Friday, July 24, 2015

කෝච්චිය තාමත් යනවා ............

එදා හරි වැස්ස දවසක්. ඉර පායලා තිබ්බෙම නෑ. කලින් දවසෙ කියලා තිබුන විදිහට උදේම ගියා එයාව බලන්න. එයාට ආදරෙයි කියන්න බය වුනා. ඒත් එදා එයාට හිතේ තියන ආදරේ කියා ගන්න ඕනි වෙලා තිබුනෙ. උදෙන්ම කෝච්චිය පරක්කු වුන නිසා එයාට එනකං බලාගෙන ඉන්න වුනා. හිතුවෙ නෑ එනකං කවුරුත් බලාගෙන ඇති කියලා. එනකං බලං හිටියද කියලා ඇහැව්වම එයා කිව්වේ නෑ ඔයා එනකං නෙමේ කෝච්චිය එනකං බලාගෙන හිටියෙ කියලා. ඒ කෝච්චියෙ ආවෙ නැත්තං එයා ඒ ආපු කෝච්චියෙම නැගලා යන්න හිතාගෙන ඉදලා තියෙන්නේ. එදා සහතිකේටම දැන ගත්තා කවුරුත් බලා ගෙන ඉන්නෑ කියලා.

එදා වැස්ස නිසා ඇගට වැහි වතුර වැටිලා තිබුනා. එයාගෙ මූණට වතුර බිංදු වැටිලා හරි ලස්සනයි. ඒ මූණ දිහා බලාගෙන හිටියා. ඒ ඇස් දෙක හිනාවෙනවා බලාගෙන හිටියා. කෝච්චියෙ කවුලුවෙන් ඈතින් පේන වෙල් යාය හරි ලස්සනයි. ඒ වෙල් යායත් එක්ක හිනාවෙන ඇස් දෙක දිහා බලාගෙන කොච්චර දුර ආවද කියලා මතක නෑ. හුලගට කවලං වෙලා එන එයාගෙ සුසුම් සුවද හිත මන්මත් කරලා තිබුනේ..

නීල් නෙයනේ පවසන පෙම
සගවන් කිම හිනැහෙන්නේ..
නුඹ සුසුමේ සැගවුන සුව
කවදද නුඹ මට දෙන්නේ........

දෙතොල් මතින් කියන්න පෙම
නැතුවද නුඹ විමසන්නේ..
හදවත තුල තෙරෙපෙන දුක
නුඹ නැතුවද හදුනන්නේ..

නීල වරල නළල්තලේ
කිමදෝ හැඩරැළි මැවුවේ
ඇය මගෙ තුරුලට ආවම
නළල් තලේ සිප ගන්නේ......

හැගීම් අස්සෙන් හිත තුල තෙරෙපෙන ආදරය කියා ගන්න ඕනි කියලා හිතුනා. එයාගෙ ලගට ලං වුනා. ඇයි.. ඒක තමා එයාගෙ පුරුදු වචන ටික. නිකං.. එයා කෝච්චියෙ කවුළුවෙන් එලිය බලා ගත්තා. ටිකක් එහාට වෙනවද. ගම්පහ අපෙ නෑයො ඉන්නවා. කවුරුත් දැක්කොත් හොද නෑ කියලා කියපු නිසා සීට් එකේ එහාට ගිහින් වාඩි උනා. ඒත් ඒ සුවද ලගින් යන්නැති නිසා මොන කරුමක්ද මන්දා එයාගෙන් ඈතට යන්න බැරි උනා. ඕනි දෙයක් වෙන්න හිතාගෙන එයාට ආදරේ කියනවා කියලා හිතාගෙන එයාගෙ පැත්තට හැදුනා. ඒ සුසුමන් සුවද මැදින් එයාට ආදරේ කියන්න හදවත ඇතුලේ වදන් පොදි බැදලා තිබුනේ. ආදරෙ එයාට දැනිලා එයා සතුටින් උතුරලා යාවි. ඒ උතුරා යන ආදරේ දිය දෝතක් අරගෙන පවස නිවා ගන්න පුලුවන් වෙයි කියලා හිතුවා. ඒ ආදරේ තනිකම උදුරාගෙන ගිහින් ආදරෙන් පුරවන හැටි දැක්කා. ඒ හැගුමන් හිතේ තියාගෙන එයා ලගට යද්දි කොහෙන්දෝ මන්දා පොඩි එකෙක් දුවගෙන ඇවිත් දෙන්නා අතරෙ තිබුන ඉඩ පොඩ්ඩෙ වාඩි උනා.

