Saturday, January 21, 2012

නිර්මාණකරුවා මරා දැමිය යුතුද??


මේ ලගදි දවසක වෙනී අයියා.. ලසිත් බෙනරගම.. පොඩි මෑන්. රාජ් ලගෙන් එක්කෙනෙක් සහ මම (තව හිටියා කස්ටිය.. මෙච්චරයි කතාවට සම්බන්ධ උනේ) වැදගත් කතාවක් කරානෙ.. එතනදි අපි කතා උනේ නිර්මාණයක් කරාට පස්සෙ නිර්මාණකරුවා මියයායුතුද නැද්ද කියන එක..එය එසේ විය යුතුයි.එතන කිසිම තර්කයක් හො ගැටළුවක් නෑ. තමුත් ප්‍රායෝගිකව එ‍ය එසේ සිදු නොවන එක ගැටළුවක්

වෙනී අයියා කියන විදිහට ඇත්ත.. අපේ නිර්මාණ වල පාඨකයා / රසවින්දකයා බුද්ධිමත් විය යුතුයි. නමුත්.. "මම" කියන චරිතය මූලික කරගෙන ප්‍රසිද්ධ සහ ජනප්‍රිය උන බ්ලොග් කලාවක් වර්ධනය වෙන කාලෙක පාඨකයා ලෑස්ති නෑ එතනින් අයින් වෙලා වෙනස් විදිහකට නිර්මාණයක් රස විදින්න.. මං කියන්න්නෑ "මම" හෝ "පුද්ගලික ජීවිතය" මාකට් කරන්න පුලුවන් කියලා නිර්මාණ හැකියාවක් නැතුව.. ඒක කරන්න ඇත්තටම හැකියාවක් තියෙන්න ඕනි.. උදාහරණ කිව්වොත්.. අපේ මාරය අයියා ලියන මාරායාගේ හෝරාව , තව සයිබර් යාය ලියන බුද්ධි, කතන්දර ,එතනින් ගියාම ඉන්ද්‍රනාත් තේනුවර අයියා ලියන මගේ කතාව.. (මං ආසම පුද්ගල ආත්ම විග්‍රහයක්.. ) ඒ හැමෝගෙම නිර්මාණ ඇතුලෙ විවිධාකාර වූ හැකියාවන් තියනවා..සහ එවැනි ජනප්‍රියතාවය ඉහල තලයක තියෙන්නෙ ඇත්තටම ඔවුන්ගෙ හැකියාව නිසා..අනිත් අතින් ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා ඒ තමන්ගේ ජීවිතය බව.. එය එසේ කිරීමේ කිසිම ගැටලුවක් නෑ..

නමුත්..

ගැටළුව ඇත්තේ ඔවුන් මනින එසේ නැතිනම් එවැනි ජනප්‍රිය බ්ලොග් රසවිදින ඇසකින් අනෙක් සියළුම නිර්මාණ කරුවන් දිහා බැලීම පුරුදු කරගෙන සිටීමයි.. මා දකින එවැනි අවස්ථා කීපයක්..

ලගදි ඔබා අයියා ලිව්වා වයසට ගිහින් අමතක වීමේ ලෙඩක් තියන කෙනෙක් ගැහැනියක් එක්ක සෙක්ස් කරන සීන් එකක් ගැන..ඇත්තටම ඒ කතාව ලස්සනයි.. නමුත් හැමෝටම ගැටළුවක් උනේ ඔබා අයියා තමන්ගේ බිරිදටත් ඒකම කරනවද කියන එක? ඒකට ඒ කතාව අන්තිමට ඔබා අයියා ලියලා තිබ්බා මං මේ කතාව කලින් ලිව්වද කියලා අහලා.. ඒ වචන ටික මූලික කරගෙන කවුරු හරි හිතුවා නන් ඒ කතාව ඔබා අයියගෙ කියලා.. හරි ඒක කමක් නෑ කියමු..

තිස්ස අයියා ගම්මු.. නිර්මාණ ගැන කියන්න ඕනි නෑනේ.. ගෙදර එන්න ලං වෙලා ආදරය ගැන අපූරු නිර්මාණයක් කරොත් නිර්මාණය මොන මගුල උනත් ලස්සන උනත් කැත උනත්.. අහන්නෙ "ලෝඩ් කරගෙනද ඉන්නෙ" කියලා.. ඒක තමයි හැමෝටම තියන පොදු ගැටළුව.. හරි එහෙම හිටියත් නිර්මාණය තුලින් රස විදිය යුත්තේ තිස්ස අයියගෙ පුද්ගලික ජීවිතයද??

අනිත් දේ සුදු හංසි නගා අලුත් කතාවක් පටන් ගත්තා ලියන්නේ.. දැන් ඒක බලන හැමෝගෙම තියන ගැටළුව සුද්දි ලියන්නේ එයාගෙ ඇත්ත අත්දැකීමක්ද කියන එක.. ඒ පෝස්ට් එකට මුලින් වැටුන ගොඩක් කොමෙන්ට් ‍වල පොදු ගැටළුව මේක ඇත්තටම සිදු වුන දෙයක්ද.. ආහ්.. එහෙනන් අපි බලනවා කියන එක..

ඒ කියන්නේ අපේ පාඨකයා බලාපොරොත්තු වෙන්නෙ අනුන්ගේ චීත්තයක් හේදීම පමනක්මද??

වෙනී අයියා සහ පොඩි මෑන්.. මෙන්න මෙතනයි උඹලගෙ තර්ක නැති වෙලා යන්නේ.. අපේ පාඨකයා අදටත් බුද්ධිමත් නෑ නිර්මාණකරුවා සහ නිර්මාණය දෙකක් විදිහට දකින්න..මං කවි ලියන එක නවත්තන්න ප්‍රධාන හේතුවත් ඕකයි.. මගේ නිර්මාණයක් තුලින් හැ‍ම වෙලේම මගේ පුද්ගලික ජීවිතය දකිනවට මං ආස නෑ.. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාඨකයාට ඕනි දේ දීලා ඉන්නවා.. ඒක තමයි ප්‍රායෝගිකව වෙන්නෙ..

මං මේ බ්ලොග් සමාජයට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා..ඉස්සර ඇත්තටම මීට වඩා රසවින්දනයකින් උසස් පාඨක සමාජයක් හිටියා..නිර්මාණ ඉතාමත් උසස් තැනක තිබ්බා.. තිස්ස අයියගෙ ‍බ්ලොග් එක බලන්න යන්නෙ කොමෙන්ට් කියවන්න බලාගෙන.. "සුලා" කියන කෙනෙක් කෙමෙන්ට් කරනවා.. ඒක උපරිමයි.. තව නම් වලින් කියන්න බැරි තරන් උසස් රසවින්දයක් තිබ්බ කොටසක් ඉස්සර හිටියා.. දැන් ඒ හැමෝම පේන්න නෑ..ඉස්සර කොමෙන්ට් එකක් කියන්නේ නිර්මාණයට තවත් එක නිර්මාණයක් එකතු වීමක්..ඒක කවදාවත් චැට් බොක්ස් එකක් උනේ නෑ.. එතන නිර්මාණයක් පැහැදිලිව ශිෂ්ඨ ලෙස විවේචනය කරා.. ඇගයීමක් කරා..ඒ තිබුන සම්ප්‍රදාය ඇයි දැන් නැත්තෙ..

