැත.

5 ප්‍රථම ආදරය තුල අප සියල දේ කැප කිරීමට සුදානම් වන්නෙමු නමුදු දෙවනි ආදරයතුල එවැනි කැප කිරීමක් සදහා සිත පෙළඹවිමක් සිදු නොවන අතර ලබා ගැනීම සදහා පමණක් ආසාවක් පවතී

මිනිසුන් ලබන දෙවැනි ආදරයක්තුල සැනසීමට නොහැක්කේ ඇයි??

අප දෙවැනි ආදරයක්තුල ලබන සෑම ‍හැගීමක්ම පලමු ප්‍රේමය හා සැසදීම අප න. අතින් ඇල්ලුවද සිතනුසේ කලින් කෙනා මෙහෙම නෙමේ යැයි සිතුවිල්ල සිතතුල නිතර හොල්මන් කරයි. නමුත් එම සිතුවිල්ල පවසා එම සුවය අත් විදීමට අප මැලිවන්නෙමු. බොහෝවිට ලබන දෙවනි ආදරයක්තුල අප කොපමණ ආදරය ලැබූවත් පෙර ආදරය සමග සැසදීමට යාමෙන් අප ලබන වින්දනය අප විසින්ම නැති කර ගනු ලබන බව මා තරයේ විශ්වාස කරමි.

අප සියල්ලොම මිනිසුන් වෙමු. ආදරය ඉදිරියේ හිගමන්යදින්නො වෙමු. නමුත් අප හිත්තුල ඇතිවන්නා වූ අශාවන් එකිකනකා අතර හුවමාරු කරගැනිමට අප මැලි වෙමු. එම හේතුව අප රටතුල විවාහ දෙ‍දරා යාමට හේතුවන ප්‍රධාන සාධයකි..විශේෂයෙන් කාන්තාවන්ගේ හිත්තුල කොපමණ ආශාවල් පැවතියද මොකක්දෝ සොයාගත නොහැකි හේතුවක් නිසාවෙන් එවන් වූ සිතුවිලි සිත තුල සිරකරගෙන පිඩාවන් විදිති.

මාගේ මතයනම් දෙදෙනෙකු ආදරය නම් දෙදෙනා අතර කිසිදු රහසක් පැවතිය නොහැක. අශාවන් අදහස් වැනි සියලුම සිතුවිලි දෙදෙනා අතර හුවමාරුවිය යුතුය. ප්‍රථම ප්‍රේමයේ මිහිර දෙදෙනාම පැවසිය යුතුය. මක්නිසාද යත් අපතුල අනුන්ගේ සිත් දැකීමේ නුවණක් නොපවතින බැවිනි. එකිනෙකා කොපමණ ආදරයකින් හෝ බැදීමකින් පසු වුවද දෙදෙනාට සිත් කියවීම කිසිසේත් සිදුකළ නොහැක. ප්‍රථම ප්‍රේමයතුල ලැබූ සතුට සහ හැගීම් අභිබවා ලබන්නා වූ ආදරයක් හා රැකවරණයක්තුල ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් දුක් වීමට කාළයක් හෝ ඉඩක් ඉතුරුවන්නේ නැත

වෙනත් මත ඇතොත් ඉතාමත් අගය කරමි.

Tuesday, April 13, 2010

සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


රබන් සුරල් හඩ රැව් දෙන
සිනා හඩින් ගම සරසන
දොරින් දොරට නෑගම් යන
අවුරුද්දයි හෙට දින එන

පංච දාලා රන්ඩු කරන
අලුත් අලුත් දේ එක් වන
බත බුලතින් උතුරා යන
අවුරුද්දයි හෙට දින එන

කිරි පැණියෙන් උතුරන්නට
සියලු පැතුම් ඉටු වෙන්නට
මෙහි යන එන මිතුරන් හට
පතමි හදින් නව වසරට

හෙට දින ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔය හැමෝටම සියලු පැතුම් ඉටු වන තනිකඩයන් හැමෝටම හොදම හොද සහකරුවෙකු හෝ සහකාරියකු ලැබෙන දුකින් සිටින හැමෝම සිනහවෙන් උතුරා යන කිරි පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරකට ආසිරි

සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Monday, April 12, 2010

සදවතිය පායන්න හිනැහී හොරා


සදවතිය පායන්න හිනැහී හොරා
තරු පොකුරු සැග වෙන්න ඉඩ දී බලා
දුර ඈත සිහිනයක මා තනි වෙලා
නෙතු නෑර ඉන්නේය නුඹ එන තුරා

