Sunday, June 26, 2011

මගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා....


බිංදු බිංදු රන්තරු කැට කඩා හැලෙනවා
පුංචි පුතා මගෙ තුරුළේ සුවට නිදනවා
රන් හඳ විත් ඈත අහසෙ එබිලා බලනවා
රන්කිරි වැනි නුඹේ මුවින් සිනහ ගලනවා

සිහින මවන නුඹෙ නෙතු කැට හෙමින් ගැහෙනවා
ඒ තාලෙට නුඹෙ මුවින් වදන් මැවෙනවා
හඳ මාමා එබී බලා නුඹ සනසනවා
මගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා

නිදි දෙව්දුව ලගට වෙලා සිනහ නගනවා
මගේ පුතුගෙ නුවන් මතට පවන් සලනවා
සිගිති දෙතොල් එකට සැලී රහස් කියනවා
මගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා...

Thursday, June 2, 2011

කියන්නට කවියක්


කියන්නට කවියක්
සොයමි මං තනුවක්
ගයන්නට නුඹ නමින් මොහොතක්
හිඳිනු මැන තවත් එක් දිනයක්

ගලන දිය දෝතක්
රැදෙයි නම් දෑත මත මොහොතක්
රැක ගන්න තව දිනක්
හැකිය නුඹ අන්සතුව පිපුනත්

සඳක් සේ පෙනුනත්
දනිමි හිරු රැසේ සැඩ කවදත්
නමුදු නුඹ ලගට ඇවිදින්
සැතපෙන්න හැකිද මොහොතක්

දෙනෙත මත පිපුනත්
බැරිය සිප ගන්න සිතුනත්
සිහිනයක් විලස නුඹ සිටියත්
එපා ඇහැරෙන්න කවදත්


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...