දැන් ඉන්න පාඨකයන් ඇත්තටම නිර්මාණයක් හා නිර්මාණකරුවා යනු දෙදෙනෙක් කියලා වෙන් කරන්න තරන් බුද්ධිමත්ද.. නැත්තං හැමෝටම නිර්මාණය හා නිර්මාණ කරුවා ‍එක්කෙනෙක්ද..එහෙමත් නැත්තං හැමෝටම ඕනි තව කෙනෙක්ගෙ කුණු ගොඩක් අවුස්සන්නද.. නැත්තං අනුන්ගෙ චීත්තයක් හොදන්න විතරමද??

‍එය එසේ සිදු වේ නම්.. ලාංකික බ්ලොග් කරණයේ අනාගතය තවත් එක ගොසිප් පිටු ගොඩක් විතරද??

මං බ්ලොග් ලියන්න ආපු කාලෙ තිබ්බ උසස් නිර්මාණ අද නැති වීම බ්ලොග් කලාවේ පරිහානියේ ලක්ෂනයක්ද නැතිනම් නිර්මාණ සදහා අගය කිරීමක් නැති වීම හේතුවෙන් ඇති වුන කළකිරීමක ප්‍රතිඵලයක්ද??

නිර්මාණකරුවා කරුවා නිර්මාණයකින් පසු මියයාතුයි.. එය එසේ සිදු කිරීමට තරම් පාඨකයා බුද්ධිමත් විය යුතුයි.. නමුත් එය එසේ නොවන්නේ පාඨකයා බුද්ධිමත් නොවන නිසාද??

මෙම මාතෘකාව තවත් එක් සෙට් වීමකට හේතු වාසනා වේවා!!!!


55 comments:

  1. කමෙන්ට් වැටෙන හැටි බලලා පස්සේ දෙන්නං...

    ReplyDelete
  2. මෙව්වා සංවාදයට විවෘතයි අයියා.. අර අරවා වගේ නෑ හොදේ.. :-D

    ReplyDelete
    Replies
    1. හරි හරි මාත් බලං ඉන්නේ එහෙමද කියලා..එක අතකින් ඔව්නේ මේ කොමෙන්ට් වැටෙන්නේ එවෙලෙම...

      ඇනෝ කමෙන්ට් උනත් වැඩද බං මලේ..?:D:D:D

      Delete
    2. හලේ.. සංසාරේ අයියා........

      Delete
  3. අද ලියවෙන බ්ලොග් වැඩි ප්‍රතිශතයක තියෙන්නේ කමන්ගේ කෙල්ලෙ/කොල්ලා දාලා ගිය හැටි,මොකක් හරි තමන්ට වෙච්චි අකරතැබ්බක් වගේ දේවල්. නිර්මාණයක් කියලා කරන අය ඉන්නේ බොහොම ටික දෙනෙක්. ඉතිං අර තමන්ගේ අත්දැකීම් ගැන ලියවිච්ච බ්ලොග්ම බලන පාඨකයා නිර්මාණයක් දිහා බලන්නෙත් ඒ ඇහින්මයි. ඇරත් මිනිස්සු හරි ආසයි ඕප දූප හොයන්න. ඒ මිනිස්සුන්ගේ හැටි.

    බ්ලොග් බලන බහුතර පාඨකයෝ ගැන අපි කතා උනා ගාලු ගමනේදී වෙනී අයියාගේ "කොන්ක්‍රීට් ආදර්ශ ගොවිපළ හා අපි නොදන්න චෙස් !" කියන ලිපියට වැටුනු කමෙන්ට් එක්ක. මම නම් හිතන්නේ මේ බ්ලොග් කියන ඒවා කියවන්න *බහුතරය* එන්නේ මහා ලොකු සාහිත්‍ය නිර්මාණ බලන්න නෙමෙයි. කියවලා හිනාවෙන්න පුළුවන් දෙයක් තියෙනවද බලන්න.

    හබැයි පාඨකයෝ අපි ලියන දේවල් අපේ ජීවිතයට අදාල කරගෙන හිතුවයි කියලා අපි අපේ නිර්මාණ කිරීම නවත්වනවා කියන්නේ මෝඩ වැඩක්. කෙනෙක් හොඳ නිර්මාණයක් කළොත් සාමාන්‍යයෙන් බ්ලොග් වල කමෙන්ට් නොකරන, මේ බ්ලොග් අවකාශයේ ඉන්න විශිෂ්ඨයෝ පවා ඇවිත් එතනට කමෙන්ට් කරාවි. අත්දැකීමෙන් කියන්නේ!

    ReplyDelete
    Replies
    1. පූස් මලේ.. මෙතන තියෙන්නෙ කොමෙන්ට් පිළිබඳ අවුලක් නෙමේ.. නිර්මාණයක් කරාට පස්සෙ ඇයි පාඨකයා ඒ නිර්මාණය තුලින් නිර්මාණකරුවාව දකින්නේ..
      නිර්මාණය එලියට ආවට පස්සෙ ඒ නිර්මාණයේ අන්තර්ගතය හා නිර්මානකරුවාගේ ජීවිතය එකක් විදිහට සලකන එක වැරදියි කියලයි කියන්නේ..
      නැතුව මල්ලි කොමෙන්ට් අඩු එකවත් හිට්ස් නැති එක ගැන වගේ සුට්ටි දෙයක් ගැන නෙමේ කිව්වෙ..:-D

      Delete
    2. ඔන්න ඕක තමයි අවුල තේරුම් නොගැනීම!
      ඇයි බං අයියේ මගේ කමෙන්ට් එකේ තියෙන්නේ අහවල් දෙයක් ගැනද? :D
      වැටෙන කමෙන්ට් වලින් නෙමෙයිද පාඨකයාගේ අදහස් දැනගන්නේ? දැන් මගේ කමෙන් එකේ, කොමෙන්ට් අඩු වීමක් ගැන හරි හිට්ස් නැති වීම ගැන හරි කොතනද ලියවිලා තියෙන්නේ? :D

      Delete
    3. හරි හරි...මමයි වැරදියට තේරුන් ගත්තෙ...හදිස්සිය යකෝ.. එවෙලෙ තිබ්බ හදිස්සියට වෙච්ච වැරදි බං..

      පොදු කාරණා බැලුවම උඹ කියන දේ ඇත්ත.. මහා සාහිත්‍ය බලන්න මිනිස්සු එන්නෑ..
      හැබැයි නිර්මාණයකට මොකක් හරි වටිනාකමක් තියෙන්න ඕනි නේද මල්ලි..
      පොදුවේ ගත්තම උඹ කියන දේ ඇත්ත.. ස්තූතියි කොමෙන්ට් එකට..

      Delete
  4. 1. උසස් නිර්මාණ මොකටද බං බ්ලොග්වල දාන්නේ? අර ජයන්ත චන්දයසිරිකාරයා ටෙලි නාට්‍ය ගැන කියපු කතාව අහලා නැද්ද?

    2. මගේ සඳේ දැන් කවි දාන්නේ නැත්තං මගේ බ්ලොග් රෝලේ තියෙන කැටගරිය වෙනස් කරන්නම්.

    3. කවි කියවලා කමෙන්ට් කරන උන් ඉන්නවද? මං කයි-කතන්දර දාන්නේ කාටත් තේරෙන්නයි. සිව්පද කවි දැම්මත් රනින් කමෙන්ට්‍රියක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. 1. කවදාවත් හිතපු නැති දෙයක්..බලං ගියාම ඒකෙත් ඇත්තක් තියනවා නේ අයියා... හැබැයි ජයන්ත චන්ද්‍රසිරිගෙ කතාව නන් අහලා නෑ

      2. කැටගරිය වෙනස් කරාට නන් කමක් නෑ.. හැබැයි දාන්න කැටගරියක් තමා නැත්තෙ.. මේක ඉස්සරහට ඉදලා හිටලා කවි ටිකකුත් ලියන්න ඉන්නවා...

      3. ඇත්ත කවි කියවලා කොමෙන්ට් කරන අය අඩුයි.. කොමෙන්ට් බලාගෙන නන් කවි ලියලා වැඩක් නෑ.. :-D

      ස්තූතියි අයියා කොමෙන්ට් එකට..

      Delete
    2. ජයන්ත චන්දයසිරි කිව්වේ රූපවාහිනිය කලා මාධයක් නෙමේ ඉතිං ටෙලි නාට්‍ය කලා ක්‍යති නෙමේ කියලයි.

      Delete
  5. මේක පුද්ගල බද්ධ කාරණයක්. පාඨකයා බුද්ධිමත් නෑ කියන මතයේ මන් ඉන්නෙ නෑ. පාඨකයා බුද්ධිමත්..නිර්මාණකරුවා විශ්මයට පත් කරන්න පුළුවන් තරම් බුද්ධිමත්..මන් කියන්නේ නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණය කරන විට බිය විය යුතු නැහැ..මේ නිර්මාණය කරන චරිත තමන්ට ආදේශ වී සමාජය තුල අපහසුතාවයට පත් වෙයි කියලා. මිත්‍රයෙක් , සහෘදයෙක් , වින්දනීය මනසක් හිමි අයෙක් වින්දනාත්මක මොහොතකදි එලෙස හාස්‍යයට ලක් කරාවි..වෙනිවැල් - කසිප්පු ලියන්නා - කියලා. එතන ගැඹුරක් නැහැ. නිර්මාණකරුවා අනිවාර්‍යෙන්ම සංවේදී..මෙවන් අවස්ථාවල විය යුත්තේ නිර්මාණකරු බුද්ධිමත් වීමයි. පාඨකයා පවසන දෙයෙහි ඇති ගැඹුර වටහා ගෙන එයට සංවේදී වීම කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. ඉස්සරහදි ලියන්නා ඒඩ්ස් රෝගියෙක් වෙයි..ගණිකාවො පස්සෙ යන සල්ලාලයෙක් වෙයි..කුඩ්ඩෙක් වෙයි..ගෑණු රවට්ටලා ඒ අයගේ සල්ලි ගරා කන වංචාකාරයෙක් වෙයි..හිරකාරයෙක්, මානසික රෝගියෙක් වෙයි..ඒ වෙන කොට පාඨකයා ඉබේම තේරුම් ගනී..නිර්මාණය සහ නිර්මාණකරුවා දෙදෙනෙක් බව. සෙට් වෙච්ච වෙලාවක, සොඳුරු මිතුරු හමු වලදී අද වගේම එදාටත් සහෘදයන් මගෙන් අහයි.. කොහොමද අර මුඩුක්කුව පිටිපස්සෙ ඉඳන් කුණු ගඳ ගහන් ලෑලි කාමරේ ගත්ත ආතල් එක ගැන.. එහි හාස්‍යයට එහා ගිය නින්දා කිරීමේ අරමුණක් නැති බව මම වටහා ගන්නා තාක් කල් කවුද බුද්ධිමත්..කවුද නැත්තෙ ? මේ අවස්ථාවෙදි මට හැඟෙන්නේ මෙච්චරයි.. මම ආයිමත් කියනවා පාඨකයා නිර්මාණකරු විශ්මයට පත් කරන්න තරම් බුද්ධිමත්. මගේ අත්දැකීමෙන් මම කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. අයියත් එක්ක එකගයි තමා.. අපි මේ ගැන කතා කරානේ.. ආයෙ සෙට් වුන දවසක කතා කරමු මේ ගැන...:-D

      Delete
  6. මම නම් ලියන්නේ අර පූසා කිව්ව වගේ මට සිද්ද වෙච්චි... මගේ වටේ හිටි උන්ට සිද්ද වෙච්චි දේවල්... ඉදල හිටල මට හිතෙන ඒවාත් ලියන... අර කන්‍යාභාවය ගැන.. අවාසනාවන්ත රටක උපන් පවට... වගේ එව්වා.

    හුඟක් බ්ලොග් තුල දැන් අඩවිය හිමි කරුවාගේ අත්දැකීම් ලියන නිසා හැමෝම ගැන එහෙම හිතනවා වෙන්න පුළුවන්. සඳරු.. කකා... මාරයා... .......

    පොඩ්ඩා.. වෙනියා වෙනස්. වෙනිය ගැන මම උනත් මුලින් හිතුවෙ මේ මුගේ අත්දැකීමද කියල.. පස්සෙ තේරුනා ලියන්න සහ වෙනිය දෙන්නෙක් කියලා.

    කමෙන්ට් දිහා බලා සිටිමි.

    ප. ලි : සෙට් වෙන්න එපා යකෝ අප්‍රේල් වෙනකල් හලේ

    ReplyDelete
    Replies
    1. එකනේ බං.. උඹ එහෙම ලිව්වට අපි එහෙම ලියනවා අඩුයිනේ.. අවුල තියෙන්නේ අපි හැමෝම දිහා එකම විදිහට බලන එකනේ..
      උඹලා වගේම හැමෝම වෙනසක් තේරුන් ගන්නව නන් මේ කිසි කරදරයක් නෑ..

      ප.ලි.