හැංගිල හිනැහීල මා කලඹලා
ලං වීලා වෙන් වීල මා රිදවලා
තරු පොකුරු නුඹ ලගට තව ලං වෙලා
උදුරාවි නුඹෙ කිරණ නුඹටත් හොරා

පවසන්න ආදරය මට ලං වෙලා
සරසන්න ජීවිතය නුඹ මගෙ වෙලා
සනසන්න ආසයි නුඹ තුරුලේ හොවා
සද කුමරි හිනැහීයන් තව ලං වෙලා



Thursday, April 8, 2010

අමිල වූ ප්‍රේමය

අමිල වූ ප්‍රේමය
තොග පිටින් ගෙන
ලන්සු තබමින්
වෙන්දේසියේ දමා ඇත
ඈවරයි........ දෑවරයි.........
එකෙකු උගුර ලේ රහ වන තුරු
ආලයේ හිගමන් යදිද්දී
විකුණනුම් කරුවන්
ජීවිතය අමතක කර
තම පයට පෑගෙන අසරණ
ආලයේ හිගමන් යදින්නන්
තවත් පාගා දමමින්
වැගිරෙන ලෙයින් තෙත්වූ පිළි දවටා
නින්දිත ලෙසින් සුවයක් විදිති

Wednesday, April 7, 2010

හිගන්නන්ට කවි ටිකක්

අවේලාවෙ ගොඩ උනාට
එපා රවල පිටු පාන්ට
මගෙ දුප්පත් කමට ආවේ
මම ඔහෙලට අත පාන්න

කද සුරිදුනි දිවැස් හෙලා
අපෙ දුක සැප හොයනු බලා
නැති බැරිකම තුරුල් වෙලා
බැහැ මග හැර යන්න පලා

පින්වතුනේ මේ අහන්න
දුප්පත්කම බලා ඉන්න
අතේ මිටේ මාරු ගන්න
තියනව නන් දීල යන්න

හොරකම නැහැ පුරුදුඋනේ
ඉගන ගන්න බැරුව ගියේ
අත පානව මහතුනනේ
ඇයි නුඔලා පිටුපාන්නෙ

විෂ්නු සමිදෙ දිවැස් හෙලා
කද සුරිදුනෙ සමා වෙලා
ඔබෙ දිවැසින් ලොවම බලා
පතනු මැනවි සතුට සැමා

දුප්පත්කම වැඩි උනාට
එපා මෙමට පිටු පාන්න
අතේ මිටේ තියනව නන්
කීයක්හරි දීල යන්න

සමන් දෙවිදු රැකවරනින්
කද සුරිදුගෙ බල මහිමෙන්
තුරුනුවන්ගෙ සෙත සලමින්
රැකදේවා යන මගියින්

(මේ අර හිගන්නො මේ කවි කියද්දි ගහන රබන් පදේ අහල ඇතිනෙ ඒක හැම පද දෙකක් මැද්දටම හිතින් දාල කියවල බලන්න
)

කෙටි කථාව I

ඇරඹුමක අවසානය

මචං........
හ්ම්ම්............
මේ අහපන්කො ..
"කියපන් ඉතින් තටමන්නැතුව."
මම අද අරකිගෙන් අහන්න හිතුව....
මොකිගෙන්ද??
නෙට් බෝල් ගහන නංගිගෙන් බං වෙන මොකෙන්ද?..
හ්ම්ම්...... කොයි වෙලේද අහන්නෙ,
ඉන්ටවල් එකේ ටැප් එක ලගදි, උඹ එනව නේද මාත් එක්ක යන්න??
හ්ම්ම්.. කොටාවත් ඇදන් යමු
හා..

"සිනහ පිරූ දත් දෙපල විදා
බලා සිටිමි නුඹ වඩින තුරා
ප්‍රථම ප්‍රේමයේ සුවද බදා
පෙරුම් පිරුමි බෙල් වදින තුරා"....

බෙල් කරා ...දුවල යමු නැත්තන් ඒකි ඇවිත් යයි,
....................................................................................
අන්න අන්න අරකි එනවා
හිටපන් ඉතින්..... නළියන්නැතුව.
දැන් අහපන්..
අනින්න එපා යකෝ..... මම අහන්නං.
නං නං නංගි
ඇයි??????
නංගි මම ඔයාට කැමතියි ඔයා මට කැමතිද???

පිස්සුද??? හැටි විතරක් අයෙ පස්සෙන් ආවොත් මිස්ට කියනව

හ්ම්ම්..................

