Tuesday, September 25, 2012

ග්‍රාම සේවක නන් මහ තිරිසනෙක්

හැමදාම වගේ ඉර ගෙදර වැට කඩුල්ලට උඩින් එබීගෙන එද්දි ඊයෙ ඉතුරු වෙලා තිබ්බ බත් දංකුඩ පොඩ්ඩ හූරගෙන කාල හේනට යන සිරිදාස දිහා එතනා බලාගෙන හිටියේ පුරුද්දට වගේ.. ගෙදර මිදුලේ නිදාගෙන හිටපු බලු නගුටත් පුරුද්දට වගේ සිරිදාස පස්සෙන් ඇදිලා ගියා..ගෙදර දොරට හේත්තු කරලා තිබ්බ පොල් අතු දොර පියන අතන ගන්නකොටම සිරියාවති කඩුල්ලට උඩින් එබිලා මොර දෙන්න ගත්තා..

එතනා.. යමු පිං ඇලට නාන්න.. වරෙන් සුමනත් එනවා කිව්වා..

හෝදන්න තිබ්බ පොඩි උන්ගෙ ඇදුං කෑලි ටිකත් මතක් වෙච්චි එතනට ආයෙ හිතන්න දෙයක් තිබ්බෙ නෑ..

ඔහොම ඩිංගිත්තක් හිටිං.. මං රෙදි බාල්දියත් අරං එන්නං..

වැව් නියර උඩින් යන කොක්කුදිහා බලාගෙන දෙන්නම හාවක් හූවක් නැතුව ඇදිලා ගියේ දවල් පොලට යන්න අතේ සල්ලි නැති නිසාද කියලා දෙන්නම දැනගෙන හිටියේ නෑ..

ආහ්.. අද උදැහැනේම දෙන්නා නාන්න ඇවිත්..

ඇතදීමට අදුර ගත්ත සුමනා කුඹුක් ගහ මුල ඉදන් බුලත් හප තැවරිච්ච දත්ටික පෙන්නලා මොර දුන්නා..

ඔවු බං.. දවල්ට පොලට යන්නත් ඕනිනේ.. උදේම විගහින් නාගන්න කියලා ආවා..

ආහ් උඹලට ආරංචිද...

රෙදි බාල්දිය බිම තියන්නත් කලින් ඇස් ගෙඩි දෙක නලලට ගත්ත සුමනා එතනයි සිරියාවතියි දිහැ බලාගෙන හිටියා..

ඒ මක්කැයි..

අර පුංචි හාමු ග්‍රාම සේවකයට ගහලා තියෙන්නේ.. ග්‍රාම සේවකයා අවලං වැඩක් කරාටලු..

අනේ පලයන් සුමනෝ යන්න.. ග්‍රාම සේවකයා ගිහින් තියෙන්නේ රාජකාරීයකට නොවැ.. පොලෝසියෙ උන්දැත් කිව්වේ..

ආහ්.. ඒ උඹලා දන්න කෙංගෙඩිය.. ග්‍රාම සේවකයා ඒ කසිප්පු මුදලාලිගෙ ගෝලයෙක්ලු..උන්දැ එදත් ගිහින් තියෙන්නේ කසිප්පුවට උදවුවටලු..

ආහ්.. එහෙනන් පුංචි හාමු අහවල් දේකටද ගිහින් තියෙන්නේ..

පුංචි හාමු ගිහින් තියෙන්නේ.. ඒක ආරංචි වෙලා ග්‍රාම සේවකයට දෙකක් අනින්නමලු..

අනේ.. හත්දෙයියනේ.. අපෙ පුංචි හාමු..බය නැතුව යනවද අප්පා ඔය කසිප්පු ගුබ්බෑයටම.. ඒ කිරි සප්පයට මොකක් හරි උනා නන්..

හෙන හතම ගහන්න ඕනි ග්‍රාම සේවකයට.. ඔය හැම දෙයක්ම අහගෙන හිටපු එතනට ඒ වචන ටික කටින් පැන්නේ පපුව ඇතුලෙන්ම වේදනාව ගලාගෙන ආපු නිසා වෙන්නැති..

බලපං සුමනෝ.. ග්‍රාමසේවකයගෙ ගෑණිත් කිව්වෙ බොරුනේ.. නොදකින් කාලකණ්නි හැත්ත..

ඒත් එතනෝ.. මං නන් හිතුවා ඕක වෙද්දි පුංචි හාමු අහිංසකයි කියලා..

ඒ ඇයි බං එහෙම හිතුවේ..

මං පෙරේද දැක්කනේ බං පුංචි හාමු පංසලේ බෝධිය මුල දනගහගෙන වදිනවා.. එහෙව් මිනිහෙකුට පුලුවන්ද ඔය තරං අපරාදයක් කරන්න..

පිස්සුද සුමනෝ.. ඒ පුංචි හාමු බීලා නැගිට ගන්න බැරුව පන්සලේ වැටිලා හිටියේ.. මං දැක්කනේ ලොකු හාමු වත්තං කරගෙන යනවා..

යකෝ.. තොට සහ ගහනවා ඒ කියපු කතාවට.. පිස්සුද ගෑණියේ.. ඒ පුංචි හාමු පන්සිල් ඇරගන්න ගමන් හිටියෝ.. තොපිලා කට තිබ්බට කියවන්න එපා...

අනේ මන්දා බං.. මට නන් මේ ලෝකෙ සංසාරයක් තේරෙන්නෑ බං..

ග්‍රාම සේවකයා ගමේ හොරු ඇල්ලුවා තමා.. ග්‍රාම සේවකයා ඉස්සර ගමට කොයි තරං වැඩ කෙරුවද.. එහෙව් එකෙක්නේ මේ අවලං වැඩේ කරේ.. දෙයියොම බලා ගන්න ඕනි මෙව්වා..

ඒක නෙමේ...මොකෝ සුමනෝ එතකොට පුංචි හාමු දැන් පේන්න නැත්තේ...

ආහ්.. උඹලා දන්නැද්ද.. පුංචි හාමු තමා ගමේ ඉස්කෝලෙ ලොකු මහත්තැයි වෙන්න ඉන්නේ.. ඕං කොළඹ රටේ ගියා මොකක්ද මාසෙකටඋපාධියක් අරං එන්න කියලා..

අනේ වාසනාවක් සුමනෝ.. මගේ පොඩි උන්ගෙ වාසනාව එහෙවු රත්තරං මහත්තයෙක් ඉස්කෝලෙට එනවයි කියන්නේ..

ඒක තමා එතනෝ මාත් කියන්නේ.. අපිට එහෙවු වාසනාවක් එද්දි අර තිරිසං ග්‍රාමසේවකයා කරපු වැඩේ බලහංකෝ..

හත්වලාමේ.. ඇත්තමයි.. බැරි වෙලාවත් පුංචි හාමුට මොනවා හරි උනා නන්..

සංසාරේ... අපේ පුංචි උන්ගෙ අනාගතේ.. මං යනවා අද ලොකු හාමුදුරුවන්ට කියලා පහන් පූජාවක් තියන්න.. පුංචි හාමුට විභාග පාස් වෙන්න ලැබෙන්න කියලා..

ආහ්.. උඹ යද්දි කියාපං.. මාත් එන්නං.. අනේ සාධු.. අපේ ගම දැන්වත් දියුණු වෙයිනේ...

හප්පේ.. ඇති යකෝ උඹලගෙ කයිය.. විගහින් නා ගනින්.. තව පොඩ්ඩකින් ලොකු හාමු එයි නාන්න.. උන්දැ ආවොත්.. අපිට පොලේ යන්න නෙමේ.. උන්දැගෙ ඇදේ තනි රකින්න තමා වෙන්නේ...

ඒක හැබැයි.. කෝ ඔය සබන් කෑල්ල ගනින් බං.. පිටේ අතුල්ල ගන්න...



ප/ලි..

කතෘ.. අන්.....නාතයි.....

Monday, September 10, 2012

මායාවක්ද නුඹ


මායාවක්ද නුඹ
රෑයෙ විත් මා සිත කළඹමින
නුඹ ඇවිත් නොකියාම යන
මේකද ජීවිතය
නුඹ නොමැති සිත සැනසුම සොයන
රන්තරු නොමැති
එකම අහසක් යට
තරු සඳ ඇති ඒ අහස යටම
නුඹ සමග මා තනිවෙන
ලෝකයම නවතින
තවත් එක් සොදුරු ඇරඹුමක
අතර මග නිහඩවම තනිවෙන
මායාවක්ද නුඹ
ලොවම හඩවන

Wednesday, August 8, 2012

අතවරයකට ලක් වූ ගැහැණියක ගැන ඇසින් දුටු සාක්ෂි


වෙලාව උදේ පාන්දර හත හමාරට විතර ඇති.. පොලිස් ස්ථානයේ ගේට්ටුව මුරට හිටපු බටයා යන්තං ඇස් ඇරියා විතරයි. කිරි සුදු පාට ලස්සනම ලස්සන අලුත් මෝටර් රථයකින් නයිට් ගවුමකින් සැරසුන රෝස මලක් වගේ කෙල්ලෙක් දැක්ක ගමන්.. ඒ බටයා කුණුකෙල ටිකත් ගිල ගත්තා.. ඒ උනාට ඒ කෙල්ල බටයා දිහා බලන්නෙවත් නැතුව සුරූස්...................... ගාලා කාර් එක ඇතුලටම අරං ගිහින් කාන්තා හා ළමා කාර්යාංශය ඉස්සරහා කාර් එක නතර කරා..

ඒකෙන් බැහැලැ අඩාගෙන ගිහින් පැමිණිලි ලියන නිළධාරිනිය ඉස්සරහා පුටුවෙ ඉදගෙන ආයෙත් කෑ මොර දීලා අඩන්න ගත්තා.. පැමැණීලි නිළධාරිණිය ඔලුව යන්තං උස්සලා ඇහැව්වා..

“ඇයි..“

“මාව අතවරයට ලක් උනා.. “ මහ හඩින් මුලු පොලිසියටම ඇහෙන්න කෑගහලා කිව්වා
ඒක ඇහුන අනිත් නිළධාරිණියන් නිළ ඇදුම අමතක කරලා ගෑණු කම පපුවට අරං පපුව මේස උඩින් තියාගෙන අතවරයට ලක්වුන ගෑණු දැරිවිගේ ශෝක කලාපය නැමැති ඔප දූපය අහන්න වට උනා.. පැමිණිලි මෙහෙයවන නිළධාරිණිය ඇස් දෙක උඩ දාගෙන ප්‍රශ්න අහන්න පටං ගත්තා..

“දැන් කවද්ද දරුවො ඕක උනේ..“
“දැනට මාස දෙකකට කලින්..“
“ඇයි මෙච්චර කල් නොකිව්වේ“
“නෑ එයා අද තමා කිව්වේ එයා මට ආදරේ නෑ කියලා...“
“ආහ්.. එතකොට කොහේදිද එයා ඔයාට අතවර කරේ“
“මගේ කාමරේදි“
“කීයට විතරද ? ....“
“මහ රෑ 12ට විතර“
“එයා ඔයාගෙ කාමරේට ආවේ කොහොමද“
“එයා ඔන්ලයින් ආවේ...“

මෙය තේරුං ගැනීමට නොහැකි වූ නිළධාරිනියන් ඔන්ලයින් නැමැති වාහනය අත්අඩංගුවට ගැණිමට නියෝග කර පණීවිඩ යවයි...ඒ අතර මද කිපුන තරුණ පිරිමි නිළධාරින් අතවරයට ලක් වූ ගැහැණු දැරවිය වට කොට ඇය ගැන අනුකම්පා කරමින් බලා සිටී...

“එයා ඔයාගෙ ඇදුම් ගැලෙව්වද...“
“නෑ.. මට සාය උස්සන්න කිව්වා..“
“හැහ්.. එච්චරද කිව්වේ..“ මද කිපුන බටයෙකු මැද්දෙන් පැන විමසයි
“ඔවු ඇයි... “ ඇය හැඩූ කදුලින් පිළිතුරු දෙයි
“නෑ.. මං එහෙම ඔහොම කරා නන් උඩත් ගලවන්න කියනවා...“ බටයා බිම බලාගෙන ශෝකයෙන් පවසයි..
“නොදකින් වලත්තයා.. “ ගැහැණු ඉදිරියේ ලකුණු දා ගැනීමට, හිතට ආපු හැගීම යට කරගෙන සාජන් කෑමොර දෙයි

“ඉතින්.. දුව ඊට පස්සේ...ඔයා සාය ඉස්සුවද.. “
“නෑ.. “ ඉහි ඉහි.... ඇය මහ හඩින් නැවතත් හඩන්නට වූ නිසා අනිත් අය ඇයව සනසාලීමට කාලයක් ගතවෙයි

“එයා මට සාය උස්සන්න කිව්වට මට එහෙම කරන්න බැරි නිසා.. මං ඇස්දෙක පියාගෙන ඇදේ නිදා ගත්තා..“

“නෑහ්.. ඉතින්.. ඇයි ඔයා කෑගැහුව්වෙ නැත්තේ..“ කාන්තා නිළධාරිනියක් විමසයි
“මට බය හිතුනා.. එහා කාමරේ නිදාගෙන හිටපු කුසුමට ඇහෙයි කියලා..“

“ආහ්.. ඉතින් එයා මොකද කරේ..“
“එයා මට හැමදේම කරා.. මං විනාස උනා.. දෙයියනේ..“ ඇය නැවතත් හඩයි

වටේ රැස් වී සිටයවුන් ඇයට අතවර කල තැනැත්තාට සාප කරමින් පොල් ගසයි..

“මේක මෙහෙම බෑ. සිරියස් කේස් එකක්.. අපි හොස්පිටල් යමු.. බටයා.. ගිහින් ජීප් එක ගේන්න.. “

“ජීප් එකේ ගිනියන්න බෑ මිස්.. මේ ළමයා අතවර වෙලා ඉන්නේ.. වැඩිය ගස්සන්න හොද නෑ.. අපි කාර් එකක යමු..“
“කාර් එකක් කෝ ඉතින්..“

“ඉන්න..“ බටයන් කිහිප දෙනෙකු මාසයක් වැඩ කර උපයා ගත් මුදල මේසය මතට ඇද දමමින් ඇයට කාර් එකක් ගෙන ඒමට අනුග්‍රහය දක්වයි..

ඇයව රෝහල ඇතුලට ගත් පසු.. අතවරයට ලක්වුන තරුණිය බැලීමට රෝහල් කාර්ය මණ්ඩලය වට වෙයි.. වෛද්‍යවරයා ඉතා අපහසුවෙන් සෙනග අතරින් පැමිණ ඇය පරික්ෂා කර බලයි

“දැන් කවද්ද අතවර කරේ ඔය දරුවට..“
“මාස දෙකකට කලින් ඩොක්ට.. “
“වෙන්න බෑ.. මේ ඊයෙ පෙරේදත් අතවර කරලා තියනවා කවුරු හරි..“
“අනේ නෑ ඩොක්ට.. එහෙම වෙන්න බෑ..“
“ඒ කොල්ලා දැක්කම අදුර ගන්න පුලුවන්ද...“
“අනේ බෑ ඩොක්ට.. මං ජීවිතේට ඇත්තට දැකලා නෑ.. පොටෝ එකක් විතරයි දැකලා තියෙන්නේ..“
“හැහ්.. එතකොට කොහොමද අතවර උනේ..“
“ස්කයිප් එකෙන් මට එයා එහෙම කරේ... ඇය නැවතත් මහ හඩින් හඩයි...“

දරුවා මට බොරු කරන්න බෑ.. දැක්ක ගමන් කියත හැකි ඔයාව සැහෙන්න අතවරයට ලක් කරලා කියලා.. ඔයාට එයා තර්ජනය කරනවා ඇති.. ඒක තමා ඔය

මෙය ඇසුන රෝහල් සේවක පිරිස.. බිම පස් උලා කමින්.. තණකොල හපමින්.. එය කල තැනැත්තාට සාප කරයි..

වෛද්‍යවරයා තරුණ ගැහැණු ළමයාව රෝහලේ 4 වාට්ටුවේ නේවාසිකව නතර කර තවත් පරීක්ෂන සදහා නියම කරයි.. ඒ අතර

“කෝ මේ පොලෝසිය.. “ වෛද්‍යවරයා කාන්තා නිළධාරිනියක කැදවයි

“මේ දරුවව සැහෙන්න සැරයක් අතවර කරලා තියනවා.. මෙයාට දැන් තර්ජන ඇති.. ඒ නිසා මෙයා කියනවා එහෙම කරේ නෑ එක පාරයි කියලා.. මෙයාට විශේෂ පොලිස් ආරක්ෂාවක් දෙන්න..“

“හොදයි ඩොක්ට.. ඒත් ඡන්දෙ නිසා අපිට බටයො අඩුයි..“

මෙය ඇසුන සුළු සේවකයින් අතිකාල වැටුප් එපා කියමින්.. ඇයගේ ආරක්ෂාවට ඇද වටා රැකවල් යොදයි..

මහ රෑ දොලහට ආසන්නය.. ඇය තාමන් අවදියෙන්.. මුර බටයින් නිදි කිරා වැටෙමින්...

ඇයගේ දුරකථනයට ඇමතුමක් පැමිණෙයි

“රෝස මල.. ඔයා කෝ.. මං ඔයාගෙ ගෙදර ආවා.. ඇයි ජනේල ඇරලා නැත්තේ..“

“අනේ.. මං මාමලගෙ ගෙදර ආවා.. අද එන්න වෙන්නෑ..“

“ඔයා මාරයිනේ.. මං මේ ඔයාව බලන්න ආවා.. ගේ ඉස්සරහා ඉන්නේ..“

“ඔයා දැන් ගෙදර යන්න පැටියෝ.. මං හෙට ගෙදර එනවා.. හෙට මං ජනේල ඇරලා තියන්නං.. ඔයා ආසම අර දුහුල් නයිට් ගවුමත් මං ඇදං ඉන්නංකෝ...“ ඇය රහසින් කොදුරයි.. අවසානයේදි.. ඇය උණුසුම් හාදුවක් දුරකතනය හරහා ඔහු වෙත යවයි..

“හා.. මං දැන් යන්නං.. හෙට ලොකු ජනේල ඇරලා තියන්න රෝස මල.. පොඩි ජනේලෙන් එන්න අමාරුයි.. එදත් මගෙ කලිසම ඉරුණා..“

“හා.. දැන් ඔයා යන්නකෝ... ලවු යූ පැට්ටෝ.......“

සුළු සේවකයින් තවමත් නිදි ලොවය.. ඇය තවමත් අවදියෙන්ය..

කථාව
..............නිමි...............



Saturday, August 4, 2012

මගේ මලගම දවසකට

මගේ මල ගම දවසකට
ඇවිත් යන්න එන්න
මගේ මිනිය දෙස බලාගෙන
මං ගැන ඔබේ හිතෙ ඇති හිරවී ගිය
සියලු දේ පවසන්න
මා අසා සිටින්නෙමි
ඔබේ හිත නිවෙන තෙක්

මගේ මල ගම දවසේ
එපා මිනියට කර ගසන්නට
හිතේ බර නැතිව යන තෙක්
මගේ මිනියට ඔබ බනිනු මැන

සමන් මල් පියලි බැද
නුඹ රන් තොරන් බදිනු ඇත
එපා මගෙ නමින් වෙහෙසෙන්න
ගල් බෝතෙලෙන් සිනාසුන මැන

පාවඩ මතින් පියළි බැද
විල්වුද සයන එපා මට
පිදුරු යහනකින් බැද
ලෑලි මට උවමනා නැත

නුඹ ඇවිත් යන්නට එන්න
මට බැනපු නැති වදනින් දොඩා යන්න
මා අසා සිටිනු ඇත
අද මෙන්ම මා මිය ගිය දිනට..........

Wednesday, July 18, 2012

කාලෙකින් පද අතර..

ලියපු කවි දහසක් ඇතුලෙ
ලියා ගන්න බැරි උන තව කවි තියනවද
කියපු වදනන් දහසක් අතරෙ
කියාගන්න බැරි වන තව වදන් ඉතුරුද

දකින සිහින ගොන්නක් අතරෙ
දැක ගන්න තව සිහිනයක් ‍නැතිවද
විදගන්න සිසිලසක් තුරු අතරෙ
නොවිදනා සිසිලස තවත් ඇතුවද

නොලැබෙනා පෙම් සිතක් අභියස
සිතක් තව කවි පද ලියාවිද
නුඹ දුරින් හිද හෙලන මදහස
කෙදින මා නුඹ ලගට ඒවිද...

සත්සමුදුරින් පියඹා
එන්න නුඹ මා සිතින් ලගමද
සැතපෙන්න නුඹ සුසුම් හමනා
සුවද මා සිත මත් කරාවිද...




Thursday, July 12, 2012

ආදරය කරපු කෙනාට වෛර කරන්නේ සත්තුද


මං මේ ලගදි අමිලයා වගේම දුකා අයියා දාපු පෝස්ට් එකත් කියෙව්වට පස්සෙ මං ගොඩක් කල්පනා කරපු දෙයක් මේක..අපි කාට හරි ආදරේ කරද්දි පැල් බැදගෙන ආදරේ කරනවා.. එයා තමයි මුලු ජීවිතේම.. එයා වෙනුවෙන් හැම දෙයක්ම කැප කරනවා.. ඒත් ආදරේ නොලැබුනාම.. අනිත් කෙනාට කුණුහරුප කියනවා.. වෙන කෙනෙක් එක්ක නිදා ගත්තා කියලා තේරුමක් නැති චෝදනා කරනවා.. මහ කැත කතා කියලා පුලුවන් තරං ආදරය අත්හැරපු එක්කෙනාට බනිනවා.. නමුත් ලෝකෙට සුද්දවන්තයෙක් වෙලා අහිංසක පෙම්‍වතෙක් හෝ පෙම්වතියක් වෙනවා..

නමුත් අපි ආදරෙ කරා නන් ඒ ආදරේ නැති උන පලියට ඔය විදිහට හැසිරෙන්න මිහිහෙකුට කොයි තරං දරුණු හිතක් තියෙන්න ඕනිද.. තමන් පණ වගේ ආදරේ කරපු කෙනාගෙ වැරදි කියන්න තරං පහත් මානසික මට්ටමක් තියෙන්න ඕනි නේද.. එහෙම බලද්දි මං නන් හිතන්නෙ ඒ වගේ ආදරයක් නැති වෙන්නේ බෑ කියන කෙනාගෙ වාසනාවට.. සමහර අය ආදරේ කරන කාලෙ කෙල්ල ගැනවත් හිතන්නැතුව රූම් වලට ගිහින් ඇති තරං සැප විදිනවා. කෙල්ල යන්න ගියාම අරවා වීඩියෝ කරලා ඉන්ටනෙට් එකට දානවා.. ඒක මොන තරං තිරිසං වැඩක්ද.. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කරන්නෙ ලගින් ඉන්නෙ යමක් විශ්වාස කරල.. නමුත් ආදරය නැති උනයි කියලා ‍අනිත් පුද්ගලයාට පුලුවන්ද තමන්ගේ ආදරේ කරපු කෙනාගෙ ගෞරවය නැති කරන්න.. ඒ විශ්වාසය පාගලා නැති කරන්න.. මිනිස්සු අහිංසක වෙන්න ඕනි ලෝකෙට පේන්න නැලවිලා නෙමේ.. තමන්ගෙ හදවතින්.. ලෝකෙට දරුණු උනත් කමක් නෑ.. හදවතින් අහිංසකයි නන්..

බ්ලොග් පෝස්ට් වල පිටු ගනන් ලියනවා ආදරේ ගැන.. ඇත්තටම ආදරේ කරන්න ගියාම ඒ මෙලෝ මගුලක් නෑ.. අනිත් කෙනා බෑ කියපු ගමන් පුලුවන් තරං කුණු හරුප කියාගෙන ඇවිදිනවා හැමතැනම.. එයාල හිතන්නේ එයාල හැංගිලා කරන දේවල් ලෝකය දකින්නෑ කියලා.. අපි කවුරු හැංගිලා මොන සෙල්ලං දැම්මත් මං දන්න විදිහට මේ බ්ලොග් ලෝකෙ එව්වා කවද හරි එලියට එනවා... මං දන්න දෙයක් තියනවා නන් කවද හරි මුළු සමාජයක් ඉස්සරහා සාක්කිත් එක්ක ඔය වගේ නින්දිත වැඩ කරන්න එපා කියලා මං මූණටම කියනවා.. ඒ දවසෙදි ඒ පුද්ගලයින් ලැජ්ජාවක් තිබ්බොත් ලැජ්ජ වෙයි.. ලැජ්ජාවක් නැති උනොත් තරහා වෙයි.. මට අදාල නෑ ඒක..

ඕනිම කෙනෙක් අතින් වැරැද්දක් වෙන්න පුලුවන්.. නමුත් ආදරය කරපු කෙනෙක් අතින් වැරැද්දක් උන පලියට ඒ ගැන ඒ ආදරේ කරපු හිතින්ම වෛර කරලා පලිගන්න පුලුවන් නන් මට තියන සැකය ඇත්තටම ඒ පුද්ගලයා ආදරය කරන්න දන්නවද කියන එක... ආදරේ කියන්නේ රෙදි ගලෝලා නිර්වත්‍රෙන් ගෑණු ළමයා හෝ පිරිමි ළමයා ඉදිරියේ හැසීරීම නෙමේ. ආදරය කරද්දි පිරිමියෙකුට නන් පිරිමිකමක් තියෙන්නෙ ඕනි.. කඩේ යද්දිත් සීමාවක් තියෙන්න ඕනි.. අසීමතව කඩේ ගිහින් පස්සෙ බෑ කිව්වම.. අරයා මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා තැන තැන කුණුහරුප කියන්න තරං මානසිකත්වයක් තියන පුද්ගලයො සමාජයේ ඉන්නවා දකින එක නන් මහ අප්‍රසන්න දෙයක්..

තමන් ආදරේ කරා නන් ඒ ආදරේ සදාකාලික වෙන්න ඕනි.. ඒක තමා ලූෂන් බුලත්සිංහල මහත්මයා ලියලා තියෙන්නේ
"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙත්
වෙන් වූවන් සැබෑ පෙම්වතුන් ලෙස සදාකාලිකව ජීවත් වේ" ඔන්න ඔය වගේ කතාවක්.. මට මතක නෑ.. ඉස්සර නන් ෆේස් බුක් එකේ හැමතැනම ඕක ෂෙයාර් උනා.. ඒකට ලයික් කරලා.. එව්වට බ්ලොග් පෝස්ට් ලියලා එව්වා ඉස්සරහා නිකැලැල් පෙම්වතුන් වගේ හැසිරිලා.. පස්සෙ ආදරේ නැති උනාම සත්තු වගේ හැසිරෙන මිනිස්සු දැක්කාම මට නන් ඇති වෙන්නෙ මහ කළකිරීමක්..

ආදරේ කරන හැමෝම එකතු වෙන්න ඕනි කියලා නීතියක් නෑනේ.. ආදරේ කරපු අය නැති වෙන්න පුලුවන්.. ඒක වෙන්න මේ ලොකෙ පලවෙනි කෙනා අපි නෙමේනේ.. මීට කලිනුත් එහෙම වෙලා තියනවා.. ඉස්සරහටත් එහෙම වෙයි.. නමුත් ආදරෙ කරන්න දන්නැති මිනිස්සු කෙල්ලෙක් ඉස්සරහා රෙදි ගලවන් නටලා පස්සෙ ආදරේ නැති උනාම දාල ගිය කෙනාට තැන් තැන් වල බොරු චෝදලා දාල කේලං කියනවා.. එව්වා අහන්නත් මොලයක් නැති හිතන්න කල්පනා කරන්න තරං බුද්ධියක් නැති අය වට වෙලා ඉන්නවා...

මම නන් කියන්නේ ආදරේ නැති වෙන්න පුලුවන්.. ඒත් ඒ වෙනුවෙන් දාල ගිය කෙනාගෙ චරිතය ඝාතනය කරන්න පුලුවන් තරං හිතක් තියනවා නන් ඇත්තටම ආදරේ කරලා තියනවද කියලා මට නන් සැකයි....ආදරේ කියන්න මොකක්ද කියලවත් එයාල දන්නැතුව ඇති..එහෙම මිනිස්සු මේ ලෝකෙ පිරිලා..හරියට සත්තු වගේ..

එහෙම මිනිස්සු මට දැක්කම හිතෙන්නෙ.. මේ ලෝකෙ හරි කූරයි අප්පා.. ඊක්කා.........

මේ සිංදුවත් අහලම යන්නකෝ....

Wednesday, July 4, 2012

මම මගේ ජීවිතය සහ මම ජීවත්වෙන හැටි

මං මේ බ්ලොග් ලෝකෙට ඇවිත් ඇවිත් වැඩි කාලයක් නෑ.. අවුරුදු දෙක හමාරක් විතර ඇති.. ඉතින් ඒ කාලෙ පුරාවට මං ඉගන ගත්ත දෙයක් තමා රැල්ලට ගහගෙන ‍යන්න ඕනි කියන එක.. නැත්තං අපි හැමදාම වෙරලෙ.. පස්සෙ ඉතින් රැල්ලෙ යන උන් දිහා බල බලා හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ.. ඉතින් ඔය දේ ගැන හිතලා මටත් හිතුනා මං මේ අවුරුදු දෙක පුරාවට නොකිව්ව මගේ කතාව අද කෙටියෙන් කියන්න කියලා..

මට මතකයි මගේ පුංචි කාලෙ.. මං ඉපදුන වෙලේ මට අදවගේ මතකයි.. මං ඉපදු‍නේ අපේ ගෙදරමයි.. මොකද අපේ අප්පච්චි කැමති උනේ නෑ මාව හොස්පිටල් වල නවත්තන්න.. එයාට ඒක මදිකමක් කියලා හිතෙන්නැති.. අප්පච්චි සල්ලි දීලා එයාගෙ කාර් එකේ දොස්තරලා තුන්දෙනෙක් ගෙදරට ගෙන්න ගත්තා.. ඒ කාලෙ අපෙ බෙන්ස් කාර් එකේ දොස්තරලා නගින්නත් හෙන ආසයි. ඉතින් එයාලා සල්ලි ගත්තෙත් නෑ..මට මතකයි එදා අප්පච්චි බල කරලා දොස්තරගෙ සාක්කුවට මොනවද දානවා..ඉතින් මං ඇස් ඇරලා හිටියෙ නෑනේ පලවෙනි දවසේ..ඒ නිසා මට බලා ගන්න බැරි උනා මොනවද දැම්මෙ කියලා..

ඊලගට මං ඉපදිලා දවස් 3 පැට 8කින් විතර මං මේ ලෝකෙ තනි වුනා.. අප්පච්චි ඊට තුන්මාසෙකට පස්සෙ වෙන ගෑණු කෙනෙක් එක්ක දීග ගියා..මට කාත් කවුරුත් නැති වුනා.. මාව බලා‍ගත්තෙ අපේ ගෙදර වැඩට හිටිය කුසුමා නැන්දා.. උදේම ගිහින් එළකිරි අරගෙන ඇවිත් රත් කරලා බෝතලේකට දාලා මට දෙනවා මට මතකයි.. මගේ ලෝයර් අංකල් හොද නිසාත් අප්පච්චි වෙන දීගෙක ගිය නිසාත් මට දේපල ඔක්කොම හම්බ උනා.. අප්පච්චි ලෝයර් අංකල් ගෙන් බෙන්ස් කාර් එක ඉල්ලගෙන තිබ්බා.. ඒත් කමක් නෑ.. මට සහ ගෙදර පාවිච්චියට Audi quattro එකක් තිබ්බා.. ඒකෙ පිටි පස්සෙ හොදට ඉඩ තිබ්බ නිසා මැණිකා පොලට යද්දි මාවත් එක්ක යනවා.. අපි බඩු ගොඩාක් අරං එනවා කාරේ එකේ.. ඒ කාලෙ පොඩි ළමයි කාර් එක අත ගාන්න හරි ආසයි.. අපිට විතරයි මුලු ගමටම කාර් එකක් තිබ්බෙ..මැණීකා එයාලට බැනලා එලවනවා කාර් එක අතගානවා කියලා.. මං පොඩි කාලෙ ඉදලා ගොඩක් නිහතමානී..ඒ නිසා එයාලට කාර් එක අල්ලන්න ඉඩ දීලා මං ඉන්නවා.. මැණීකටත් කිව්වා බනින්න එපා කියලා..මං පොඩි කාලෙ ගොඩක් නිහතමානී කියලා මං දන්නවා.. හැබැයි කවුරුත් කියලා තිබ්බෙ නන් නෑ අද වෙනකං..

ඔහොම ගමේ ජීවත් වෙලා මාව කොළඹ ඉස්කොලෙට ආවා.. මං හිටියෙ බෝඩිමක.. ඒ කාලෙ මං තනියෙන් උයාගෙන කෑවෙ.. ඒ කෑම හරි රසයි.. හැබැයි කාපු ගොඩක් අය නන් එහෙම කිව්වෙ නෑ.. ඒත් පිගානට බෙදුවම හරි ලස්සනට තියනවා.. ඒ කාලෙ මට ආසාවක් ආවා පොටෝ ගහන්න..ලංකාවට කැමරා ඇවිත් තිබ්බ ‍නෑ.. මං අපේ රට ඉන්න අයියට කියලා යැව්වම එයා මට Nikon f3 කැමරාවක් එව්වා.. ඒක තමයි අපේ ඉස්‍කෝලෙටම ගෙනාපු පලවෙනි කැමරා එක.. මට සල්ලි තිබ්බා නිසා ඒ කැමරාවෙන් හැමතැනම පොටෝ අරං එව්වා සුද්ද කරලා මුලු හොස්ටල් එක වටේම ගස්වල එල්ලුවා.. ෂා ඒ කාලෙ ආයෙත් එනවා නන්.. මේක මං මේක ලියද්දි මගේ ඇස් වලට කදුළු එනවා.. බොරු නන් මේ බලන්න.. මේ.. ඔයාල දැක්කා නේද..

ඊට පස්සෙ මට උවමනාවක් ආවා ෆෝන් එකක් ගන්න.. මොකද අපේ ලොකු අයියා රට ඉදන් ලංකාවට එද්දි එහෙම එකක් අරගෙන ආවා.. මං එදා තමයි ෆෝන් එකක් දැක්කෙ.. ඉතින් මං අයියාගෙන් ඒක ඉල්ලුවම ඒක මට දීලා ගියා..ඒක motorola dynatac 8000x එකක්.. ඉස්සර වතුර බෝතලේ එල්ලං ගිය මම පස්සෙ ඒ ෆෝන් එක බෙල්ලෙ එල්ලං යන්න පුරුදු උනා.. අපේ ඉස්කොලෙ විදුහල්පතිතුමා උදෙන්ම එනවා මං ලගට ඇවිත් මගේ ෆෝන් එක අතගාල බලලා යන්න.. කවදාවත් ඒකෙන් කෝල් කරන්න මට බැරි උනා.. ඒත් මං ඒක එල්ලං හැම තැනම ගියා.. මට මතකයි දවසක් ඉස්කෝලෙදි අපේ ටීචර් කෙනෙක් ඒක දොරට තිබ්බා අඩේකට.. එදා මට මතකයි දොර සද්දෙට වැහෙන් නැති නිසා අපි කිසි කරදරයක් නැතුව මුලු පාඩමම ඉගන ගත්තා..ටික කාලයක් යද්දි සල්ලි තියන ගෑණු ළමයිගෙ ගෙවල් වලට මං කෝල් ගත්තා.. අරගෙන කතා කරා.. මං කිව්වා මං හරි ලස්සන සුදු සික්ස් පැක් තියන හැන්ඩ්සම් කොල්ලෙක් කියලා..කෙල්ලො මාව බලන්න ඕනි උනාම මං පහල තේ කඩේ සමන් අයියා බොඩි බිල්ඩින් තරග වලට ගියාම ඌත් එක්ක ගිහින් උගෙ මූණ නැතුව පොටෝ ගහලා කෙල්ලංට යවනවා.. කෙල්ලො ඒවට පිස්සු වැටිලා මාත් එක්ක කතා කරනවා.. මට හරි සතුටුයි එතකොට..මට ඒ සතුටම ඇති නොකා නොබී ඉන්න උනත්.. පස්සෙ බලන්න යද්දි අලුත්ම බෙන්ස් කාර් එකකින් යනවා.. එතකොට මං කැත උනත් කාර් එකට ආස නිසා කෙල්ලො එනවා මාත් එක්ක ඇවිදින්න යන්න..

මං ඉගන ගන්න හරි දක්ෂයි.. හැබැයි ඕ ලෙවල් විතරයි පාස් වෙන්න පුලුවන් උනේ.. ගමේ කුසුමා නැන්දා නන් කිව්වෙ මට ඇස්වහ වැදිලා කියලා.. මං ඕවා ගනන් ගත්තෙ නෑ.. මං සල්ලි දීලා ඉගන ගත්තා.. මොකද මට සල්ලි වලින් කිසි අඩුවක් නෑ.. මං ලෝකෙ වටේ ඇවිද්දා.. හැම රටිකින්ම සහතියක් ගත්තා මොනවා හරි දේකට.. මං උපාධිය ඉවර කරලා රස්සාවක් කරේ නෑ..මොකද මට සල්ලි තිබ්බා.. මං ඊටත් පස්සෙ ඉගන ගත්තා.. දැන් මම හොද රස්සාවක් කරනවා.. මට දැන් මාසෙකට ලක්ෂ 8ක් 10ක් විතර හම්බ වෙනවා.. දැන් මම මගේම ගෙයක් හදාගෙන තනියෙන් ජීවත් වෙනවා.. ඒත් මට කම්මැලි.. මෙහෙ මට එපා වෙලා.. දූවිලි පිරිලා පාරේ.. ගමේ අය නන් කොළඹ එන්න ආස ඇති .. මට නන් එපා වෙලා.. ඔයාල හිතන්න එපා සල්ලි තිබිලත්
පවතින සමාජයත් එක්ක එකතු වෙලා සතුටින් ඉන්න බැරි ගොං හරකෙක් කියලා මම..මට ඕනි සල්ලි නෙමේ.. සල්ලි වැඩක් නෑ කියලා මං අහලා තියනවා .. එත් සල්ලි පස්සෙම මාත් දුවනවා..මේ මගේ ගේ ඉස්සරහා පාර..
යාල නන් කියයි හරි ලස්සනයි කියලා..ඒත් මට මේක දැකලා එපා වෙලා.. මං ආස නෑ මෙහෙ ඉන්න.. මට මෙහෙ ඉන්න බෑ..

මට ඕනි ගමට යන්න.. ගමේ ගිහින් කුරුළු සද්ද අහගෙන ඉන්න.. කුසුමා නැන්දා හදන කෑම කන්න.. හැමදාම මැණිකා එක්ක ගිහින් පොලෙන් බඩු ගේන්න.. මට තියනවා ගමේ තේ අක්කර 60ක්.. ඒ කන්දෙ අනිත් පැත්තේ පොල් අක්කර 20කුයි රබර් අක්කර 10කුයි.. ඉතුරු අක්කර 5 පලතුරු ජාති වවලා තියනවා.. ‍ඒවා අපි කඩන්නෑ.. ඒවා සත්තුන්ට දීලාතියෙන්නේ.. මං ඒ තරං නිහතමානී කෙනෙක්.. මං තරං නිහතමානී කෙනෙක් මේ ලොකෙ කොහෙවත් නැතුව ඇති.. අනේ මට ගමට යන්න ඇත්නම්.. ඒ සුන්දර ගම මතක් වෙද්දි මගේ ඇස් වලට කදුළු එනවා..ඒ ඇති.. මට තවත් ලියන්න බෑ.. අකුරු බොඳ වෙලා ගිහින් දුක වැඩි කමට.. මං යනවා යන්න..ඇති ලිව්වා.....


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...