Wednesday, July 18, 2012

කාලෙකින් පද අතර..

ලියපු කවි දහසක් ඇතුලෙ
ලියා ගන්න බැරි උන තව කවි තියනවද
කියපු වදනන් දහසක් අතරෙ
කියාගන්න බැරි වන තව වදන් ඉතුරුද

දකින සිහින ගොන්නක් අතරෙ
දැක ගන්න තව සිහිනයක් ‍නැතිවද
විදගන්න සිසිලසක් තුරු අතරෙ
නොවිදනා සිසිලස තවත් ඇතුවද

නොලැබෙනා පෙම් සිතක් අභියස
සිතක් තව කවි පද ලියාවිද
නුඹ දුරින් හිද හෙලන මදහස
කෙදින මා නුඹ ලගට ඒවිද...

සත්සමුදුරින් පියඹා
එන්න නුඹ මා සිතින් ලගමද
සැතපෙන්න නුඹ සුසුම් හමනා
සුවද මා සිත මත් කරාවිද...




Thursday, July 12, 2012

ආදරය කරපු කෙනාට වෛර කරන්නේ සත්තුද


මං මේ ලගදි අමිලයා වගේම දුකා අයියා දාපු පෝස්ට් එකත් කියෙව්වට පස්සෙ මං ගොඩක් කල්පනා කරපු දෙයක් මේක..අපි කාට හරි ආදරේ කරද්දි පැල් බැදගෙන ආදරේ කරනවා.. එයා තමයි මුලු ජීවිතේම.. එයා වෙනුවෙන් හැම දෙයක්ම කැප කරනවා.. ඒත් ආදරේ නොලැබුනාම.. අනිත් කෙනාට කුණුහරුප කියනවා.. වෙන කෙනෙක් එක්ක නිදා ගත්තා කියලා තේරුමක් නැති චෝදනා කරනවා.. මහ කැත කතා කියලා පුලුවන් තරං ආදරය අත්හැරපු එක්කෙනාට බනිනවා.. නමුත් ලෝකෙට සුද්දවන්තයෙක් වෙලා අහිංසක පෙම්‍වතෙක් හෝ පෙම්වතියක් වෙනවා..

නමුත් අපි ආදරෙ කරා නන් ඒ ආදරේ නැති උන පලියට ඔය විදිහට හැසිරෙන්න මිහිහෙකුට කොයි තරං දරුණු හිතක් තියෙන්න ඕනිද.. තමන් පණ වගේ ආදරේ කරපු කෙනාගෙ වැරදි කියන්න තරං පහත් මානසික මට්ටමක් තියෙන්න ඕනි නේද.. එහෙම බලද්දි මං නන් හිතන්නෙ ඒ වගේ ආදරයක් නැති වෙන්නේ බෑ කියන කෙනාගෙ වාසනාවට.. සමහර අය ආදරේ කරන කාලෙ කෙල්ල ගැනවත් හිතන්නැතුව රූම් වලට ගිහින් ඇති තරං සැප විදිනවා. කෙල්ල යන්න ගියාම අරවා වීඩියෝ කරලා ඉන්ටනෙට් එකට දානවා.. ඒක මොන තරං තිරිසං වැඩක්ද.. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කරන්නෙ ලගින් ඉන්නෙ යමක් විශ්වාස කරල.. නමුත් ආදරය නැති උනයි කියලා ‍අනිත් පුද්ගලයාට පුලුවන්ද තමන්ගේ ආදරේ කරපු කෙනාගෙ ගෞරවය නැති කරන්න.. ඒ විශ්වාසය පාගලා නැති කරන්න.. මිනිස්සු අහිංසක වෙන්න ඕනි ලෝකෙට පේන්න නැලවිලා නෙමේ.. තමන්ගෙ හදවතින්.. ලෝකෙට දරුණු උනත් කමක් නෑ.. හදවතින් අහිංසකයි නන්..