      පිස්සුද යකෝ.. එච්චර කල් ඉන්න පුලුවන්ද.. ඉක්මනට වර උඹත්..:-D

      Delete
  7. ඕකට හේතුව කියලා මම නම හිතන්නේ පසන් අයියේ,ඉස්සර වගේ නෙවි දැන් බ්ලොග් කාරයෝ එක්නෙක්ට එක්කෙනෙක් අදුනනවා.fb එකෙන් ගේට් වලින් යාලුවෝ වෙලා තියෙන්නේ ඒකනිසා ලියන එක කොච්චර අවුල් වුනත් ඒක පෙන්න බැ. එල මචන්,සිරා කියලා නිකන් ඉන්න තියෙන්නේ වැරදි කියන්න ගිහින් තරහ උනොත්
    අනිත් ඒක දැන් තියෙනවනේ බ්ලොග් සෙට් කවුරු හරි සෙට් එකේ කෙනේගේ වරදක් පෙන්නුවොත් සෙට් එකම එකෙතුවෙලා පෙන්නපු කෙනාට නැතිවෙන්නම ගහලා එලවනවා ආයි වැරදිලාවත් ඒ බ්ලොග් ඒක පැත්තේ නොයෙන්නම.
    අනික දැන් fb වලින් එහෙම අදුරන නිසා පොස්ට් ඒක කියවන කෙනාට වැදගත් නැතිඋනත් කමෙන්ට් එකක් දාන්නම ඕනේ නැත්තන් එකත් කේස්
    අනික දැන් බ්ලොග් එකක් ෆලෝ කරන්නත් කිසිම තේරුමක් නැතුව නේ
    සිරාවටම මිට අවුරුදු 2 කට විතර කලින් තිබුණු බ්ලොග් එක්ක බලද්දී දැන් තියෙන ගොඩක් බ්ලොග් මෙලොරහක් නැ.
    ඔක්කොම වගේ තියෙන්න කෙලලා දාලගියා කොල්ලා දාලගියා කියලා අඩාවැටෙන ඒවා නේ
    ඉස්සර ලියපු අයත් දැන් ලියනවා තියා කමෙන්ට් දානවත් අදයි නේ
    අනේ මන්ද සිංහල බ්ලොග් වලට මොනවා වෙළද කියලා

    ReplyDelete
    Replies
    1. මල්ලි යාලුවො කියලා විවේචනය නොකර ඉන්නවා නන් වැඩක් නෑනේ.. අපි සෙට් උනාම විවේචනය කරන විදිහට එහෙනන් අපි මරාගන්න ඕනි.. යාලුවොන්ට තමා අනිත් හැමෝටම වඩා නිරවුල් විවේචනයක් දෙන්න පුලුවන්.. මොකද යාලුවො නිසා..

      උඹ කියපු සමහර දේ ඇත්ත.. ඉස්සර කියවන්න දෙයක් තිබ්බට දැන් කියවන්න තියන දෙයක් අඩුයි...

      ස්තූතියි අදහසට...

      Delete
    2. නැ අයියේ මම කිවේ මම කරන දෙයක් නෙවි
      මට බ්ලොග් බ්ලොග් වල යාලුවේ වැඩිය නැ
      මම කිවේ සැහෙන්න කාලයක් තිස්සේ මම දැකපු දෙයක් විතරයි

      Delete
  8. හුඟක් වටින පෝස්ට් එකක්....
    නිර්මාණයකින් නිර්මාණකරුවා දැකිම පිළිබදව ඇතිවූ කලකිරීම් නිසා ලිවීම නවත්තන්න හිතපු වාර ගණන අනන්තයි....ඒත් කවදාවත් පෑන අතාරින්න බැරිවුනා...

    ReplyDelete
    Replies
    1. හයියෝ.. ලියන එක නවත්තන්න එපා.. කොමෙන්ට් නැති උනත් නිර්මාණයකින් එන ආත්ම තෘප්තිය වටිනවා..එහෙම කලකිරෙන්න එපා.. දිගටම ලියන්න.....

      Delete
  9. මහිමගේ අදහසට මට කියන්න තියෙන්නේ නම් මිතුරු කම නිසා වැරදි පෙන්වා නොදෙනව නම් තත්වය කනගාටුදායකයි. මතවාද ගොඩ නගා තර්ක කරලා වැරැද්ද පෙන්වා දීම වැදගත්. සමහරු අධෛර්‍යය කරන්නත් වැරදි පෙන්වා දෙනවා..එතන ගැඹුර තේරුම් නොගන්නා නිර්මාණකරු තමයි අප්සට්. පසන් මතු කරපු වාදය ආරම්භ වුනේ අවුරුද්දක් විතර හමුවෙලා ආශ්‍රය කරපු ලසියාගේ මතයට එරෙහිව මම ගෙට්ටුවෙදි වචනයක් දෙකක් කතා කරපු පොඩිමෑන්ගෙ පැත්ත ගැනීමත් එක්කමයි. මම පොඩි මෑන්ගෙ නිර්මාණ රස විඳපු කෙනෙක්..මගේ පුද්ගලික මතය නම් විය යුත්තේ එය කියලයි. අවුරුද්දක් ආශ්‍රය කලා කියලා මන් ලසියාගේ පැත්ත ගත්තෙ නෑ, ඒ අවස්ථාවෙදි, එහෙම කියලා ලසියා මන් එක්ක තරහ වුනෙත්, පොඩි මෑන් මා එක්ක වැඩිපුර යලු වුනෙත් නෑ...සැබෑ මිතුරු කම එයම නෙවෙයිද ? මිතුරු කමේ ගැඹුරු අරුත වෙනස් කර ගන්නෙ නැතුව, මතවාද මරා ගන්න ඕනි තැන මරා ගන්න එක !

    ReplyDelete
    Replies
    1. අනිවා අයියා.. ඒ අදහස ඇත්ත.... නැත්තං ඒ යාලු කමෙනුත් වැඩක් නෑ...

      Delete
  10. බ්ලොග් එකක් බලන්නේ කෝඩ් කොටලා එපා වෙච්චාම... ඒකේන් පොඩි විවේකයක් ගනන් මිසක්. ඔය ආටිකල් වල තේරුම් හොයලා මහාඅවුලක් ඇති කරගන්න නෙමෙයි කියලා මම නම් හිතන්නේ. මෙහෙම අය බහුතරයක් ඉන්නවා කියලා පැහැදැලිවම කියන්න පුලුවන්. සරළ නොවූ බ්ලොග් වටා කවුරුත් සැරිසරන් නේනැහැ උදාහරණ විදිහට ඒ වගේ කවුරුත් නොයන නොකියවන සමහර අයට වැදගත් ලිපි වැටෙල බ්ලොග් අතලෝස්සක් තියනවා.

    ර්~

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක තමා ඇත්ත.. බ්ලොග් කියවන්න එන්නෙ ගොඩක් සාහිත්‍ය අත්විදින්න නෙමේ.. මොනවා හරි දෙයක් කියවලා යන්න විතරයි..

      ස්තූතියි දෙන්නටම අදහස් කිව්වට...:-D

      Delete
  11. මට මෙ ගැන හිතෙන දෙ මගෙ බ්ලොග් එකෙ පොස්ට් එකක් විදියට දැම්මා නිර්මාණය හා අනන්‍යතාවය කියලා. කැමතිනම් ඒකත් බලන්න මෙන්න ලින්කුව

    නිර්මාණය හා අනන්‍යතාවය

    ReplyDelete
    Replies
    1. මං ගියා ඒ පෝස්ට් එක බලන්න.. ඇත්ත ඒ ගොඩක් කරුණු එක්ක මං එකගයි......

      Delete
  12. මම ලියන්නෙ මගෙ අත්දැකීම්. ඒක නිසා මම ලියන ඒවට මාව ආදේශ කලාට මට කමක් නැහැ.
    නිර්මානය නිර්මානකරුවාට ආදේශවෙනව බලන්න ඕනෙ නං .. . හොඳම උදාහරනය ඔබ්සර්වර්ගෙ බ්ලොග් එක.

    ප.ලි.
    බීල මැරියවු . . . . .

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ඔබ්සවර්ගෙ බොලොග් එක ඒකට හොද උදාහරනයක්..
      ඔනයා අයියා එහෙම කැමති උනාට මං කැමති නෑ බං..

      ප.ලී..

      තෝ ආපුවම බොන්න බලාගෙන නොමැරී ඉන්නවා යකෝ..:-D

      Delete
  13. ස්කිට්සෝලගෙ සුභප්‍රාර්ථනා සින්දුව විසඳගන්න බැරිව මම උන්ගෙ සාමාජිකයෙක්ව සම්බන්ධ කරගත්තා ඒ ගැන අහන්න. ඌ මට කිව්වෙ ඒ සින්දුවෙ තේරුම ඌටවත් කියන්න බෑ කියල. මොකද ඒ සින්දුව නිර්මාණය වුණ වෙලාවෙ ඌ හිතපු දේවල් දැන් ඌ දන්නෙ නෑ. නිර්මානකරණය කියන්නෙ නිර්මාණාවේශය කියන ආවේගය දැණෙන වෙලාවකදි සිදුවෙන දෙයක්. ඒක නිර්මාණකාරයගෙ පුද්ගලික ජීවිතේ එක්ක කිසිම සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසාම නිර්මාණයක් ගැන ආයෙ ආයෙමත් කර්තෘගෙන් විමසන එක තේරුමක් නෑ. නිර්මාණය සම්පූර්ණ කිරීමේ අභිලාෂය කෙලවර වීමත් එක්ක නිර්මාණකාරය ඒ නිර්මාණයත් එක්ක තියෙන ගනුදෙනුව අතාරිනව. මැරුණ වගේ තමයි. හැබැයි ඒකෙන් කියන්න බෑ නිර්මාණකාරය වගකීමෙන් නිදහස් කියල.

    මම හිතන්නෙ අනිත් මිනිස්සුත් එක්ක මොනව හරි දෙයක් බෙදාගන්න පුළුවන්කම තියෙන ඕනම මනුස්සයෙක්ට නිර්මාණාත්මක හැකියාව තියෙනවා. ඒ වුණාට නිර්මාණ කියන ඒව අපි චිත්‍ර, නාට්‍ය, ලිපි, කවි වගේ එක එක විධියට වර්ග කරගෙන ඉන්න හින්ද අපට ඒ නිර්මාණකාරයන්ව නොපෙනෙනව ගොඩක් වෙලාවට.

    බ්ලොග් කියන්නෙ ලිවීම මුල්වුණ නිර්මාණ බෙදාගන්න විධියක්. ඒකෙදි කැමති විධියට ඒව රසවිඳින්න හැකියාවක් තියෙනවා. අර කිව්වත් වගේ සාහිත්‍ය රසයෙන් මනමත් වෙන්න කවුරුහරි බ්ලොග් කියවන්න ගත්තොත් එයාගෙ බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්. මොකද වර්තමානය වෙනකොට බ්ලොග් සාහිත්‍යය කියන එක තියෙන්නෙ අපි ඉස්කෝලෙ ඉගෙන ගත්තු හෝ පත්තර වල දකින සාහිත්‍යයෙන් වෙනස් තැනක.

    නිර්මාණය තුලින් නිර්මාණකාරයව දකින්න යන එක තේරුමක් නැති වුණාට මිනිස්සු ආසයි එහෙම හිතන්න. ඒක මිනිස්සුන්ගෙ නොදැනුවත්කම නෙවෙයි. මිනිස්සු හිතන්න පුරුදු වෙලා ඉන්න විධිය. කොයි මිනිහගෙත් ඒ ගතිය අඩු වැඩියෙන් තියෙනවනේ. ලංකාව වගේ රටවල ඒ ගතිය වැඩියි. අපේ ආච්චිල ගමේ රොයිටර් ඕපදූප කාරයො. අම්මල ටීවී එකේ මෙගා ඕපදූප කාරයො. වර්තමාන පරම්පරාවෙ අපි ඩිජිටල් ලෝකෙක ඉඳන් කරන්නෙත් ඒකම තමයි. අනික ලංකාවෙ බ්ලොග් ලියන සීයක් විතර අය පවුලක් වගේ එකිනෙකා ගැන දන්නව. ඒ නිසත් ඔය වැඩේ වෙනව වෙන්න පුළුවන්. හැබැයි මිනිහෙක්ව හොඳින්ම දැනගත්තමත් ඒ මිනිහව අයින් කරල එයාගෙ නිර්මාණ රස විඳින්න පුළුවන්.

    ඉස්සර නිර්මාණකාරයො පාඨකයො ගැන නොහිතා තමන්ට දැණුන දේ කරපු අය. මම කියන්නෙ හෙන ඉස්සර හිටපු අය ගැන. ඔය දරුණු සංගීතකාරයන්ව ගන්නකෝ. බොහොම පොඩි දෙනයිනෙ හිටියෙ. ඒ අයගෙ නිර්මාණ විඳින්න මිනිස්සු හොයාගෙන ගියා. නිර්මාණකරුවා සහ මිනිස්සු අතර හිඩැසක් තිබුණ. නිර්මාණය විසඳගැනීමත් එක්ක තමයි ඒ හිස් තැන වැහුණේ. ඒකෙන් තමයි තෘප්තිමත් (හෝ මොකක් හරි එකක්) වුණේ. එතනදි පාඨකයටත් කරන්න දෙයක් තියෙනවා නිර්මාණය විඳින්න.

    වර්තමාන‍ය වෙද්දි හැමෝටම ඕඩියන්ස් එකක් තියෙනවා. හදාගන්න මාර්ග තියෙනවා. හැමෝම දේවල් කරනවා. අනික මිනිස්සුන්ට වෙලාව නෑ ගෙදර වැඩ කරන්න. එතකොට මිනිස්සු නිර්මාණකාරයව හොයාගෙන එනව වෙනුවට නිර්මාණකාරයට මිනිස්සු ගාවට ගිහින් තමන්ගෙ දේවල් මිනිස්සුන්ගෙ ඇ‍ඟේ ගහන්න වෙනව. පාඨකයා කැමති දේවල් කරන්න වෙනව. පාඨකයට අමතර දෙයක් නොකර මීටර් වෙන්න ගෙඩි පිටින්ම එලියට දානව. අර හිඩැස නැති තරම්. ඒකෙදි නිර්මාණකාරයත් පාඨකයො අතරෙම කෙනෙක් වෙන එක සාමාන්‍යයයි.

    ඕව එකක්වත් හොඳ හෝ නරකයි කියන්න බෑ... යම් යම් කාරණා උඩ මතුවෙලා තියෙන තත්ත්වයන් තමි ඒවා.

    අනික බං වැඩත් එක්ක කියවන උන්නෙ ගොඩක් ඉන්නෙ. එහෙම වුණාම මහප්‍රාණ වලට වඩා සරල විහිළුවක් සෑහෙන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක් කරන්න පුළුවන් සිරා කමෙන්ට් එකක්! :)

      Delete
  14. හප්පා... වෙනම පෝස්ට් එකක් ලියන්න තිබුණා මටත්...
    ඔය කමෙන්ට් එක ගැන මගෙන් ආයෙ අහන්න එපා මචෝ :D

    ReplyDelete
    Replies
    1. නෑ... මං උඹෙන් මුකුත් අහන්නෑ.. අහන්න දේකුත් ඉතුරු වෙලත් නෑ..මගේ පෝස්ට් එකටත් වඩා වැඩි කරුණු ගොඩාක් උඹෙ කොමෙන්ට් එකේ තියනවා..

      ස්තූතියි මචං...

      Delete
  15. හේතුව සරළයි අයියා...අද වෙද්දී මිනිස්සුන්ගේ සාහිත්‍ය හා රසාස්වාදනය කියන දෙකම නැති කරලා තියෙන්නේ....සාහිත්‍ය කන්නද කාර් එකක් ගන්නද කියලා අහපු දේශපාලකයෝ හිටිය ලෝකෙක සාහිත්‍ය නැති වෙලා යන එක අහන්න දෙයක් නෙමේ....සාහිත්‍ය කියන දේ නැතුව මනුස්සයෙකුට රසාස්වාදනය කියන දේ ඇති වෙන්නෑ...Imagination කියන ගුණාංගය වර්ධනට කරගන්න නම් appreciation අත්‍යාවශ්‍යයි....හැබැයි අද වෙද්දී ළමයින්ව රොබෝවරු කරලා තියෙන්නේ...දැන් බ්ලොග් ලියන්න එන අළුත් අයගෙන් බහුතරයක් මෙන්න මේ රො‍බෝ ලෝකෙන් බිහිවෙච්ච අය(90 දශකයෙන් පස්සේ අය) ඉතින් මෙයාලට රසවිඳින්න ලැබුන දේවල් අතර නිර්මාණ තිබ්බේ නෑ....මම අදහස් කරන්නේ නෑ රසවිඳිනව කියලා ශාස්ත්‍රීය නිර්මාණ රසවිඳින්න ඕනේ කියලා....හැබැයි පාඨකයා,ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයාගේ මනසේ විචාර බුද්ධියක් තියෙන්න ඕනේ රසවින්දනය කිරීම සඳහා...අපි අවට තියෙන හැමදෙයක්ම නිර්මාණයක්...ඒකේ තියෙන සුන්දරත්වය වටහා ගන්න පුළුවන් කෙනෙක්ට නියම ප්‍රේක්ෂකයෙක් වෙන්න පුළුවන්....අයියා කියන විදියට නිර්මාණකරුවා මිය යන්න ඕන නෑ...නිර්මාණකරුවා ජීවත් වෙන්න ඕනේ....හැබැයි මම දකින විදියට අදවෙද්දී නිර්මාණකරුවා මරා ගන්නේ අපිමයි...මොකද හරිහමන් ප්‍රේක්ෂකයෝ නැති හින්දා.....:)
    නියම ලිපියක් අයියා....මමත් මේක ගැන කලින් කතා කරා....:)

    ReplyDelete
    Replies
    1. නිර්මාණකරුවා සහ නිර්මාණය වෙනස් කරගන්න පුලුවන් නන් මේක ගැටළුවක් වෙන්නෑ මල්ලි.. ඔයා ‍කියපු දේවල් එක්ක මං එකගයි

      ස්තූතියි අදහසට..

      Delete
  16. බ්ලොග් ඉඩක උසස් නිර්මාණයක් කරන්න ගොඩාක් අමාරුයි. ඒ හින්දා මේ ප්‍රශ්නය ඒ තරම්ම මෙතනට අදාල වෙන්නෙ නෑ. මේ මාධ්‍ය (Digital) උසස් නිර්මාණයකට අවශ්‍ය අවකාශය සකස් කරලා නෑ. ඉතින් මාධ්‍යට ගැලපෙන විදියට තමයි නිර්මාණය කරන්න වෙන්නෙ. තමාගේම පුද්ගලික අත්දැකීමක් නැත්නම් මිතුරකුගේ අත්දැකීමක් වගේ සරළ දෙයක් තමයි මෙතනදි නිර්මාණයක් විධියට එළිදකින්නෙ.එතකොට නිර්මාණය තුළින් නිර්මාණකරුවා දකින්න තියෙන ඉඩකඩ වැඩියි.
    බ්ලොග් පාඨකයෙක් විධියට මමත් කැමතියි සින්ඩියේ තියෙන ඔක්කොම හරි කියවන්න. කියවලා ඔක්කෝටම කමෙන්ට් කරන්න. ඒත් එහෙම ක‍ළොත් වෙන කිසි වැඩක් කරන්න කාලය ඉතිරි වෙන්නෙ නෑ. ඒකත් මේකට බලපානවා.

    ReplyDelete
    Replies
    1. හැමෝම කියන විදිහට බ්ලොග් කියවන්න එන බහුතරය එන්නෙ මොනව හරි කියවන්න විතරයි වගේ.. ඒ කියන්නෙ ඕප දුපයක් වෙන තරමට හොදයි..

      වෙන්න පුලුවන්.. මිනිස්සු බිසී වෙද්දි ඒ වගේ දේවල් වෙනවා..

      ස්තූතියි අදහසට...

      Delete
  17. මේ පෝස්ටුව කියව්වාම මට දැනුනෙ කියවන්නා සේම නිර්මාණකරුවාද බුද්ධිමත් විය යුතුයි යන්නයි.
    ප්‍රේක්ෂකයාට අවශ්‍ය දේ යැයි හිතන දේ පමණක් දීමෙන් බ්ලොග් කලාවටද අපේ මාධ්‍ය කලාවට වූ දේ සිදුවන්නට හැකි බව අප අමතක නොකල යුතුය. තවද බ්ලොග් කරනයේ නියැලෙන්න් බොහෝ දෙනෙකු එය විනෝදාංශයක් ලෙස සලකන අතර නිර්මාණකරුවන් වීමේ හැකියාවක් ඇතිද යන්නට එය ගැටළුවක් නොවේ..මන්ද සින්දු කීම වැනි විනෝදාංශයේ නියැලෙන්නේ ගායකයින් පමණක් නොවන නිසාය. ඕනෑම කෙනෙකුට තමන් කැමති ආකාරයට ලිවීමට නිදහසක් ඇති බවද අප වටහා ගත යුතුය..

    ReplyDelete
    Replies
    1. එය එසේ බව මා දැන් තේරුන් ගතිමි.. හිතට එන දේ ලියනවට වඩා නිර්මාණ කරන්න යන එක හොද නැති බව තේරුම් ගතිමි...ඔය කියපු කරුණු සමග මම එකගයි..

      ස්තූතියි අදහස් දැක්වීමට...

      Delete
  18. අයියණ්ඩි කියනවා වගේ මටත් ඔය අත්දැකීම තියෙනවා. මම බ්ලොග් දෙකක් ලියනවනේ.. එකක කවි හා නිසදැස් පමණයි. ඒක කියවන්නේ මමත් එක්ක 10ක් 15ක් වගේ සුළු පිරිසක්. ඒත් තවලම ලිපි, කවි, නිසදැස්, නොදැනෙන්න ගහන මඩ ප්‍රහාර හා නිර්මණ වලින් පිරුණු බ්ලොග් අඩවියක් සමහර වෙලාවට මම මගේ පෞද්ගලික් දේවල් උනත් පල කරනවා. නමුත් එහෙම පල කරපු ගොඩක් ලිපි ඔබ ඇතුලු මගේ සමීප මිතිරන්ගේ උපදෙස් පරිදි ඉවත් කරලා තියෙනවා. කොටින්ම කීවොත් ලියලා පබ්ලිෂ් නොකරපු ලිපි ගොඩක් ඇති.

    මගේ අත්දැකීම් වලට අනුව නම් පාධකයෝ ඇදිලා එන්නේ පොෟද්ගලික ජීවිතේ ඇත්ත කතාවක් කියවන්න බලාගෙන. මගේ අඩවියට විතරක් නෙවෙයි, අනෙක් බොහෝ අඩවි වලට. මගේ නඟාලා දෙන්නා මට වඩා එයාලාගේ පෞද්ගලික ජීවිතේ ගැන බ්ලොග් අඩවියේ ලියනවානේ.. සිතුවිලි නිහඬයි සහ ඒන්ජල් ශානු හෙවත් සානිකා.

    මට කිහිප වතාවක් හොඳට පෙනුනු දෙයක් තමයි. නඟාලා පොස්ටුව දාන්න කලින් කමෙන්ටු 10ක් 15ක් වැටිලා ඉවරයි.. ඒත් දවසේම සමහර විට උදේ වෙන්න පුළුවන්. නැත්නම් ඊට කලින් දවසේ වෙන්න පුළුවන් වෙනත් බ්ලොග් කරුවෙක් නිර්මාණාත්මක ලිපියක් ලියලා තිබුනොත් ඇතැම් වට ඒක දෙතුන් දෙනෙකුට වඩා කියවලත් නැහැ.. අන්න ඒ සන්තෑසිය වෙන එක අඩවියක් තමයි.. දිනේෂ් සංජය ලියන මානස විල.. දිනේෂ් කවලාවත් එයගේ ගැන ලියන්නේ නැහැ එයා ලියන්නේ එක්කෝ ආගමට අදාල ලිපියක්. එහෙමත් නැත්නම් සුන්දර ආදර කතාවත්.. ඒත් කියවන්න එන්නේ බොහෝම සුළු පිරිසක්.

    සාපේක්ෂව බැලුවොත් වැඩිම පාඨක පිරිසක් ඉන්නේ තමන් ගැන ලියන බ්ලොග් කරුවන්ගේ අඩවි වලට. ඒකට හේතුව සමහර වෙලාවට එයාලා බ්ලොග් කියවන්නේ
    තමන්ගේ ස්ට්‍රෙස් නැති කරගන්න වෙන්න ඇති. අනේ මන්දා හේතුව හිතා ගන්න බෑ. :)

    ReplyDelete
    Replies
    1. සුදු හංසිට දැන් යමක් කමක් තේරෙනවා වගේ.. සහතික ඇත්ත කතාව නංගියෝ.. මාත් කියන්න ඔය දේ ගැන තමා.. දැන් බැලුවම ඒක වෙනස් කරන්න බැරි දෙයක්..

      Delete
  19. හර බර සාකච්චාවක්..නිර්මාණයක් නිර්මාණයක් ලෙස ඇගයෙන්න ඕන කියන එක මගේ අදහස.ඒක එහෙම වෙන්නේ නැති එක නම් ගැටලුවක්.එහෙමයි කියලා නිර්මාණ එලියට දාන එක නවත්වන එක නෙවෙයි කරන්න ඕන.කියවන්නා තේරුම් ගන්න කල් ලියන්න එක.

    අනික සුදු හන්සි කියන්න වගේ මම ලියන කවි බ්ලොග් එක කියවන්නේත් මම ඇතුලු අතලොස්සක් පිරිස විතරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් පබූ.. නිර්මාන නිර්මාණයක් ලෙස ඇගයෙන්න ඔනි..ඒ ගැන කිසි තර්කයක් නෑ.. එහෙම වෙන්නෑ කියන්න බෑනෙ පබූ.. යම් මට්ටමකින් සියළුම නිර්මාණ ඇගයීමකට ලක් වෙනවා.. නමුත් සාපේක්ෂව යම් අඩුවක් තියනවා කවි වලට.. ඒක ඔයයි මායි දෙන්නම හොදට දන්න දෙයක්නේ.

      මොනව උනත් නිර්මාණ කිරීම නවත්තන එක නන් තේරුමක් නැති වැඩක්...

      Delete
  20. මිනිස්සු අනුන් ගැන කියවන්න කැමති ඇත්තටම මිනිස්සු තමන් ගැන සෑහීමක් නැති නිසා කියල මට හිතෙන්නෙ. ඒ නිසාම වෙන මිනිහෙක් තමන්ට වඩා ආතල් එකේ ඉන්නවය කියන අදහස මිනිස්සුන්ට දැණෙනවා. මොකක්ද මූ ගන්න ආතල් එක කියල දැනගන්න තියෙන කුතුහලය තමයි අනුන්ගෙ ජීවිත වල දේවල් කියවන්න මිනිස්සුන්ව පොළඹවන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඇත්තටම එකඟ වෙන්න පුලුවන් කාරණාවක්.. කුතුහලය නිසා තමා මිනිස්සු ගොඩක් දේවල් හොයන්නෙ බලන්නෙ..
      ස්තූතියි අදහසට...

      Delete
  21. නිර්මාණකරුවා සිය හැකියාවේ ගුණ අගුණ වටහා ගන්නේ ලැබෙන ප්‍රතිචාර හා සමගාමීවයි. එහිදී නිර්මාණ ඒකාකරීත්වයක් ගැනීම දැකිය හැකියි. ගොඩ නඟා ගත් යම් අනන්‍යතාවයක් වේ නම් නිර්මාණකරු එයට ඇලුම් කිරීම ස්වභාවිකයි. එහිදී රචකයා හා නිර්මාණය පාඨකයා විසින් වෙන් වෙන්ව හඳුනා ගත්තද නිර්මාණකරු මේ යැයි සීමාසහිත හඳුනාගැනීමක් ඇති වෙනවා. මෙය බොහෝ විට පර්යෙෂණාත්මක නිර්මාණයකට යෙදීමට රචකයා තුළ ඇති උනන්දුව අඩු කරනවා. යටකී සීමාවෙන් ඔබ්බට යාමට රචකයා නිර්ලෝභී විය යුතු අතරම ඒ සඳහා රචකයා දිරිමත් කිරීම පාඨකයගෙ යුතුකමක්.
    මෙවන් සංවාදයකට ඔබේ මුලපිරීම ඉතාමත් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබගේ අදහසට..

      Delete
  22. පෝස්ට් එක ඇරෙන්න කමෙන්ටු ටික කියවන්න නම් වෙලාවක් ලැබුනෙ නෑ.. පස්සෙ කියවනව...

    කියල තියෙන කතාව ඇත්ත.. ගොඩක් වෙලාවට තමන්ගෙ මතයක් නොවන දෙයක් ලිව්වහම ඒක නිර්මාණ කරුවට ආදේශ කරනව... මමත් කරල තියෙනව.. ඒත් ඒක හරහ නිර්මාණය දිහා බුද්ධිමත්ව බැලීමක් කරල නෑ, පාඨකයො බුද්ධිමත් නෑ කියන්න පුළුවන්ද... වැඩිය මොකුත් වෙලා නෑ.. කමෙන්ට් ටිකත් බලලම ඉතුරු ටික දාන්නම්..

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට වඩා වැඩි දෙයක් ‍තියනවා කොමෙන්ට් වල...ස්තූතියි අදහස් දැක්වීමට.......

      Delete
  23. කළු පාට නිසා කිසිම දෙයක් පැහැදිලිව පෙන්නේ නෑ. මගේ ඇස්වල දෝෂයක්ද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  24. ඇත්ත, මාත් හරිම අමාරුවෙන් කියෙව්වේ

    ReplyDelete
  25. මන් හිතන්නේ අපි කියවන නිර්මානයක් ඇත්තට සිද්ද වෙච්ච දෙයක් නම් අපි ඒකට වැඩියෙන් කැමති වෙනවා කියලා. බ්ලොග් වලට වඩා නවකාතා පොතක් බලනකොට අපි ඒකේ වෙන ඒවා මවා ගන්නවා ඒත්කොට ඒක මායාවක් කියලා නෙමෙයි හිතන්නේ ඇත්තටම වෙන දෙයක් කියලා.

    මැදකදි කියවපු ගිරග සසල විය පොත කියවලා ඇත්තටම මාව සසල උනා . ඒක ඇත්තටම උන දෙයක් කියලයි මට දැනුනේ. සුනේත්‍රාගේ ප්‍රේම පුරාණය කියවලා අපෝ සුනේත්‍රා නම් මාරයි කියලා හිතිලා තියෙනවා.

    නිර්මාණයක් මට නම් නිර්මාණයකරපු කෙනාගෙන් ගලවගෙන බලන්න නම් බැහැ

    ReplyDelete
  26. පසා සාස්තර කියන ක්‍රම ගානක් තියෙනවා..එකක් ඒ සාස්තරයට අදාල කෙනා ආරූඩ වෙලා සාස්තර කියෙනවා..අනික හනුම වගේ ඩයල් එකක් යවල හෙලිකොෆ්ටර් වීව් එකක් ඒ කිව්වෙ සිද්දිය බලාගන එනව....අනික ඒ සාස්තර කාරය ආපු එකාගෙන් පස්න අහනව...
    කතාන්දර ගොඩනැගීමේදී මේ වීව් කීපයෙන් පොපියුලර් වෙන්නෙ කැරක්ටර් එකකට ආරූඩ වීම..නමුත් ඒ තුල දකින්න පුලුවන් සීමාව අඩුයි...
    මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක් වන බස් ජැක් ගමු..එතනදි දෙන්නෙක් ඒ සිද්දියෙ ඉන්නව නම්...අපි ස්වයං චරිතය විස්තර කරන එනම් චරිතයේ අාරූඩ වෙලා ඉන්න විදියට ඒ සිද්දිය ලියනවනම් එක්කො අපි අර ගෑනු කෙනා වෙන්න ඕනි නැත්තං පිරිමිය වෙන්න ඕනි...
    අපි පිරිමියගෙ පැත්තෙන් ලිව්වොත් අර කාන්තාව වලියක් දාගන්නවත් පණ කෙන්දක් නැති තරමට දවස තිස්සෙ කන්තෝරුවෙ මහන්සි වෙලා ඔය කරගන්න දෙයක් කරගනින් කියල ඉන්න ගෑනිව අමතක කරල ලියන්න වෙනව...
    ඔය උඩින් හරි පිටින් හරි බලන තියරි එක භාවිතය අඩුයි...භාවිතා කරත් ඒ ද්‍රව්‍යයමය අවශ්‍යතා සඳහා විතරයි..කාර් එකක් තිබුනා..කාක්කෙක් හිටියා..මදුරුවෙක් කෑවා..කියන දේට වඩා අවට වෙන දේ ස්කෑන් කරන්න නම් ටිකක් දියුනු කරගත්ත ලේඛන හැකියාවක් අවැසි වෙනවා...
    සිද්ධින් විශ්ලේෂණය මනො ්විශ්ලේෂණය තමුන්ට පෙර ජනප්‍රිය කතාකාර ලියෝ තෝල්ස්තෝයි වැන්නන් විසින් කර ඇති බව සිග්මන් ෆොයිඩ් මහත්තයත් කියල තිබුන..වෙලාවක..

    ReplyDelete
  27. ඔයා කියන එක මම පිලිගන්නවා.මේ ඇත දැකීමට අපි හැමෝම මුණ දෙනවා.කොටින්ම කිව්වොත් මම බොරු නමකින් බොරු ප්‍රොෆයිල් එකකින් ඉන්නේ ඔය හේතුව නිසා.අපි ලියන ඒවා කියවන අය ඒ හැම දේම අපේ ජීවිතටයට සම්බන්ද කරනවා.මම හිතන්නේ මේක ඉස්සර කාලේ ඉඳල සිද්ද උනා.මිනිස්සු ආසයි බොරුව රියලටි. වෙනවට එකෙන් ලොකු වින්දනයක් ලැබෙනවා.බොරුවක් උනත් අත්තක් කියලා හිතන්න කියවන අය කැමතියි.හැබැයි සාහිත්‍ය කියංනෙඅ.පරිකල්පනයත් සැබෑවත් අතර තියෙන දෙයක් නිසා මේ ගැන මොනාත් කියන්න බෑ..

    ප.ලි. මේ බ්ලොග් එකේ කලර් එක කළු නැතුව වෙන් පාටකින් දාන පුළුවන් නම් කොයි තරම් හොඳද..ඇස් දෙකට ගොඩක් අපහසුයි. මේ කමෙන්ට් කියවන්න වටින වැදගත් ඒවා උනත් කියවන්න බෑ ඇස් රිදෙනවා.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget