Friday, July 24, 2015

කෝච්චිය තාමත් යනවා ............

එදා හරි වැස්ස දවසක්. ඉර පායලා තිබ්බෙම නෑ. කලින් දවසෙ කියලා තිබුන විදිහට උදේම ගියා එයාව බලන්න. එයාට ආදරෙයි කියන්න බය වුනා. ඒත් එදා එයාට හිතේ තියන ආදරේ කියා ගන්න ඕනි වෙලා තිබුනෙ. උදෙන්ම කෝච්චිය පරක්කු වුන නිසා එයාට එනකං බලාගෙන ඉන්න වුනා. හිතුවෙ නෑ එනකං කවුරුත් බලාගෙන ඇති කියලා. එනකං බලං හිටියද කියලා ඇහැව්වම එයා කිව්වේ නෑ ඔයා එනකං නෙමේ කෝච්චිය එනකං බලාගෙන හිටියෙ කියලා. ඒ කෝච්චියෙ ආවෙ නැත්තං එයා ඒ ආපු කෝච්චියෙම නැගලා යන්න හිතාගෙන ඉදලා තියෙන්නේ. එදා සහතිකේටම දැන ගත්තා කවුරුත් බලා ගෙන ඉන්නෑ කියලා.

එදා වැස්ස නිසා ඇගට වැහි වතුර වැටිලා තිබුනා. එයාගෙ මූණට වතුර බිංදු වැටිලා හරි ලස්සනයි. ඒ මූණ දිහා බලාගෙන හිටියා. ඒ ඇස් දෙක හිනාවෙනවා බලාගෙන හිටියා. කෝච්චියෙ කවුලුවෙන් ඈතින් පේන වෙල් යාය හරි ලස්සනයි. ඒ වෙල් යායත් එක්ක හිනාවෙන ඇස් දෙක දිහා බලාගෙන කොච්චර දුර ආවද කියලා මතක නෑ. හුලගට කවලං වෙලා එන එයාගෙ සුසුම් සුවද හිත මන්මත් කරලා තිබුනේ..

නීල් නෙයනේ පවසන පෙම
සගවන් කිම හිනැහෙන්නේ..
නුඹ සුසුමේ සැගවුන සුව
කවදද නුඹ මට දෙන්නේ........

දෙතොල් මතින් කියන්න පෙම
නැතුවද නුඹ විමසන්නේ..
හදවත තුල තෙරෙපෙන දුක
නුඹ නැතුවද හදුනන්නේ..

නීල වරල නළල්තලේ
කිමදෝ හැඩරැළි මැවුවේ
ඇය මගෙ තුරුලට ආවම
නළල් තලේ සිප ගන්නේ......

හැගීම් අස්සෙන් හිත තුල තෙරෙපෙන ආදරය කියා ගන්න ඕනි කියලා හිතුනා. එයාගෙ ලගට ලං වුනා. ඇයි.. ඒක තමා එයාගෙ පුරුදු වචන ටික. නිකං.. එයා කෝච්චියෙ කවුළුවෙන් එලිය බලා ගත්තා. ටිකක් එහාට වෙනවද. ගම්පහ අපෙ නෑයො ඉන්නවා. කවුරුත් දැක්කොත් හොද නෑ කියලා කියපු නිසා සීට් එකේ එහාට ගිහින් වාඩි උනා. ඒත් ඒ සුවද ලගින් යන්නැති නිසා මොන කරුමක්ද මන්දා එයාගෙන් ඈතට යන්න බැරි උනා. ඕනි දෙයක් වෙන්න හිතාගෙන එයාට ආදරේ කියනවා කියලා හිතාගෙන එයාගෙ පැත්තට හැදුනා. ඒ සුසුමන් සුවද මැදින් එයාට ආදරේ කියන්න හදවත ඇතුලේ වදන් පොදි බැදලා තිබුනේ. ආදරෙ එයාට දැනිලා එයා සතුටින් උතුරලා යාවි. ඒ උතුරා යන ආදරේ දිය දෝතක් අරගෙන පවස නිවා ගන්න පුලුවන් වෙයි කියලා හිතුවා. ඒ ආදරේ තනිකම උදුරාගෙන ගිහින් ආදරෙන් පුරවන හැටි දැක්කා. ඒ හැගුමන් හිතේ තියාගෙන එයා ලගට යද්දි කොහෙන්දෝ මන්දා පොඩි එකෙක් දුවගෙන ඇවිත් දෙන්නා අතරෙ තිබුන ඉඩ පොඩ්ඩෙ වාඩි උනා.

ඔරලෝසුවෙ කටු කැරකුනා. කාලය ගෙවිලා ගියා. කෝච්චිය කොළඹට ආවා. සෙනග ගොඩක් බැහැලා ගියා. මට මරදානට යන්න ඕනි.. ඔයා එනවද ... එයා ඇහැව්වා.. හා කිව්වා.. මරදානට දැන් ලගයි. හදවත වේගෙන් ගැහෙනවා. එයාට ආදරෙයි කියනවා. ඔවු.. සත්තමයි. එයාට ආදරෙයි කියනවා..

එයා ලගට ලං වුනා. එයා දොර ලගට ලං වුනා. පුළුවන් තරන් හිතට දෛර්ය අරගෙන එයාගෙ සවන් පෙති වලට ලං වුනා..

ඔයාට ආදරෙයි......
එයාගෙ නිල්පාට ඇස් .. උමතුවෙන් මෙන් බලාගෙන හිටියා. දැක්කා ඒ ඇස් වල සතුට උතුරලා යනවා. ඔවු.. තාමත් ඒ ඇස් දිහා බලාගෙන ඉන්නවා. ඒ දෙතොල් හදවතේ ඇති ආදරය වෙනුවෙන් එක වරක් හෝ සෙලවෙනකං බලාගෙන හිටියා. කෝච්චිය හිමීට හිමීට නවතින්න හදනවා. මරදාන ස්ටේෂම අපි වෙනුවෙන් බලාගෙන ඉන්නවා. මුළු ලෝකෙම නැවතිලා වගේ දැනෙනවා. ඒ ආදරේ සුව විදිමින් ඉන්නවා. කෝච්චිය නැවතුනා.. ඇය බිමට බැස්සා..

ඔයයි මමයි හොද යාලුවො නේද.. ඇයි මේ වගේ දෙයක් මම ගැන හිතුවේ..
මට ඔයා ගැන ආදරයක් නෑ.. අපි යාලුවෝ වගේ ඉම්මු..

එයා කිව්වා.. මං අහගෙන හිටියා.. කෝච්චිය ආයෙත් හිමීට යන්න ගත්තා. එයා බිමට බැහැලා හිටියෙ. කෝච්චිය මරදානින් පස්සෙ කොහෙ යයිද දන්නෑ. කෝච්චිය තාමත් යනවා.. ඒත් එයා.. මරදානෙන් බැහැලා එයාගෙ ගමන යනවා. කවද හරි මේ කෝච්ච්යෙ දෙන්නම එකම ගමනක් යාවි. ඒත් එදාට ආදරය වෙනස් විදිහට ලියවිලා තියේවි. ඒ ආදරේ ඇතුලේ චූටි මතකයත් මැකිලා යනවා නන්.. ඒත්....

දුම්රියේ කවුළුවෙන්
එන දූලි රැලි මතින්
ඇදී යනු මන නුඹගෙ මතකය
සිතේ තනිවුන මතකයෙන්.....

හිනැහෙනා නිල් නෙත් මතින්
හමුවනා නුඹ සිහිනයෙන්
වෙන් වෙන්න නුඹ මතකයෙන්
ඇය ඒවි තුරුලට හිමින්...

Friday, April 17, 2015

සිත අතරමං වෙලා......

සිත අතරමං වෙලා..
නුඹ හිත ලගම නැවතිලා...
යයිද මා දමා..
සිත ඇත අතරමං වෙලා.........

නුඹ ලගම දැවටිලා...
ඉන්නද ළයේ හිස තියා....
පෙම්බර වදන් මුමුණලා
නිදන්න හැකිද ලංවෙලා......

ආලය සිතේ මතුවෙලා.
සිත නුඹ ගැනම මත් වෙලා..
ජීවිතෙ අතරමං වෙලා..
නුඹ හැර යයිද මා දමා......







~~ සිතුවිලි ~~

Wednesday, April 15, 2015

අවුරුද්ද සහ අවුරුදු කෑම

බ්ලොග් වසන්තය තිබ්බලු. මොනව හරි ලියන්න හිතාගෙන හිටියට ලියා ගන්න වෙලාවක් නැති තරමට මම බිසී වුනා. මොකද ලංකාව දේශපාලනේ පාර්ලිමේන්තුව විසුරවනවද නැද්ද කියලා තීන්දු තීරණ රාශියක් ගන්න මයික්‍රොෆිට් අයියට උදව් කරන්න මට යන්න සිද්ධ වුනා. ඉතින් ඔය වැඩ අස්සෙ කොයිද අප්පේ මෙව්වා කොටන්න වෙලාවක් කලාවක් හොයා ගන්නේ..