බ්ලොග් පෝස්ට් වල පිටු ගනන් ලියනවා ආදරේ ගැන.. ඇත්තටම ආදරේ කරන්න ගියාම ඒ මෙලෝ මගුලක් නෑ.. අනිත් කෙනා බෑ කියපු ගමන් පුලුවන් තරං කුණු හරුප කියාගෙන ඇවිදිනවා හැමතැනම.. එයාල හිතන්නේ එයාල හැංගිලා කරන දේවල් ලෝකය දකින්නෑ කියලා.. අපි කවුරු හැංගිලා මොන සෙල්ලං දැම්මත් මං දන්න විදිහට මේ බ්ලොග් ලෝකෙ එව්වා කවද හරි එලියට එනවා... මං දන්න දෙයක් තියනවා නන් කවද හරි මුළු සමාජයක් ඉස්සරහා සාක්කිත් එක්ක ඔය වගේ නින්දිත වැඩ කරන්න එපා කියලා මං මූණටම කියනවා.. ඒ දවසෙදි ඒ පුද්ගලයින් ලැජ්ජාවක් තිබ්බොත් ලැජ්ජ වෙයි.. ලැජ්ජාවක් නැති උනොත් තරහා වෙයි.. මට අදාල නෑ ඒක..

ඕනිම කෙනෙක් අතින් වැරැද්දක් වෙන්න පුලුවන්.. නමුත් ආදරය කරපු කෙනෙක් අතින් වැරැද්දක් උන පලියට ඒ ගැන ඒ ආදරේ කරපු හිතින්ම වෛර කරලා පලිගන්න පුලුවන් නන් මට තියන සැකය ඇත්තටම ඒ පුද්ගලයා ආදරය කරන්න දන්නවද කියන එක... ආදරේ කියන්නේ රෙදි ගලෝලා නිර්වත්‍රෙන් ගෑණු ළමයා හෝ පිරිමි ළමයා ඉදිරියේ හැසීරීම නෙමේ. ආදරය කරද්දි පිරිමියෙකුට නන් පිරිමිකමක් තියෙන්නෙ ඕනි.. කඩේ යද්දිත් සීමාවක් තියෙන්න ඕනි.. අසීමතව කඩේ ගිහින් පස්සෙ බෑ කිව්වම.. අරයා මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා තැන තැන කුණුහරුප කියන්න තරං මානසිකත්වයක් තියන පුද්ගලයො සමාජයේ ඉන්නවා දකින එක නන් මහ අප්‍රසන්න දෙයක්..

තමන් ආදරේ කරා නන් ඒ ආදරේ සදාකාලික වෙන්න ඕනි.. ඒක තමා ලූෂන් බුලත්සිංහල මහත්මයා ලියලා තියෙන්නේ
"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙත්
වෙන් වූවන් සැබෑ පෙම්වතුන් ලෙස සදාකාලිකව ජීවත් වේ" ඔන්න ඔය වගේ කතාවක්.. මට මතක නෑ.. ඉස්සර නන් ෆේස් බුක් එකේ හැමතැනම ඕක ෂෙයාර් උනා.. ඒකට ලයික් කරලා.. එව්වට බ්ලොග් පෝස්ට් ලියලා එව්වා ඉස්සරහා නිකැලැල් පෙම්වතුන් වගේ හැසිරිලා.. පස්සෙ ආදරේ නැති උනාම සත්තු වගේ හැසිරෙන මිනිස්සු දැක්කාම මට නන් ඇති වෙන්නෙ මහ කළකිරීමක්..

ආදරේ කරන හැමෝම එකතු වෙන්න ඕනි කියලා නීතියක් නෑනේ.. ආදරේ කරපු අය නැති වෙන්න පුලුවන්.. ඒක වෙන්න මේ ලොකෙ පලවෙනි කෙනා අපි නෙමේනේ.. මීට කලිනුත් එහෙම වෙලා තියනවා.. ඉස්සරහටත් එහෙම වෙයි.. නමුත් ආදරෙ කරන්න දන්නැති මිනිස්සු කෙල්ලෙක් ඉස්සරහා රෙදි ගලවන් නටලා පස්සෙ ආදරේ නැති උනාම දාල ගිය කෙනාට තැන් තැන් වල බොරු චෝදලා දාල කේලං කියනවා.. එව්වා අහන්නත් මොලයක් නැති හිතන්න කල්පනා කරන්න තරං බුද්ධියක් නැති අය වට වෙලා ඉන්නවා...

මම නන් කියන්නේ ආදරේ නැති වෙන්න පුලුවන්.. ඒත් ඒ වෙනුවෙන් දාල ගිය කෙනාගෙ චරිතය ඝාතනය කරන්න පුලුවන් තරං හිතක් තියනවා නන් ඇත්තටම ආදරේ කරලා තියනවද කියලා මට නන් සැකයි....ආදරේ කියන්න මොකක්ද කියලවත් එයාල දන්නැතුව ඇති..එහෙම මිනිස්සු මේ ලෝකෙ පිරිලා..හරියට සත්තු වගේ..

එහෙම මිනිස්සු මට දැක්කම හිතෙන්නෙ.. මේ ලෝකෙ හරි කූරයි අප්පා.. ඊක්කා.........

මේ සිංදුවත් අහලම යන්නකෝ....

Wednesday, July 4, 2012

මම මගේ ජීවිතය සහ මම ජීවත්වෙන හැටි

මං මේ බ්ලොග් ලෝකෙට ඇවිත් ඇවිත් වැඩි කාලයක් නෑ.. අවුරුදු දෙක හමාරක් විතර ඇති.. ඉතින් ඒ කාලෙ පුරාවට මං ඉගන ගත්ත දෙයක් තමා රැල්ලට ගහගෙන ‍යන්න ඕනි කියන එක.. නැත්තං අපි හැමදාම වෙරලෙ.. පස්සෙ ඉතින් රැල්ලෙ යන උන් දිහා බල බලා හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ.. ඉතින් ඔය දේ ගැන හිතලා මටත් හිතුනා මං මේ අවුරුදු දෙක පුරාවට නොකිව්ව මගේ කතාව අද කෙටියෙන් කියන්න කියලා..

මට මතකයි මගේ පුංචි කාලෙ.. මං ඉපදුන වෙලේ මට අදවගේ මතකයි.. මං ඉපදු‍නේ අපේ ගෙදරමයි.. මොකද අපේ අප්පච්චි කැමති උනේ නෑ මාව හොස්පිටල් වල නවත්තන්න.. එයාට ඒක මදිකමක් කියලා හිතෙන්නැති.. අප්පච්චි සල්ලි දීලා එයාගෙ කාර් එකේ දොස්තරලා තුන්දෙනෙක් ගෙදරට ගෙන්න ගත්තා.. ඒ කාලෙ අපෙ බෙන්ස් කාර් එකේ දොස්තරලා නගින්නත් හෙන ආසයි. ඉතින් එයාලා සල්ලි ගත්තෙත් නෑ..මට මතකයි එදා අප්පච්චි බල කරලා දොස්තරගෙ සාක්කුවට මොනවද දානවා..ඉතින් මං ඇස් ඇරලා හිටියෙ නෑනේ පලවෙනි දවසේ..ඒ නිසා මට බලා ගන්න බැරි උනා මොනවද දැම්මෙ කියලා..

ඊලගට මං ඉපදිලා දවස් 3 පැට 8කින් විතර මං මේ ලෝකෙ තනි වුනා.. අප්පච්චි ඊට තුන්මාසෙකට පස්සෙ වෙන ගෑණු කෙනෙක් එක්ක දීග ගියා..මට කාත් කවුරුත් නැති වුනා.. මාව බලා‍ගත්තෙ අපේ ගෙදර වැඩට හිටිය කුසුමා නැන්දා.. උදේම ගිහින් එළකිරි අරගෙන ඇවිත් රත් කරලා බෝතලේකට දාලා මට දෙනවා මට මතකයි.. මගේ ලෝයර් අංකල් හොද නිසාත් අප්පච්චි වෙන දීගෙක ගිය නිසාත් මට දේපල ඔක්කොම හම්බ උනා.. අප්පච්චි ලෝයර් අංකල් ගෙන් බෙන්ස් කාර් එක ඉල්ලගෙන තිබ්බා.. ඒත් කමක් නෑ.. මට සහ ගෙදර පාවිච්චියට Audi quattro එකක් තිබ්බා.. ඒකෙ පිටි පස්සෙ හොදට ඉඩ තිබ්බ නිසා මැණිකා පොලට යද්දි මාවත් එක්ක යනවා.. අපි බඩු ගොඩාක් අරං එනවා කාරේ එකේ.. ඒ කාලෙ පොඩි ළමයි කාර් එක අත ගාන්න හරි ආසයි.. අපිට විතරයි මුලු ගමටම කාර් එකක් තිබ්බෙ..මැණීකා එයාලට බැනලා එලවනවා කාර් එක අතගානවා කියලා.. මං පොඩි කාලෙ ඉදලා ගොඩක් නිහතමානී..ඒ නිසා එයාලට කාර් එක අල්ලන්න ඉඩ දීලා මං ඉන්නවා.. මැණීකටත් කිව්වා බනින්න එපා කියලා..මං පොඩි කාලෙ ගොඩක් නිහතමානී කියලා මං දන්නවා.. හැබැයි කවුරුත් කියලා තිබ්බෙ නන් නෑ අද වෙනකං..

ඔහොම ගමේ ජීවත් වෙලා මාව කොළඹ ඉස්කොලෙට ආවා.. මං හිටියෙ බෝඩිමක.. ඒ කාලෙ මං තනියෙන් උයාගෙන කෑවෙ.. ඒ කෑම හරි රසයි.. හැබැයි කාපු ගොඩක් අය නන් එහෙම කිව්වෙ නෑ.. ඒත් පිගානට බෙදුවම හරි ලස්සනට තියනවා.. ඒ කාලෙ මට ආසාවක් ආවා පොටෝ ගහන්න..ලංකාවට කැමරා ඇවිත් තිබ්බ ‍නෑ.. මං අපේ රට ඉන්න අයියට කියලා යැව්වම එයා මට Nikon f3 කැමරාවක් එව්වා.. ඒක තමයි අපේ ඉස්‍කෝලෙටම ගෙනාපු පලවෙනි කැමරා එක.. මට සල්ලි තිබ්බා නිසා ඒ කැමරාවෙන් හැමතැනම පොටෝ අරං එව්වා සුද්ද කරලා මුලු හොස්ටල් එක වටේම ගස්වල එල්ලුවා.. ෂා ඒ කාලෙ ආයෙත් එනවා නන්.. මේක මං මේක ලියද්දි මගේ ඇස් වලට කදුළු එනවා.. බොරු නන් මේ බලන්න.. මේ.. ඔයාල දැක්කා නේද..

ඊට පස්සෙ මට උවමනාවක් ආවා ෆෝන් එකක් ගන්න.. මොකද අපේ ලොකු අයියා රට ඉදන් ලංකාවට එද්දි එහෙම එකක් අරගෙන ආවා.. මං එදා තමයි ෆෝන් එකක් දැක්කෙ.. ඉතින් මං අයියාගෙන් ඒක ඉල්ලුවම ඒක මට දීලා ගියා..ඒක motorola dynatac 8000x එකක්.. ඉස්සර වතුර බෝතලේ එල්ලං ගිය මම පස්සෙ ඒ ෆෝන් එක බෙල්ලෙ එල්ලං යන්න පුරුදු උනා.. අපේ ඉස්කොලෙ විදුහල්පතිතුමා උදෙන්ම එනවා මං ලගට ඇවිත් මගේ ෆෝන් එක අතගාල බලලා යන්න.. කවදාවත් ඒකෙන් කෝල් කරන්න මට බැරි උනා.. ඒත් මං ඒක එල්ලං හැම තැනම ගියා.. මට මතකයි දවසක් ඉස්කෝලෙදි අපේ ටීචර් කෙනෙක් ඒක දොරට තිබ්බා අඩේකට.. එදා මට මතකයි දොර සද්දෙට වැහෙන් නැති නිසා අපි කිසි කරදරයක් නැතුව මුලු පාඩමම ඉගන ගත්තා..ටික කාලයක් යද්දි සල්ලි තියන ගෑණු ළමයිගෙ ගෙවල් වලට මං කෝල් ගත්තා.. අරගෙන කතා කරා.. මං කිව්වා මං හරි ලස්සන සුදු සික්ස් පැක් තියන හැන්ඩ්සම් කොල්ලෙක් කියලා..කෙල්ලො මාව බලන්න ඕනි උනාම මං පහල තේ කඩේ සමන් අයියා බොඩි බිල්ඩින් තරග වලට ගියාම ඌත් එක්ක ගිහින් උගෙ මූණ නැතුව පොටෝ ගහලා කෙල්ලංට යවනවා.. කෙල්ලො ඒවට පිස්සු වැටිලා මාත් එක්ක කතා කරනවා.. මට හරි සතුටුයි එතකොට..මට ඒ සතුටම ඇති නොකා නොබී ඉන්න උනත්.. පස්සෙ බලන්න යද්දි අලුත්ම බෙන්ස් කාර් එකකින් යනවා.. එතකොට මං කැත උනත් කාර් එකට ආස නිසා කෙල්ලො එනවා මාත් එක්ක ඇවිදින්න යන්න..

මං ඉගන ගන්න හරි දක්ෂයි.. හැබැයි ඕ ලෙවල් විතරයි පාස් වෙන්න පුලුවන් උනේ.. ගමේ කුසුමා නැන්දා නන් කිව්වෙ මට ඇස්වහ වැදිලා කියලා.. මං ඕවා ගනන් ගත්තෙ නෑ.. මං සල්ලි දීලා ඉගන ගත්තා.. මොකද මට සල්ලි වලින් කිසි අඩුවක් නෑ.. මං ලෝකෙ වටේ ඇවිද්දා.. හැම රටිකින්ම සහතියක් ගත්තා මොනවා හරි දේකට.. මං උපාධිය ඉවර කරලා රස්සාවක් කරේ නෑ..මොකද මට සල්ලි තිබ්බා.. මං ඊටත් පස්සෙ ඉගන ගත්තා.. දැන් මම හොද රස්සාවක් කරනවා.. මට දැන් මාසෙකට ලක්ෂ 8ක් 10ක් විතර හම්බ වෙනවා.. දැන් මම මගේම ගෙයක් හදාගෙන තනියෙන් ජීවත් වෙනවා.. ඒත් මට කම්මැලි.. මෙහෙ මට එපා වෙලා.. දූවිලි පිරිලා පාරේ.. ගමේ අය නන් කොළඹ එන්න ආස ඇති .. මට නන් එපා වෙලා.. ඔයාල හිතන්න එපා සල්ලි තිබිලත්
පවතින සමාජයත් එක්ක එකතු වෙලා සතුටින් ඉන්න බැරි ගොං හරකෙක් කියලා මම..මට ඕනි සල්ලි නෙමේ.. සල්ලි වැඩක් නෑ කියලා මං අහලා තියනවා .. එත් සල්ලි පස්සෙම මාත් දුවනවා..මේ මගේ ගේ ඉස්සරහා පාර..
යාල නන් කියයි හරි ලස්සනයි කියලා..ඒත් මට මේක දැකලා එපා වෙලා.. මං ආස නෑ මෙහෙ ඉන්න.. මට මෙහෙ ඉන්න බෑ..

මට ඕනි ගමට යන්න.. ගමේ ගිහින් කුරුළු සද්ද අහගෙන ඉන්න.. කුසුමා නැන්දා හදන කෑම කන්න.. හැමදාම මැණිකා එක්ක ගිහින් පොලෙන් බඩු ගේන්න.. මට තියනවා ගමේ තේ අක්කර 60ක්.. ඒ කන්දෙ අනිත් පැත්තේ පොල් අක්කර 20කුයි රබර් අක්කර 10කුයි.. ඉතුරු අක්කර 5 පලතුරු ජාති වවලා තියනවා.. ‍ඒවා අපි කඩන්නෑ.. ඒවා සත්තුන්ට දීලාතියෙන්නේ.. මං ඒ තරං නිහතමානී කෙනෙක්.. මං තරං නිහතමානී කෙනෙක් මේ ලොකෙ කොහෙවත් නැතුව ඇති.. අනේ මට ගමට යන්න ඇත්නම්.. ඒ සුන්දර ගම මතක් වෙද්දි මගේ ඇස් වලට කදුළු එනවා..ඒ ඇති.. මට තවත් ලියන්න බෑ.. අකුරු බොඳ වෙලා ගිහින් දුක වැඩි කමට.. මං යනවා යන්න..ඇති ලිව්වා.....


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...