"පැතූ ආදරේ බැනුම් හෙලා
හීන හතම බිම වැටිල ගියා
කුලුදුල් සිහිනේ නැතුව ගියා
ඇය මිතුරන් අතරේ සැගව ගියා"

...............................
වරෙන් දැන් යන්න බෙල් කරා ‍
මොනවද දැන් තියෙන්නෙ
කෙමිස්ටිරි,
අපෝ මට බෑ යන්න
හ්ම්ම් එහෙනන් කැඩෙට් රූම් එකට ගිහින් ඕමියක් බලමු.
.....දිග සුසුමක් හෙලුවෙමි......
හා වරෙන් යමු..

Tuesday, April 6, 2010

පාවි පාවි නුඹ යන කොට

බිංදු බිංදු මල් වැස්සේ
පාට පාට මුතු කුඩෙ යට
රවුම් රවුම් වැහි පොද සිඹ
සින්දු කියපු නුඹ ලග නැත

පුංචි පුංචි මල් පෙති ලග
මුමුණ මුමුණ තුරුලු වෙච්ච
උකුලු මුකුලු දාපු දවස
නිතර නිතර සිහිවෙයි මට

යන්න යන්න සුවද දුන්න
චූටි චූටි මැණික් කැටය
පාවි පාවි නුඹ යන කොට
හඩමි හඩමි මම තනියම





මිහිදුම් වළාවේ


සීතල හිම කදු මුදුන් අතරේ
පාව යන මිහිදුම් වළාවේ
කොහේ සිටදෝ පාව එන්නේ
උදෙන්ම ඇවිදින් දහවල යන්නේ

හිරුට බයේ දෝ නුඹ හැංගෙන්නේ
ලොවට බයේ දෝ නුඹ පැන යන්නේ

ලෝකෙම සුන්දර ඉන් නැති වෙන්නේ
නැවතත් එනකන් මග බලමින් ඉන්නේ

මල් මත පිණි දිය නහවා යන්නට
ගත වට සීතල පැන් ඉස යන්නට
ග්‍රීශ්මයේ රැස් නැති කරලන්නට
ඇවිදින් එතියන් නැවතත් කදු වට

Monday, April 5, 2010

මට නොවේ වෙන කෙනෙකු හට

අහිංසක පැතුම් පොදි බැද
සිහින මැව් ලෝකය සදන්නට
ඉමක් නැති මහා කතරක
සැරිසැරූ නුඹ මුවැත්තියක ලෙස
ලැබුණු දිය පිරි පොකුණ
අයිති නැත නුඹෙ යැයි කියන්නට
ඉවත යන්නට තනන සැම විට
අතවනයි ඔහු දිය පොදක් දෙන්නට
නුඹෙම නොවුනත් එ දිය පොකුණ
දොතට ගනී නුඹ එම දියෙන්
සැනසුමක් ලබන්නට....
දියෙන් සැනසෙන හෑම දිනකම
තවත් ලං වෙයි අහිමි දිය විලටම
ආදරය මෙය නම් සැමදා නුඹ පතන
දුකම සැපතකි ඔහු ලගම සැනසෙන.....

(මෙය මට නොවේ වෙන කෙනෙකු හට
පතමි මෙය ඇගේ නෙතු ගැටෙන්නට)

මගේ පැතුම

සිහින ලොවක පාව යන්න
වලා රොදක ඉගිල්ලෙන්න
දේදුන්නක සැගව යන්න
ආසයි මම පෙම් කරන්න

කුරුල්ලනේ ගී ගයන්න
සමනලුනේ පියාඹන්න
මලකින් මට රොන් උරන්න
මී මැස්සනි කියා දෙන්න

හිතේම දුක පාකරන්න
සතුටින් හිත පිරිල යන්න
නෙතින් කදුලු මැකිල යන්න
පවන් රොදක් හමා එන්න

හිරු කුමරුනි නුඹ වඩින්න
වසන්තයත් අරන් එන්න
තුරු හිස්වල මල් පිපෙන්න
ජීවිතේම එළිය වන්න

Thursday, April 1, 2010

මා මල පසු

නුඹ පිදුව පෙම් කුසුම
ඉහලින්ම දවටා
මා පිදුව රෝස මල
එය මැදින් සරසා
මා හැලු කදුලු බිදු
මුතු වැලක් මෙන් අමුණා
සැදූ මුතු මාලයෙන්
එය වටට හැඩ දමා
තැනූ මල් වඩම ගෙන
වඩිනු මැන..
මලගමට මගෙ
මිහිදෙන්ට පෙර
දකින්නට එක වරක්
.....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...