අනික දැන් මෙව්වාගෙ අදෝනා දාන්නත් බෑ නොවැ. අලුත් අවුරුද්ද නිසා කොහොමත් අදෝනා දාන එක හොද නෑ. අවුරුද්ද ගෙවිලා ගියාට මක්කැයි ආයි බොන්ඩ මෙදා අවුරුද්දට රන්වල බලකායයි බැද්දගේ මහත්තයයි වැඩිය සද්දයක් නෑ වගේ දැනුනා.. ෆිලුම් බලපු නිසා එයාලා හිටපුවා මට මග ඇරුනද දන්නෑ. අවුරුද්දේ මාස 12ක් සද්ද වහලා ඉදලා එක මාසයක් ලංකාවේ රූපවාහිනී නාලිකාවලට නැතුවම බැරි උන්දැලැ නැති එක හෙන පාලුයි වගේ සීන් එකක් තිබ්බා. මේ පාර ගොඩක් ටී වී චැනල් වල තිබ්බෙ කලින් රෙකෝර්ඩ් කරපු අවුරුදු උත්සව. කොහා කෑගැව්වෙ නෑ. ඒ වෙනුවට සමහර රේඩියෝ වල නන් තොර තෝංචියක් නැතිව කොහෙක් කෑගැහුව්වා. එයාලත් පුදුම ආතල් තමා ගන්නේ.

කිසිම ගතියක් නැති ඒකාකාරි විදිහට අවුරුද්ද ගෙවිලා ගියා. බොනවා කනවා විතරයි. කිසිම විසේසයක් නෑ. ආහ්.. එක විසේසයක් තිබ්බා.. මහින්ද රාජපක්ෂ එවන මැසේ්ජ් එක මෛත්‍රිපාල සිරිසේන කියලා නමකින් ආවා. එච්චරයි ටිකකට හරි වෙනසක් කියලා තිබ්බේ. 2015 අප්‍රේල් මාසෙත් ඉවර වේගෙන එන්නේ. මේම ගියාම තව ටික දවසකින් 2016 එයි. අපි නාකි වෙයි. දැනටත් කෙස් ගස් දෙක තුනක් ඉදිලා තියෙන්නේ. ලබන අවුරුද්ද දිහාට ලොකු කෙලී දීග තල දෙන්නත් ඕනි. පොඩි එකා නන් මේ පාර විස්ස විජ්ජාලෙ යයි මං හිතන්නේ.  උන්දැලගෙ ඕනෑ එපාකං පිරිමහලම අපේ වයස ගෙවිලා. මොනවා කරන්නද ඉතින්.

තව මොනවා කියලා ලියන්නද. ලියා ගන්න බෑ.. මගෙ සිත අතරමං වෙලා.. පාර හොයා ගන්න බෑ.. ගස් වල අතු කඩලා නැති නිසා... ඔන්න ඕමයි අද තත්වේ. අද යාන්තං නිදහසක් තිබ්බා මොනවා හරි කොටලා යන්න. අනේ මන්දා මේ ජීවිත නන්. දේවල් ඇති වෙනවා. නැති වෙනවා.. නැති කරගන්නවා.. ඕම තමා එහෙට මෙහෙට වෙවී ගෙවිලා යන්නේ. අද කොළඹ ටිකක් පාලුයි වගේ. තාම අනිත් අය අවුරුදු සමරනවා ඇති. අපි වගේ පීඩිත පන්තියෙ මිනිසුන්ට කොයින්ද එහෙම සැපක්. බ්ලොග් වසන්තය ආවා.. වසන්තය ගියා. මං අන්තිමට මොනවද මන්දා ලිව්වා. මොනවා කරන්නද අරමුණක් නැති ජීවිත උනාම මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නොවැ.

අපේ රටත් දැන් හෙනට දියුණු වෙලා. හැමෝගෙම අතේ සල්ලි පිරිලා. ලගදි පාර්ලිමේන්තුව විසුරුවයිද දන්නෑ. මයික්‍රොෆිට් අයියා නන් කිව්වේ එහෙම වෙනවා කියලා.. අනේ මන්දා.. ඒත් රට්ටු මොන කතා කියනවද අපි දන්නෑනේ. මේ පාර ගොවියන්ට වෙලාවට වී ටිකේ සල්ලි හම්බ වෙලාලු.. අනේ වාසනාවක්. ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ අප්පා. අපි දැන් යන්නයි කියලා. ආයෙ අවුරුද්දකින් විතර හම්බ වෙමු.

එතෙක්
මට
සුභ අනාගතයක්.........

ඉස්කෝතුයි.......

Wednesday, March 18, 2015

වසන්තයේ අග........

වසන්තයේ අග
උද්‍යානයක ඇති බංකුවක
නෙතු පියාගෙන නිදියමි
වෙහෙස වී ඇති නිසා සිත.......
මග යනෙන හැම දෙන
බලනු ඇති නිදා උන් මා දෙස
උන් සිතනු ඇත මා ගැන
විදින්නට බැරි එකෙකුයැයි මල් සුවද
සිතුවද දෙනෙත් හැර විදගන්න
වෙහෙසයි මට අවැසි තව නිදියන්න
වසන්තය නැතුවද සෘතු ඇත තව එන්න...
නිදමි මම
ලොවට සැගවී ඉන්න...............
සීතල සුලග විත් හමා මා සනසන්න
ඒ සුලග මත මල් සුවද තවරන්න
මගේ නෙතු පියා මට තවත් නිදියන්න
එපා මගෙ සිහිනයෙන් යලි යලිත් ඇහැරෙන්න.......




Wednesday, January 28, 2015

වල දැමූ සිහිනය

පිපුන නෑඹුල් මලක් මෙන්
හදවතේ උන් තැනම මියදෙමින්
වල දැමූ සිහිනය දෙස බලමින්
දෙපා තිය යන්න යමි විගසින්.......

ආදරය නැතිමුත් හදවතින්
නුඹ නොයයි නිති දෙපා නගමින්
පිපි සිහින මල් තලමින්
හිදින්නට විය නුඹ ලගම දුකකින්.....

නැතිය අන් මගක් එලෙසින්
මසිත රිදවයි සිහින මල් ලැබගන්න විලසින්
ඉපිද ගිය පෙම සිතේ තද කරමින්
මිය ගියෙකු ලෙස ඉදිමි මම නිදුකින්

පිපී තිබුනත් තරු මල් නිතර අහසින්
නැතිය ලැබ ගන්න එමල් ඇත බලමින්
නුඹ මගේ සිත අසල නිති රැදෙමින්
දුරස් කරවයි සිහින සිත මත නිතැතින්

කිසි විටක නොහැක පෙම් කෙරුමන්
එපා නුඹ විමසන්න එවග රහසින්
ආදරය නැත නුඹට මම එලෙසින්
නමුත් මම ඉමි දිවිය නැත තව අවසන්






Friday, December 26, 2014

උඳුවප් සීතලට

සීතලට ගල් ගැහුණු
හදවතක් උණු කර
හිතුවෙ එතැයි නුඹ
හිම පිරුණ මාවතේ

සීතලට ගල් ගැහුණු
මගේ සිත අයිස් කර
කොටම කොට සාය ඇද
ආවෙ ඇයි ඇවිදගෙන...

හිද නොගනු මැන
අයිස් පිරි බංකුව මත
කොය සාය වැසෙන්නට
අයිස් කැට පිරෙනු ඇත.....

එසේ වුවතින් සබඳ
මගේ සිත මියයාවි
සීතලට ගලක් වී
රත් වෙන්න නොහැකිවම...

Wednesday, September 10, 2014

සල්ලාල මම

නුඹ මගේ උනා නම්
ඇය එන්නැහැ සයනට
ඇය ආවෙ මග සයනට
නුඹ එන්නැතිය කියු පසුවය
නුඹ මට හිමි නැතිය
ඇය සයනට හිමිය
නුඹ ඔහු ලග නිදිය
ඇය මම ලග ඇතිය
නුඹ සදාකල් සතුටින
මම හිරු නැගෙන තුරු සතුටින
නුඹට මම සලෙලෙකි
මට නුඹව තවමත් පැතුමකි
නුඹ මටම බැන පසුවෙති
මම දුක දරාගෙන හිනැහෙති
නුඹට කම් සැප උරුමෙකි
මට එය සොයා යා යුතුවකි
නුඹට මම සලෙලෙකි
මට අනුව මම මිනිසෙකි........... 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...