ඔරලෝසුවෙ කටු කැරකුනා. කාලය ගෙවිලා ගියා. කෝච්චිය කොළඹට ආවා. සෙනග ගොඩක් බැහැලා ගියා. මට මරදානට යන්න ඕනි.. ඔයා එනවද ... එයා ඇහැව්වා.. හා කිව්වා.. මරදානට දැන් ලගයි. හදවත වේගෙන් ගැහෙනවා. එයාට ආදරෙයි කියනවා. ඔවු.. සත්තමයි. එයාට ආදරෙයි කියනවා..

එයා ලගට ලං වුනා. එයා දොර ලගට ලං වුනා. පුළුවන් තරන් හිතට දෛර්ය අරගෙන එයාගෙ සවන් පෙති වලට ලං වුනා..

ඔයාට ආදරෙයි......
එයාගෙ නිල්පාට ඇස් .. උමතුවෙන් මෙන් බලාගෙන හිටියා. දැක්කා ඒ ඇස් වල සතුට උතුරලා යනවා. ඔවු.. තාමත් ඒ ඇස් දිහා බලාගෙන ඉන්නවා. ඒ දෙතොල් හදවතේ ඇති ආදරය වෙනුවෙන් එක වරක් හෝ සෙලවෙනකං බලාගෙන හිටියා. කෝච්චිය හිමීට හිමීට නවතින්න හදනවා. මරදාන ස්ටේෂම අපි වෙනුවෙන් බලාගෙන ඉන්නවා. මුළු ලෝකෙම නැවතිලා වගේ දැනෙනවා. ඒ ආදරේ සුව විදිමින් ඉන්නවා. කෝච්චිය නැවතුනා.. ඇය බිමට බැස්සා..

ඔයයි මමයි හොද යාලුවො නේද.. ඇයි මේ වගේ දෙයක් මම ගැන හිතුවේ..
මට ඔයා ගැන ආදරයක් නෑ.. අපි යාලුවෝ වගේ ඉම්මු..

එයා කිව්වා.. මං අහගෙන හිටියා.. කෝච්චිය ආයෙත් හිමීට යන්න ගත්තා. එයා බිමට බැහැලා හිටියෙ. කෝච්චිය මරදානින් පස්සෙ කොහෙ යයිද දන්නෑ. කෝච්චිය තාමත් යනවා.. ඒත් එයා.. මරදානෙන් බැහැලා එයාගෙ ගමන යනවා. කවද හරි මේ කෝච්ච්යෙ දෙන්නම එකම ගමනක් යාවි. ඒත් එදාට ආදරය වෙනස් විදිහට ලියවිලා තියේවි. ඒ ආදරේ ඇතුලේ චූටි මතකයත් මැකිලා යනවා නන්.. ඒත්....

දුම්රියේ කවුළුවෙන්
එන දූලි රැලි මතින්
ඇදී යනු මන නුඹගෙ මතකය
සිතේ තනිවුන මතකයෙන්.....

හිනැහෙනා නිල් නෙත් මතින්
හමුවනා නුඹ සිහිනයෙන්
වෙන් වෙන්න නුඹ මතකයෙන්
ඇය ඒවි තුරුලට හිමින්...

4 comments:

  1. සුන්දරයි........... රොමෑන්ටික් ...........

    ReplyDelete
  2. යාලුවො වගේ කියන්නෙ තවදුරටත් යාලුවො නෙමෙයි නේ... මම ආසම නැති වචන සෙට් එකක් තමයි ඔය..

    ReplyDelete
  3. කවි කතාවක්.. සුන්දරයි!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget