Wednesday, July 27, 2011

ෂර්ලොක් හෝම්ස් - අභිරහසක ඇරඹුම




අභිරහසක ඇරඹුම......

කාමරයෙහි ඇති ලෑලි ජනෙල් කවුලු අතරින් බේරි ගලා එන හිමිදිරි හිරු කිරණ මා මුහුණ මත නේක රටා මවමින් දඟ කරන විට තව දුරටත් නිදා ගැනීමට ඇති නොහැකියාව නිසා ඇදෙන් බැස සාලයට යාමට සැරසුනෙමි. දෙපතුල පොළම මත ගැටුන මොහොත තරමින් අන් කිසිම දවසක මා සීතලක් අත්විඳ නොමැත.. ඇඟ සලිත කරවමින් දැනුන සීතල මග හරින්නට මා නැවතත් ඇඳ මතම හිඳ ගතිමි..නමුත් මා එන තෙක් මඟ බලා සිටින අසරණ රෝගින් නිසාවෙන් නිවසින් පිටත් වන්නට සුදානම් වූවෙමි.

සුභ උදෑසනක් වොට්සන් මහත්මයා...
ප්‍රියංකර සිනහවකින් මුව සරසා ගත් හෝම්ස් මාදෙස බලා සිටිනු දුටුවේ එම මොහොතේදීය..
ඔබටත් සුභ උදෑසනක් හෝම්ස් මහත්මයා...

අද උදෑසනම රාජකාරියට යන්න වගේ..

ඔවු.. මා එනතෙක් රෝගින් බලා සිටින නිසා මා හට ප්‍රමාද විය නොහැකියි.. එම නිසා මා දැන් යන්න ඕනි..

නිවස ඉදිරි පිට ඇති කුලි රථගාල දෙස නෙත් යොමා කුලී රථයක් ඇති බව දුටු නිසාවෙන් හෝම්ස් මහතාට සමු දී විගස රෝහල වෙත යාමට පිටත් වූයෙමි..

‍කල්ගත වෙත්ම මා ඒකාකාරී ජිවන රටාවකට කොටු වුන තවත් එක් වෛද්‍යවරයෙක් බව මට හැගෙන්නට විය. අමතක කිරීමට නොහැකිව වඳ දෙන අතීතයත් කරපින්නාගෙන කිසිවෙකුත් නොහදුනන පලාතක ඒකාකාරී ජීවන රටාවකට කොටුවීම මා කෙරෙහි මාගැනම කෝපයක් ඇතිවිය. කලකිරුනු සිතත් ඇගෙට දැනුන මහන්සියත් නිසාවෙන් වේලාසනින් රාජකාරීන් නිම කල මා නවාතැන් පළ වෙත ගියේ සුළු මොහොතක් හෝ නිදා ගැනීමේ අටියෙනි...

කුලි රථයක් පෙනෙන්නට නොතිබූ නිසාවෙන් සීතල මග හැරයාවි යැයි සිතා පාගමනින්ම නිවහන වෙත ඇදෙන අතරතුර මාගේ මෙහි සිටන එකම මිතුරා වන ෂර්ලොක් හෝම්ස් ගැන සිහිවන්නට විය. ඔහු දිනක් මා හා පැවසූ පරිදි උසස් අධ්‍යාපනය නිම කළ පසු වෘත්තියෙන් රහස් පරික්ෂකවරයෙකු බව පැවසූවද මා කිසි දිනට ඔහු එවන් කටයුත්තක නිරත වෙනු දැක නැත.. විටක ඔහු ගැන සැකයක් ඇති වුවද මිනිසෙකු වශයෙන් ඔහු තුල ඇති ගතිගුණ නිසාවෙන් ඔහු ගැන අහිතක් සිතන්නට තරම් දෙයක් නොතිබුණි..

මනෝ ලෝකය බිඳ වැටුනේ මා නවාතැන් පළ වෙත ලගාවී ඇති බව පසක් වීමෙන් අනතුරුවය. නිවස ඉදිරිපිට සුඛෝපභෝගී අසුන් සතරක් බැඳි රථයක් නවතා තිබෙනු දුටු අතර එය අපගේ නිවහනවෙත පැමැණි අමුත්තකුගේ යැයි මා හට නොසිතින.
ආලින්දයේ දොර අඩවන්ව තිබූ නිසාවෙන් පෙර අවසරයක් නොගෙන නිවසට ඇතුළු වීමේ වරද වැටහුනේ සෝපාවේ හිඳ හුන් අමුත්තා දුටු පසුවය.

සමාවෙන්න මහත්මයා.. මා දැනන් සිටියේ නෑ ඔබ හා අමුත්තෙකු ඇත කියා..
හෝම්ස් මහතා දෙස ලැජ්ජාවෙන් පිරුණු දෙනෙත් තව දුරටත් යොමා සිටුනු නොහැකි නිසා මා කාමරය වෙත පියමනිනන්ට විය.

වෝට්සන් මහත්මයා.... හෝම්ස් මහතාගේ මුවින් නැගුනු ගැඹුරු හඬ නිසාවෙන් මා එක්වරම නැවතින..

දොස්තර මහත්මයා විශේෂ වැඩකට නෙමේ නන් කලින් ගෙදර ආවේ විශේෂ කථාවකට සවන් දෙන්න පුලුවනි ඔබට..
සෝපාවේ හුන් අමුත්තාගේ මුහුණේ ප්‍රිතියක් නොතිබුනිද හෝම්ස් තුල උතුරා යන ප්‍රිතිය දෙනුවන තුලින් වාන් දමන්නට විය.

මගෙන් ඔබගේ කථාවට අවහිරයක් වෙන නිසා.. මං මෙතනින් යන්නම් මහත්මයා..

නෑ.. ඔබ කැමති නම් අපේ කතාවට කිසිම අවහිරයක් නෑ...

හෝම්ස් ගේ දෙනයන තුල විධානයක ස්වරූපයක් සැගවී ඇත්දැයි මා හට විටෙක සිතෙන්නට විය.මා හිස්ව තිබු අසුන මත හිඳ ගත්තා නොව හිද ගැනීමට සිත්වූවා පැවසීම අතිශෝක්තියක් නොවන්නේය.

මා ඉදිරියේ හුන් ආගන්තුකයා ‍විල්බර්ට් මහතා බව සුළු වේලාවක් යත්ම හෝම්ස් විසින් හදුන්වා දෙන ලදී.. පළල් නළල් තලයත්.. අවුල් වී ගිය කෙස් වැටියත් ඔයගෙ සිත තුල තිබු කැළඹිල්ල ප්‍රදර්ශනය කරන්නට වූ අතර විටක දෙතොල් තදින් හපා ගනිමින් තම හැගීම් පාලනය කිරීමට උත්සහ කරමින් සිටින්නට විය.මා ඔහු දෙසා බලා සිටිනු හෝම්ස් මහතා දුටුවාදැයි මම නොදනිමි.

ඉතින් දොස්තර මහත්තයා.. මතකද මං ඔබව මුන ගැසුන මුල් දිනයේම කිව්වා.. නිරික්ෂනතුලින් නිගමන වලට පැමිණිම ගැන... දැන් ඔබ කියන්නකො බලන්න මේ මහත්මයා ගැන ඔබ දකින නිරික්ෂන මත පැමිණි නිගමනයන් ටිකක්.. මොකද මමත් තවම මේ මහත්මයා අදුනන්නේ නැහැ.

මා තව දුරටත් ඔහු දෙස බලා නිරීක්ෂනයන් සමග සිත පොරබදන්නට විය..දිග සුසුමක් වා තලයට මුදා හල හෝම්ස් මහතා වෙත වාර්ථාව ඉදිරිපත් කෙලෙමි.

විල්බර්ට් මහතා තේ වතු පාලනය හා සම්බන්ධ කෙනෙක්, හොදින් මිල මුදල් ඇති කෙනෙක් යැයි හෝම්ස් දෙස මා උජාරුවෙන් බලා පිළිතුරු දුනිමි..

එපමණද දොස්තර මහත්මයා කියන්න පුලුවන්..

ඔවු.. හෝම්ස්..මං හිතන්නෑ ඔබටත් ඊට වඩා වැඩි යමක් කියන්න පුළුවන් වෙයි කියලා..

මා දෙස නෙත් කොනින් බැල්මක් හෙලු හෝම්ස් මහතා හාන්සි පුටුව තම දිග ඇදෙමින් සිවිලිම දෙස බලා සිටින්නට විය..
එක්වරම හඩ අවදි කළ හෝම්ස් මහතා..

විල්බර්ට් මහතා වැවිළි සමාගමක හිමිකරුවෙක්.. ඉතා යහමින් මුදල් තිබෙනවා සහ බොහෝ කළක් දකුණු පලාතේ ‍පදිංචි වෙලා ඉදලා ලගදි තමා මෙහෙට ඇවිත් තියෙන්නේ.දකුණු පලාතේ වගාවන් බොහෝ වෙලාවට සතුරු උවදුරකින් විනාශ වෙලා වෙන්න පුලුවන්.. කෙසේ වුවත් එහි තිබූ සියලුම දේපල අත්හැර මේ පලාතට ඇවිත් තියෙන්නේ.. තම බිරිඳ මොහුව මැත කාලයේ අත්හැර ගිහින් තියනවා.. ඒ මතකයන් අමතක කරන්න විල්බර්ට් මහත්මයා බොහෝ උත්සහ කරනවා වගෙයි..

එම වචන කිහිපය හෝම්ස් මහතාගේ මුවින් නික්මෙත්ම අප ආගන්තුකයා හෝම්ස් දෙසට වේග‍යෙන් පැන පහරක් එල්ල කරන්නට සුදානම් විය.. එම මොහොතේ මා නොවන්නට හෝම්ස් මහතා වෙත දැඩි ප්‍රහාරයක් එල්ල වනු නොඅනු මානය.

ආගන්තුකයාගේ ග්‍රහනයෙන බේරුනද ආගන්තුකයා තුල ‍පැවති කෝපය මුවින් තාමත් නික්මෙන්නට විය..

හෝම්ස්.. ඔබට මහත්මයා යැයි කීමට නුසුදුයි.. කොහොමද ඔබ මගේ පුද්ගලිකත්වය මේ තරන් හෙව්වෙ.. ඇයි එහෙම දෙයක් කරේ...

සිනහ මුසු මුහුනින් ඔහු දෙස බලා සිටි හෝම්ස් මහතා තමන්ගේ නිරීක්ෂනයක් විග්‍රහ කරන්නට විය..

විල්බර්ට් මහත්මයා සංසුන් වෙන්න.. මා ඔබ ගැන මීට පෙර අසා හෝ හොයා බලා නැහැ.. මම සිදු කලේ නිරික්ෂනයන් තුලින් නිගමනයන් බිහි කීරීමක් පමණයි.

දැන් බලන්න.. ඔබ ඇද සිටින සුදු කොට කලිසම මේ වතුකරය තුල වතු පාලක වරුන්ගේ සුළභ දසුනක්.. එය විග්‍රහ කරමින් මා මිතුරු වොට්සන් මහතාද පැවසුවා ඔබ වතුපාලකව‍රයෙක් කියලා.. නමුත් ඔබ පැළද සිටින ලාංචනයේ තිබෙනවා වතුහිමියන්ගේ සංගමය කියලා.. එයින් අදහස් වන්නේ ඔබ නිකං වතු පාලක වරයෙක් නොවේ.. වතු හිමියෙක් කියලයි..ඔබ වචන උඡ්චාරනය දකුණු පලාත්ට සම්බන්ධයි.. ඉතින් ඔබ බොහෝ කලක් ඒ පලාතේ ගත කර ඇති බවට අමුතුවෙන් කිව යුතු නැහැනේද..ඔබ මෙම පලාතට අලුත් වුවත් තේ වගාව ගැන හසල දැනුමක් ඇති අයෙක් විය යුතුයි.. නැතිනම් නන්නාදුනන පලාතක දැනුමක් නැති වගාවකට හිත යොමන්නට ඔබ කිසිවිටකත් පෙළඹෙන්නේ නැහැ.. ඒ කියන්නේ පෙරත් ඔබ තේ වගාව හා සම්බන්ධ වී සිටි අයෙක්.. එවන් අයෙක් තව වතු විකුණා කදුකරයට පැමිනී‍මට ක්‍රියා කර ඇත්තේ සතුරු කරදරයක් නිසා වෙන් නොවන්නේ නම් අන් කුමකින්ද..

හෝම්ස් මහතා දෙස වික්ෂිප්ත බැල්මකින් බලා සිටි විල්බර්ට් මහතා යන්තමින් සැනසුම් සුසුම් හෙලනු පෙනෙන්නට විය.ඔබ නම් හරි පුදුම මනුස්සයයෙක් හෝම්ස්.. මං හිතනවා මගේ ගැටළුවට ඔබට පිළිතුරක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා.. එහෙම හිතෙන කොට නන් හිතට සැනසීමක් දැනෙනවා.. මට සමාවෙන්න තරහා ගියාට..නමුත් ඔබ කොහොමද මා බිරිඳගෙන් වෙන් වී සිටින බව පැවසූවේ..

එය හරිම සරළයි මහත්මයා.. ඔබ දකුණු අත මංගල මුදුප පළදින තැන තවමත් මුදුවක සළකුන තිබෙනවා.. ඔබ වැනි මිල මුදල් යහමින් ඇති පුද්ගලයකු මුදුවක් ගැනීමට නොහැකි අයෙක් විය නොහැකියි.. එසේ නම් මෙය ඔබ අකමැත්තෙන් හෝ අමතක කර දැමීමට උත්සහ කරන බිරිඳගේ නොවන්නේ නම් අන් කවරක්ද මහත්මයා..

එය පැවසීමත් සමග විල්බර්ට් මහතාගේ මුහුණ මැලවුන ස්වරූපයක් ගත් නිසාවෙන්දෝ හෝම්ස් මහතා යළිත් සිය බඩ අවදි කරන්නට විය.

ඉතින් විල්බර්ට් මහතානෙනි.. ඔබ පැමිණි කාරණය තවමත් අප හා පැවසුවේ නැහැ නොවෙද..

ඔවු.. දැන් මං කියන්නං ඒ කතාව. එය වෙලාවකට විකාරයක් වගේ ඔබ තුමන් සිතාවි.. නමුත් මා සිටින්නේ ඉතාමත් සිත් තැවු‍ලෙන්.. පොලිසියෙ සාජන් මහත්තයා තමා ඔබතුමා ලගට මාව එව්වෙත්.

හරි විල්බට් මහත්තයා දැන් කතාව කියන්නකෝ බලන්න..
තමන් සතුව ඇති හවානා සුරුට්ටු පැකට්ටුවෙන් සුරුට්ටුවක් ඇද හාන්සි පුටුව මත ඇළවුන හෝම්ස් මහතා දෙනෙත පියා ගනිමින් සිවිලිම දෙසට දුම් රොටු මුදා හරින්නට විය..

මා හටද සිකරට්ටුවක් බීමට සිත් වුයෙන් ගොල්ඩ් ලීෆ් එකක් පත්තු කර සෝෆාව තම සැපට හිද ගනිමින් කතාවට සවන් දෙන්නට වූවෙමි.

දිර්ඝ හිහැඩියාවකට පසු ‍ආගන්තුකයා තම හඩ පිටකරන්නට විය. අවටින් නැගුන අහස ගුගරණ හඩ සහ විදුලි කෙටීම් අතර මද වෙලාවකට අප තිදෙනා අතර ඇති වුන නිහැඩියාව අනාගතය තුල අසන්නට ලැබෙන බියකරු සිද්ධියක පසුබිමක දැයි මා සිත ප්‍රශ්න කරන්නට විය.

හොම්ස් මහත්මයා.. අපි මේ ප්‍රදේශයට ඇවිත් වැඩි කලක් නෑ. ඔබතුමා දැනටමත් දන්නා පරිදි මම වෘත්තියෙන් තේ වතු හිමියෙක්.. ඉතින් මා දිනකට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් හා ගණුදෙනු කරනවා..ඒ සදහා සහයට ඉතා විශ්වාසවන්ත සේවකයෙක් හා මා ගේ පුතුනුවන් පම්‍ණයි ඉන්නේ..ඊට අමතරව මා නිවස තුල ප්‍රධාන සේවිකාවක් සහ ඇයගේ සහයට තවත් එක් සේවිකාවක් සිටිනවා..අප පුරුද්දක් වශයෙන් නිතරම ගණුදෙනු කරන්නෙ චෙක්පත් හරහා. සැම දිනකට රාත්‍රියේ පසු දිනට ගෙවිය යුතු චෙක්පත් සියල්ල මා විසින් ලියා අවසන් කර තබනවා.. එදිනත් රාත්‍රියේ පුරුදු පරිදිම මා චෙක්පත් සියල්ල ලියා ලියුම් කවරයක දමා මා පුතු නිවසට එන තෙක් කාමරයේ තැබුවා... පසුව පුතු පැමිණි පසු එම ලියුම් කවරය පුතාට දුන්නා..ඊට පසු දින බැංකුවට ගිහින් බලද්දි එක් චෙක් පතක් නැහැ මහත්මයා..

පොඩ්ඩක් ඉන්න විල්බර්ට් මහත්මයා.. ඔබ පුතා අතට චෙක්පත් ටික දෙන්න කලින් නැවත ලියූ චෙක්පත් නිවරැදිව තිබුනා දැයි බැලුවේ නැද්ද...?

නැහැ හොම්ස් මහත්මයා.. මං එසේ සිදු කලේ නෑ.. වෙනදාත් එසේ නොකරන නිසා එදිනද එසේ කි‍රිමේ උවමනාවක් තිබුනේ නැහැ..මට තෙරෙන්නෑ මහත්මයා.. ඒ සල්ලි නැතුව තව දුරටත් මේ ව්‍යාපාරය කරගෙන යන්න අමාරුයි මහත්මයා..

තම හිස දෙපසට වනමින් උමතුවෙන් මෙන් කෑගසන පුද්ගලයා දුටු විට මුවට සිනහවක් පැමිණියද ඔහුතුල ඇති වන මානසික පීඩනය තේරුමි ගිය නිසාදෝ ඔහු ගැන විටක අනුකම්පාවක් මා සිත තුල ඇතිවිය.

විනාඩි කිහිපයක නිහැඩියාව තුල ‍කවුළුව අතරින් ඇදෙන සුළං පහරක හඩ පමණක් රජකල අතර විටක ඒ සුලගින් දල්වා ඇති පහන් සිල නිමී යා දෝ යැයි සිතින.. කාමරය තුල අඩ අදුරක් පැවතියද පහන් සිලෙන් නැගුන කහවන් ආලෝකය නොවන්නට කිසිදු එළියක් පෙනෙන්නට නොතිබිණ.

නිහැඩියාව බිඳිමින් හෝම්ස් යලිත් හඩ අවදි කරන්නට විය.

විල්බර්ට් මහත්මයා.. ඒ චෙක් පතේ වටිනාකම කීයද...?

ඇතින් හමා එන සුලං දෙස මොහොතක් බලා සිටි ඔවු හිස ඉදිරියට යොමු කලේ රහසක් කියන්නට මෙනි.. අප දෙදෙනාද පුටුවෙන් ඇත්ව ඔහු දෙසට පැමිණියේ එය රහසක් වශයෙන් ඇසිය යුතු නිසාවෙන්දෝ නැතිනම් සිත තුල ඇතිවුන කුතුහලය නිසාවෙන්ද යන්න සිතා බලන්නට අවැසි නොවින..

අප දෙසට ලං වුන විල්බර්ට් මහතා රහසින් කොදුරන්නා මෙන් කතාකරන්නට විය.

හොම්ස් මහත්මයා.. ඒ චෙක් පතේ වටිනාකම.......

අපි තිදෙනාගේ සුසුම් හෙලන හඩ හැර අන් කිසිම හඩක් පරිසරය තුල නොවින. හදවත ගැහෙන රාවයද ඇසෙනා තරම් පරිසරය නිහඩ විය.

ඒ චෙක් පතේ වටිනාකම ලක්ෂ 80ක්....

එක්වරම පුපුරා ගිය හෙන හඩත් සමග ඇතිවුන විදුළි එළියෙන් මුළු කාමරය අලෝකමත් විය.


.................මතු සම්බන්ධයි..............


Monday, July 11, 2011

ෂර්ලොක් හෝම්ස් - හදුන්වාදීම...


පෙරවදන....

අතීතය නැමැති වැසීයන නිම්නයක්තුල අනාගත සිහින මවමින් සිටි එක්තරා උදෑසනක බස් රේඩියොව හරහා ලෝකයතුල මැවුන මනෝරම්‍ය සංකල්පයක්තුල බිහිවුන ‍ෂර්ලොක් හෝම්න නාටක මාලාව මා සිතට එක්කල ආලෝකයක් මෙලෙසින් සටහන් කිරීමට ආරම්භ කරන්නට සිතින. මෙහි ගරුත්වය එම සංකල්පය නැවත කරළියට‍ ගෙන ආ සහෘද්ධයන්ට හිමි විය යුතු අතර නිරීක්ෂනයන් තුල කිදා බසිමින් තවත් එක් නිගමනයක් සොයන්නට ගන්නා උත්සයහක ප්‍රතිඵලයක් ලෙසින් මා මෙය හදුන්වා දීමට කැමැත්තෙමි...

ෂර්ලොක් හෝම්ස් චරිතය මා කුඩා කල සිටම මනාලෙස ප්‍රිය කරන චරිතයක් වුවද මාගේ ලේඛන හැකියාවට අනුකූලව යම් වෙනස්කම් සිදුකරමින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා මෙලෙස අකුරු කිරීමට ලැබීම මා ලැබු භාග්‍යයක් ලෙස සැලකීමට කැමැත්තෙමි.. එම නිර්මාණයතුල පාඨක රසවින්දනය උසස් අයුරින් ලබා දීමට මා උත්සහ කරනු ලබන අතර මෙහි සියලු නිර්මාණයන් මාගේ ලේඛන හැකියාවමත සිදුවන බැවින් සැබෑ ෂර්ලොක් හෝම්ස් කථාමාලාවට යම් අසාධාරණයක් සිදු වේනම් ප්‍රථමයෙන් මා සමාය අයැද සිටිමි.. මාගේ කාතාන්දර කොයි තරම් දුරකට‍ යා දැයි නොදන්නා අතර අනන්තය කරා ඇදී යන නොනවතින ජීවිතයක හැකි දුරක් ෂර්ලොක් හෝම්ස් සමගින් රැදීම මා අරමුණක් ලෙස සදහන් කරමි.. ඉතින් මා ප්‍රිය මිතුරනි.. අපි ඇවිද යමුද? අතීතය හා වර්ථමානය අතර අතරමං වුන වොට්සන් සමගින් තවත් එක් කඩඉමක් වෙත...
අවසරයි මෙලෙස අරඹන්නට නැවුම් මාවතක තවත් එක් ගමනාන්තයක් කරා..

මීට..
ලේඛකයාගේ නම.
ලිපිනය..
දුරකථන අංකය..


පළමු වෙළුම - හමුවීම..

ඈත කඳුකරය හරහා හමා එන සීතල සුලගින් හඩ නැංවෙන පරිසරක ශබ්ධය හැර වෙනත් ශබ්ධයකට ඇසුනානම් ඒ අප ගමන් කළ රථයේ රෝදවලින් හා අසු කුර වලින් නැගුන හඬ පමණී.සීතල කදුකරයක සුන්දරත්වය මා මින් පෙර අත්විඳ ඇති අතර මද අදුර නිසාවෙන්දෝ අවට පරිසරයතුල පාළුව රජකරගත් බවක් හැරෙන්නට වෙන කිසිවක් අත්විදින්නට නොමැත.සුලගින් ‍ගෙනෙන සීතල මඟහරින්නට මා හැඳි කබාය නැවතත් සකසා ගත් මා ‍දැස පියාගත්තේ ගමන් මහන්සියට දැයි මා සිතන්නට වුනෙමි..

වෛද්‍ය විද්‍යා‍ලයෙන් සමුගත් පසු මා හට ගෙවන්නට සිදුවන දුෂ්කර සේවය නිමකිරීම පිණිස සීතල කඳුකරය තොරා ගත් මා නවතින්නට නවාතැන් ‍පලක් සොයා යන ගමනක තමත් එක් මොහොතක් ලෙස මා මතකයේ මෙම කාලය සටහන් කරගතිමි.. රාත්‍රි කාලය ආලෝක කිරීමට වීදී ලාම්පුවක් හෝ නොමැති පරිසයක් තුල මීඳම් වලාවන් අතරින් එබී බලන සඳ එළිය අප මගට යම් ආලෝකයක් එක් කළද රථයේ රියදුරා දැල්වූ පහන් එළිය නොවන්නට මාර්ගය ‍පැහැදිලි නොපෙ‍නීමට තරම් පරිසරය අදුරු වී තිබුණි..

දෙපසින් ඇදී සැගවී යන ෆයිනස් ගස් පේළිය අදුරු හොල්මන් ලෙස පෙනෙන්නට විය.. නුපුරුදු පරිසරයක් තුල මා තුල යම් භිතියක් ඇතිනොවුනායැයි පැවසීම සැබිවින්ම මුසාවකි..

මේ.. නෝබට් මහත්මයා.. නවාතැන් පලට තව කොපමණ දුරද?... මෙම මුසල නිහඬ බව බිඳින්නට වෙන කිසිවක් ඉතුරු වී නැති නිසාවෙන් මා රථයේ රියදුරු හා කථාවට වැටෙන්නට විය..

දොස්තර මහත්තයට පේනවද අර ඈතින් පේන විඳුළි ලාම්පුව.. ආන්න එතන තමයි මහත්මයා බේකරි වීදිය.. එතනින් වමට හැරුනම පොඩි දුරයි...

ඒ ගෙදර මං විතරද ඉන්නේ..

මං දන්න විදිහට නම් මහත්මයා .. තව එක මහත්මයෙන් එහි නැවතී ඉන්නවා.. නමුත් ඔහු වැඩි කතා බහක් නැති අමුතු විදිහෙ කෙනෙක්..දොස්තර මහත්තයා කැමති නම් ඒ ගෙදර ඉන්න නැත්නම් අපි වෙන ගෙයක් හොයා ගම්මු අදම...

ම්ම්ම්ම්ම්.... සුරුට්ටුවක රස බැලීමට සිතු වුවද නුපුරුදු පරිසරයක නුපුරුනු මිනිසෙකු හමුවීමට යන මුල් දිනයේ එලෙසින් ගමන් කිරීම නුසුදුසු ක්‍රියාවක් ලෙස මා සිත පවසන්නට විය.

මීඳුම කපා ගත් අන්ධකාරයතුර කම්මැලිකමින් පාද නගන අසුන් දෙදෙනෙකු බැඳි කරත්තය මා නවාතැන් පළ වෙත ලගාවන්නට විය..
මා සතු බඩු භාහිරාදිය රථයතුල තැබූ රියදුරු වරයා තරප්පු පේලියක් නගිමින් පරණ තේක්ක ලීයෙන් සෑදූ දොර පියනක් කිරි කිරි හඩින් විවෘත ‍කලේය..

ඉතා සැර සුරුට්ටු දුමක් දොර පියනින් අවට වා තලයට මුසුවී ගිය අතර එවන් පරිසරයක් තුල මිනිසෙකු ඇති බවට විශ්වාස කල නොහැක.. නමුත් අරුමයක මහත.. නන්නාදුනන මිනිසෙකු හාන්සි පුටුවක් මත නිදා සිටිමින් දෙතොල මත රැදි සුරුට්ටුවක රස බලන්නට විය..

නිහැඩියාව තව දුරටත් නොනැසි සිටිය නිසාවෙන්දෝ මා හට ආගන්තුකයා හා කථා කිරීමට සිත් වුවද ඔහු නිදි නිසාවෙන් මා අරමුණ වෙනස් කරන ලදී...

ඔවු මහත්මයා.. මා නිදා සිටිනවා යැයි සිතුවාද..

ගැඹුරු හටහඬ අවදිකළ ආගන්තුකයාගේ ප්‍රකාශය මා සිත තුල ලැජ්ජාවක් උපද්දන්නට විය..

ඔවු.. මං හිතුවා ඔබතුමා නිදාගෙන ඇති කියලා... මං වොට්සන්.... ඔබ?

මා ෂර්ලොක් හෝම්ස් ලෙස හදුනාගන්නකෝ.. නමුත් ඔබ ඇයි ඔබව දොස්තර වරයෙකු ලෙසින් හදුන්වා නොදුන්නේ..

මොහු මා දොස්තරවරයෙකුවරයෙකු ලෙස දන්නේ කෙසේදැයි මා සිත විමසන්නට වුන අතර යම්ලෙසකින් රථයේ රියදුරා මින් පෙර මා පිළිබඳව පවසා ඇත්දැයි සිතමින් සිටින මොහොතක.

ඔබ සතුව ඇත‍ වෙද නළාවත් සහ සුදු පැහැති ලෝගුවත් ඔබ දොස්තරවරයෙකු බවට සහතියක් නොවෙද දොස්තර මහත්මයා...

ඕහ්.. මං හිතුවා නෝබට් මහත්මා මා පිළිබඳව ඔබව දැනුම් දී ඇත කියා.. දැන් බලපුවම සරළ නිරීක්ෂයක්නෙ සිදු කරල තියෙන්නෙ..හෝම්ස් මහතාගේ මුහුණ වෙනස් වූ අතර..

වොට්සන් මහත්මයා.. නිරීක්ෂයන් කොයි තරම් සරළ වුවත් වැදගත් වන්නේ අප සිදු කරන නිරීෂනයන් මතින් නිගමන බිහිකිරීමයි...
දැන් බලන්න.. ඔබ තනිකඩයෙක්.. තවම ආදුනික දොස්තරවරයෙක්.. බිඳුන ‍ප්‍රේමයක් නිසාවෙන් සිත් ලැතැවුලෙන් සිටින්නෙක්. මේ සියල්ල මා දන්නා බව ඔබ නොදන්නවාද...

මෙම ප්‍රකාශයන් මා සිත කෝපය උපද්දවන්නට විය..

හොම්ස් මහත්මයා.. මේක ඉතා නින්දිත ක්‍රියාවක්.. ඔබමාගේ පුද්ගලකත්වය සොයා ගොස් හැඩයි.. මෙයට මං විරුද්ධයි මහත්මයා..

කේන්ති ගන්න එපා මා මිත්‍රයා. මා සිදු කලේ මා දුටු නිරීක්ෂයන් මතින් නිගමන බිහි කිරීම පමණයි..දැන් බලන්න ඔබ ඉතා තරුණයි.. ඒ කියන්නෙ අඳුනික වෛද්‍යවරයෙක් වියයුතුයි.. නගරය අතහැර දුෂ්කර පරිසරයක් තෝරා ගත්තේ අමතක කළ නොහැකි යම් කරුණක් අමතක කරන්න.. තරුණ වෛද්‍යවරයෙකුට අමතක ‍කළ නොහැක්කේ කුමක්ද.. ඒ ප්‍රේමයක් නොවන්නේ නම් අන් කවරක්ද.. අනික ඔබ විවාහ වූ කෙනෙක් නම් මෙලෙස තනි පුද්ගලයකුට නවාතැනක් සොයන්නේ නැහැ නේද?.. මා සිදු කළ සරළ නිරීෂනයන් මතින් නිගමන එළි කලා පමණයි මා ප්‍රිය මිත්‍රයා...

ම්ම්ම්ම්ම්.. මට සමාවෙන්න මහත්මයා.. මට කේන්ති ගියා.. මා විවාහ ගිවිස ගැනීමට සිටි අයෙක් මහත්මයා.. ඇය හදිසි අනතුරක් නිසාවෙන් ජීවිතය හැරගියා..

දෙනෙත තුල සැගව තිබු කඳුළු බිඳු පොළව මත පතිත වේයැයි බියෙන් මා පසුවන්නට විය..

සමාවන්න දොස්තර මහත්මයා.. මා ඔබගේ සිත රිදවන්න අදහස් කරේ නෑ..

ම්ම්ම්ම්.. හරි හෝම්ස් මහත්මයා.. මා දන්නවා එය...

මා ප්‍රකාශයෙන් පසු පරිසරය තුල නැවතත් නිහැඩියාව ඇති වුව අතර එය බිඳ දමමින් රියදුරුවරයා අප අතරට පැමිණෙන්නට විය..

දොස්තර මහත්මයා.. ඔබ මේ නවාතැන් පළ තෝරා ගන්නවාද.. නැත්තං අපි වෙන තැනකට යනවාද...

නුපුරුදු ආගන්තුකයා දෙස නැවත වරක් මා නෙතු හැරවුන අතර ඔහු නිදැල්ලේ සුරුට්ටුවක රස බලමින් සිටින්නට විය..

ආගන්තුකයාගේ වරදක් නැති නිසාවෙන් හා රෝහලට ලග නිසාවෙන් මා මේ නවාතැන් පළ තෝරා ගතිමි..

හරි නෝබට් මහත්මයා.. මා මෙහි ලැගුම් ගන්නම්.. ඔබ මා සතු ඇඳුම් ටික ගෙනැවිත් දෙන්න..

හෝම්ස් මහතාගේ දෙතොල තුල රැදී තිබු සිනහව තේරුම් ගැනීමට තරම් මා සිත සවියක් නොතිබින.. ගමන් මහන්සිය නිසාවෙන් එහි තේරුම සෙවීම සහ අවට සුන්දරත්වය නැරඹීම පසෙක ලා මා නිදන්නට අදිටන් කරගතිමි....


...................මතු සම්බන්ධයි................

Tuesday, July 5, 2011

අලවිකරණය,නිර්මාණශිලිත්වය, හා ජීවිතය

අලවිකරණය...
Marketing is the management process that identifies, anticipates and satisfies customer requirements profitably.
The Chartered Institute of Marketing (CIM)

තේ‍රෙන සිංහලෙන් කිව්වොත් අලවිකරණය යනු පාරිභෝගික අවශ්‍යතාවයන් හදුනාගැනීම, අපෙක්ෂා කිරීම, සහ එම අවශ්‍යතාවයන් ලාභයක් ලබමින් ඉටුකිරීමේ ක්‍රියාවලිය වේ...
තවත් අර්ථ ගැන්වීමක් මෙලෙස සටහන් කර හැක..
අලවිකරණය යනු පාරිභෝගික අවශ්‍යතාවයන් හදුනාගනිමින් හෝ පාරිභෝගික අවශ්‍යතාවයන් නිර්මානය කරමින් තමා සතු භාණ්ඩ අලවිකරණය කරගැනීමේ ක්‍රියාවලියයි...
එනම් අවශ්‍යතාවයක් නැති වුවද අප පාරිභෝගිකයා තුල අවශ්‍යතාවයක් ඇති කළ යුතුය....

අලවිකරණය හා විකුනුමතුල පැහැදිලි වෙනසක් ඇත. භාණ්ඩයක් විකීනිම ඕනෑම පුද්ගලයකුහට ඉටු කල හැක..එහිදී සිදුකළ යුත්තේ අවශ්‍යතාවයන් හදුනාගැනීමක් පමණි..එසේ නැති නම් සමාජ රැල්ලක් හා ගමන්කිරීම තුලින් කිසිදු ආයාසයක් නොමැතිව තම අරමුණු ඉටු කරගැනීමට හැක..

නමුත් අලවිකරණය තුල මිනිසා නිර්මාණශිලි විය යුතුය..ඇඩීම.. දුක් ගැනිවිලි.. කඳුළු පෙන්වීම., සිහනහව මේ කුමක් ලෙස නමක් ලැබුවද අවශ්‍ය වන්නේ නිර්මාණගීලිත්වය තුලින් තම අරමුණු ඉටු කරගැනීමය.. තම පුද්ගලිකත්වය හෝ නොපැවැසියයුතු ජීවිතය පවා ලෝකයා හමුවේ ඉදිපත්කිරීමට මිනිසුන් පෙළඹි ඇත්තේ මෙවැනි අලවිවන සමාජයක්තුල තමන්ට උවමනා කරන ලාභය ලබා ගැනීමට යැයි මා විශ්වාස කරන්නෙමි.. නමුත් සිදුවිය යුත්තේ එය වඩාත් නිර්මාණශිලි වීමය.. නැතිනම් පාරිභෝගියා එය වරදවා වටහා ගනු ලබන අතර නිර්මාණශිලි නොවන්නේ නන් දෙවනිවර මිලදී ගැනීමටක් හෝ එම භාණ්ඩය නැවත ලබා ගෑනීමට පෙළඹවීමක් ‍සිදුවන්නේ නැත..

දැන් ඇයි මං මේ දේ කිව්වේ.. අලවිකරණය හා ජීවිතය තුල ඇති බැදීම් තේරුම් නොගෙන මායාවක් තුල සැගවුන ජීවිතයක ඇතුලාන්තය සුළුවෙන් හෝ මම දකින හැටි මෙලෙස කෙටියෙන් සටහන් කිරීමට කැමැත්තෙමි..

ජීවිතය හා අලවිකරණය..

අපි ජීවිතය අලවිකරන්නන් වෙමු.. මෙම අර්ථ දැක්වීමට විරුද්ධවිය හැක. නමුත් යථාර්තයට මුහුණ දිය යුතුය... පාසල් සමයෙහි වි‍නෝද චාරිකාවට අවසර ගැනීමට අප දෙමාපියන් ඉදිරියෙහි අලවිකරණ ක්‍රියාවලිය සිදුකළ යුතුය.. ඒ කෙසේද...
*විනෝද චාරිකාව ගැන නොයෙකුත් බොරු ගොතා ඒ පිළිබඳව දෙමාපියන් තුල උනන්දුවක් ඇති කිරීම..
*එම කාලසීමාව තුල දෙමාපියන්ගේ අවවාද අනුශාශනා අසා කීකරුව සිටීම.
*දෙමාපියන්ගේ සිත් රිදවෙන ආකාරයෙන් හෝ කිසිම වරදක් සිදු නොකිරීම..
මෙවන් වූ කාරනා බොහොමයකි.. එනම් අප අපගේ පාරිභෝගියන් තුල අප අලවිකීරිමට ඇති භාණ්ඩය (විනෝද චාරිකාවට අවසර ලබා ගැනීම) විකිණිම සදහා වූ අලවිකරණ ක්‍රියාවලියක කොටස් කරුවෙක් වී හමාරය..‍මෙතනදි අප ලබන ලාභය අවසර ලැබීම වන අතර විකුණන ලබන භාණ්ඩ කිහිපයකි.. එනම් බොරුව.. රගපෑම.. නොයෙකුත් මෙකී නොකීදැය.. එය ජීවිතය තුල එක්තරා අලවිකරණ ක්‍රියාවලියකි..

වෘත්තිමය ජීවිතය තුල අපට බොහෝ දෑ ලබා ගැනීමට ඇත.. සුවපහසු ජීවිතයක්,සැප යාන වාහන, යන සියළු දෑ අප ලබන ලාභයන් ලෙස සැලකිය හැක.. එම ලාභයන් ලබා ගෑනීමට අප කාලය, දැනුම, සහ නොයෙකුත් දෑ කැපකිරීමට සිදුව ඇත.. එය ඔබ මා පමණක් නොව සියළුම වෘත්තිකයන් සිදුකළ යුත්තකි.. නමුත් සාර්ථක වෘත්තිකයෙක් හා සාමාන්‍ය වෘත්තිකයෙක් අතර පැහැදිලි වෙනසක් ඇත.. එය නිර්මාණ ශීලිත්වයයි... නිර්මාණශිලිත්වය වඩා සාර්ථක වෘත්තිකයෙක් බිහිකරයි..

අප යම් ආයතනයක සේවය කරමින් සැප යාන වාහන, ඉහල වැටුප් , සහ සියළුම දීමනා ලබන්නේ යැයි සිතමු.. එම කාලයතුල අප හට වෙනත් කිසිදු රැකියාවක අවශ්‍යතාවයක් පැන නොනගී.. අප සැමවිටම සිතන්නේ අපි ඉගන ගත් දේ සහ අපට ලැබෙන දේ ඇති කියාය.. එම නිසා අප කිසිවිටකත් නිර්මාණශිලි නොවන්නෙමු.. නමුත් කෙදිනක හෝ ආයතනයෙන් යාමට සිදු ‍වුවහොත් අප අතරමං වනු නියතය.. මන්ද යත් අප ගෙවුනු කාලයක් තුල සිරවී සිටි මායාව නිසාවෙන් අප ජීවිතයට එක්කරගත් කිසිවත් නොමැති නිසාවෙනි..

මා මිතුරෙකු සමග මේ පිළිබඳව කළ කථාවකදී අපූරු නිදසුනක් ඇසුවෙනි.. එක්තරා ආයතනයට සුළු සේවකයකු වශයෙන් බැදුනු පුද්ගලයෙකු නොයෙකුත් කරුණු නිසාවෙන් අවුරුදු 15ක් තුල කළමනාකාරිත්වයේ සාමාජිකයකු විය..ඔවු ලක්ෂ ගනනින් වැටුප් ලැබීය. නමුත් අවසානයේදි ඔහුට රැකියාව අහිමි විය.. සේවය නැතිව ගිය ඔහු හට එම දීමනා සමගින් එවැනි රැකියාවක් කිසිවිටකත් ලැබී නැති අතර එවැන්නක් ලැබීමටද සුදුසුකමක් ඔහු තුල නැත.. වරද ඇත්තේ කොතනද.. ඔහු ඉතා කැපවීමෙන් සේවය කර උසස් වීම් ලැබූවෙකි.. ආයතනයතුල අප කරන සියළුම කැපවීම් කර ඇත.. නමුත් ඔහුට සුදු වූයේ කුමක්ද..?? ඔහු රැල්ලට ගසා ගෙන ගියා මිසක නිර්මාණශීලිත්වය සහ සමාජ අවශ්‍යතාවයන් තේරුම් නොගැනීම තුල අතරමං වී ගියේය..

එයට මනා උදාහරණයක්ද ඇත.. එනම් ඇත්කුණේ වහපු කපුටාට වුන දේ හා සමානය යන්නය..

ඇත්‍කුණේ වහපු කපුටාට කුමක් සිදුවුනිද.. එය මෙසේය.. දිනක් ගලායන ගඟක් මත පාවෙමින් යන ඇත්කුණක් දුටු කපුටෙකු එය මත වසන ලදී.. ඇත්කුණ ගඟ දිගේ මුහුද දෙසට ගසාගෙන ගිය අතර කපුටාට උවමනා තරමින් ආහාර තිබූ නිසාවෙන් වෙන කෑමක් ගැන සිතන්නට අවැසි වූවේ නැත. එනම් අවට ලෝකය හා ලෝකයේ අවශ්‍යතාවයන් ගැන කපුටාට අවබෝධයක් නොතිබිණ..මෙසේ කල් ගත වෙද්දි ඇත් කුණ මහ මුහුද මැදට ගොස් මාළුන්ගේ කෑමට හා දිය වීම හේතුවෙන් නැති වී යන්නට විය.. කපුටා තවමත් ඇත්කුණ මතය.. නමුත් ගොඩබිමක් පෙනෙන්නට නොමැත.. කපුටා ආහාර නොමැති කමින් මිය ගියේය...

මෙය අප ජීවිතය හා කොපමණ බැදී ඇත්ද.. අප දැනට ලබන වරප්‍රසාද පිළිබඳ සෑහීමකට පත්වන්නේ නම් වෙන කිසිවක් පිළිබදව අප නොසිතන්නෙමු.. එයට කදිම උදාහරණයක් ලෙස රාජ්‍ය නිළධාරින් ගෙන දැක්විය හැක.. ඔවුන් කිසිවිටකත් නිර්මාණශිලි හෝ අලුතින් දෙයක් සිතන්නට පෙළබෙන්නේ නැත.. එවුන් සිතනුයේ අපට දැන් ලැබෙන දේ ඇත කියාය..ඔවුන්ගෙන් වෙන රස්සාවක් ගැන ඇසුවොත් ඔවුන් පවසන්නේ අපිට වෙන කවුද රස්සාවක් දෙන්නෙ කියා නිහඩ වෙයි.. නමුත් වැරැද්ද ඇත්තේ ඔවුන් තුලය..ඔවුන් සමාජීය හෝ පාරිභෝගික අවශ්‍යතාවයන් හදුනා ගනිමින් එයට අදාලව තමන් අලවිකරගැනීමට අපොහොසත් වී ඇත..තමන් විසින් සදා කොටු කරගත් නිර්නාකයන්තුල ඔවුන් සිරවී ඇත..

රැල්ල සහ නිර්මාණ ශිලිත්වය අතර පැහැදි වෙනසක් ඇත.. දැන් ලංකාවේ පෙන්වන සියළුම ටෙලි නාටක රැල්ලකට අසුවී ඇත.. එම රැල්ලට අසුවෙන ඕනෑම ටෙලි නාටකයක් විකුණාගත හැක..පෝසත් කොල්ලෙක් දුප්පත් කොල්ලෙක්.. ගෙදර වැඩකාර කමට නපුන්සකයෙක් හෝ අමාරුවෙන් මිනිසුන් හිනැස්වීමට දඟලන චරිතයක්.. මේ සියල්ලක් රැල්ලක්තුල ගසාගෙන යන ඒකාකාරී රටාවකි.. නමුත් විකීණිමට ඇති භාන්ඩය විකුණාගත හැක.. එසේ නම් වරද කුමක්ද??
වරද ඇත්තේ මෙසේ විකුනණ භාණ්ඩය පාරිභෝගියා ප්‍රතික්ෂේප කළ දවසට රැල්ලේ අසුවී ගසාගෙන යන්නන් අතරමං වීමය.. නමුත් නිර්මාණශිලි වන්නේ නම් රැල්ලට කුමක් වුවද සමාජයතුල තමන් හට නොනැසී දිගු ගමනක් යාමට හැකිවනු ඇත..

අප සිදු කළයුත්තේ කුමක්ද.. අප ජීවිතයතුල අලවිකිරීමට ඇති භාණ්ඩ වටහා ගත යුතුය.. ඒවාවෙන් කර තෝරාගත යුතුය... ඒ සදහා පාරිභෝගිකයාතුල කැමැත්තක් ඇති කළ යුතුය.. ඒ සදහා නිර්මාණශිලි වියයුතුය..

නිර්මාණශීලිත්වය තුල ඇඩීම, දුක පැවසීම, පුද්ගලිත්වය ලොවට පැවසීම, මේ කුමක් වුවද සිදුකල යුත්තේ තමන්ගේ අරමුණ ඉටුකර ගැනීම සදහා වඩාත් නිර්මාණශිලි වීමය.. නැති නම් ඇති වන්නේ තාවකාලික ඉල්ලුමකි.. රැල්ලේ ගසාගෙන යාමකි.. එක්තරා දිනක මේ සියල්ල නැතී වී පාරිභෝගියා භාණ්ඩ ප්‍රතික්ෂේප කරයි.. නැති නම් එහි ඇති මූසල ගතිය සිහනවට ලක්කරයි.. මෙවැසි ස්ථානයකට පැමිණි පසු ජීවිතය වෙනස් කරගත නොහැක.. සමාජයේ එක්තරා රාමුවකට කොටු වීමට‍ පෙර රාමුවෙන් එළිය ලෝකය වටහාගත යුතුය..නැතිනම් අප ඒකාකාරී සමාජ රාමුවක තනිවුන මිනිසෙක් වනු නොඅනුමානය......


ප.ලි....

මෙහි අන්තරගතය තුල මනා ගැලපීමක් නැති වුවද මා පසුගිය කාලයතුල වටහා ගත් දෙයක් මෙලෙස සටහන් කර ඇත....මෙය මාගේ පුද්ගලික අදහසක් පමණි........




LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...