Sunday, November 28, 2010

මගුලක කතන්දරක් දෙවනි කොටස..හනිමුන් යාම....

එතන වෙන වින්නැහිය බලං ඉන්න බැරි තැන මං ඉතින් එක දෙක තුන කරලා දාගත්ත නන් මතකයි කියමුකෝ... ඕං ටික වෙලාවක් යද්දි ‍එකෙක් දනිපනි ගගා දුවගෙන ඇවිත් මගේ කණ ඉස්සරහ කෑගහපි කිව්වලු..

යකෝ........
මං උඩගිහින් වැදුනා සිවිලිමේ හතරැස් මුල්ලේ..ඊට පස්සේ ඒ සී එකේ හුලගට ගිහින් ඇදගෙන වැටුනා බාර් එකේ මේසෙ උඩට..මල මගුලයි..බෝතලේ කටේ..අරූ ආයෙත් දුවගෙන ආවා..

බිව්ව ඇති යකෝ..
යකෝ මේ බොනව නෙමේ බොතලේ කටට වැටුනා.......... කොට්ටෝරුවා...
ඇයි හත්දෙයියනේ මුන්ගේ කටේ සද්ද අහන් ඉන්න පුලුවන්ද..
දැන් මොකද තෝ උලම වගේ බෙරිහන් දුන්නේ...
අන්න මනමාලය පිටත් වෙනවලු
ඉතින් මට මොකෝ..
යකෝ උඹනේ කාර් එක ගෙනියන්නේ
හුටා..මල මගුලයි කිව්වලු..
මං කාලත් නෑ බොල
හිටු..

මෙන්න අන්න අරූ හුරේ රන්එක..පැන්න මනමාලිගෙ ආච්චි ඉස්සරහට..වැදුනා මුගෙ ඇගේ..විජ්ජුම්බරයයි..අරූගේ දත් සෙට් එක කටින් එළියට පැනල..මං දුවගෙන ගියා බලන්න..හත්ඉලව්වයි..අර ආච්චියේ දත්සෙට් එක මුගෙ කටේ..ඒකෙත් දතක් අඩුයි...දැන් හොයපංකෝ අඩු දත.. ඕං අර ආච්චි හිනා වෙනවා කටේ තනි දතකුත් තියාගෙන...මං බැලුව ඒ මොකද කියලා..බැලින්නං ඒ ආච්චිගේ උපන් දතලු..අම්මටහුඩු උපන්දත කෙසේ වෙතත් ඒ අර දත් සෙට් එකේ අඩු දතනේ....මේක කිව්ව ගමන් අරූ ඇද්දේ නැතෑ දත..දත අතේ..දැන් ආච්චිට දත කටෙත් නෑ දත් සෙට් එකෙත් නෑ..හලේ මට බෑ ඒ විකාරේ බලං ඉන්න..ආච්චිත් වැලහින්න වගේ අඩනවා..දත නෑ කියලා...අරූ කියනවා

ආච්චි අපි මේ දත ලේනට විසික් කරමු..එතකොට අලුත් දතක් හම්බවෙයි කියලා...
යකෝ හිපාටුවෝ..ඕක කිරි දතක්ද ලේන ආපහු ගෙනත් දෙන්න....
බං අපි ආච්චිව ෂේප් කරගම්මු බං එහෙම හරි කියලා..බලපං අර ලමිස්සි වගේ ‍අඩනහැටි..
මුටත් හිත ගිහින්ද මන්දා..මට බෑ ඔව්ව බලං ඉන්න...මං ගියා කන්න කියලා... ‍
දැන් කෑම දීලා ඉවරයිලු..
මල හත්තිලව්වයි දන්සලකට ආවා වගේනේ...
දැන් එතකොට කන්න මුකුත් නැද්ද..
නෑ
දැන් ඉතින් අහවල් දෙකක් කරන්නද..මේසේ ලස්සනට ගහල තිබ්බ අනමාලු ගෙඩි දෙකක් කඩාගෙන ආවා මගදි කන්න කියලා..කෑම පිගානකට හෙන ගනන් දීලා..මං ආනමාලු ගෙඩි ‍දෙකක් කාලා තරු තියන හොටලයක දවල් කෑමක් ඉවර කලා...හලේ..මට බෑ අප්පා....
ගියා ජෝඩුව ලගට..මේන්න වැඩක්..මනමාලි පොළවේ පස් කනවා..මූනේ වැලි එකයි..පාපිස්ස ලෙවකනවා..එක විකාරයයි...
මං පොඩ්ඩක් බැලුවා සීන් එක...මනමාලය ලගට කිට්ටු කරා
මොකද මචං සීන් එක..
දාල එන්න බෑලු බං අම්මලව..
යකෝ...දැන් ඒකිම නේද තොට වද දුන්නේ බඳිමු කියලා..දැන් මගුලක්ද කියන්නේ...
දන්නෑ බං..තව ටිකක් බලල එන්න බැරි නන් අපි යමු නේද...
ඔවු බං..බලෙන් ගිනියන්න බෑනේ..අපි යමු..එයාට පස්සේ එන්න කියමු..
අරූමට රහසින් කියපි.
මචං මනමාලි එන එකක් නෑ..උඹ බොතලයක් කාර් එකට දාගනින් අපි දෙන්න සෙට් වෙමු කියලා..

හප්පා..ඉතින් මක්කොරන්නද..මං ගියා බොතලයක් අරන් එන්න..විනාඩි 5ක් යන්නැති..
මේක හරි කෙළියක්නේ යකෝ..මේන් මනමාලි හිනාවෙනවා පැලෙන්න..අරූ මගේ අතේ තිබ්බ බෝතලේ දිහා බලාගෙන ‍හූල්ලනවා..මට දුකේ බෑ..ඌගෙ කදුලු කැට සට සට ගාලා වැටෙනවා..මං ගිහින් ඇහැව්වා
මොකෝ බං සීන් එක..උඹ මොකක් හරි කිව්වද බං....
නෑ බං මේකි ආයෙත් මාව රවට්ටලා.. ඒ ෆොටෝ වලට ඕනි නිසාලු බං ඇඬුවේ...
අනේ මට දුකේ බෑ අප්පා..මනමාලයා හොටු පෙරාගෙන බෝතලේ දිහා බලාගෙන අඩනවා...මටනන් බෑ අප්පා බඳින්න...

හ්ම්ම්ම්ම්..දැන් ඉතින් කට්ටියට නැග්ගයි කියමුකෝ කාර් එකට‍..එකා එකා මල් වලින් ගහද්දි සට සට ගාලා මල් වැටෙනවා කාර් එකට..හීරිලා ඇති අම්බානක්...ජෝඩුවත් එක්ක තරහටද මන්දා මල් වලින් ගහන්නේ..සමහර උන් කාර් එක පස්සේ දුවගෙන ඇවිත් දඩෝං ගාලා කෙලිනවා මලකින්..කාර් එක හීරිලා යනවා..හප්පේ උන්ගේ උතුරා යන සන්තෝෂෙ වෙන්ටැයැ කියලා අපිත් හිත හදාගත්තා...
දැන් ඉතින් ප්‍රේම ගීයකුත් දාගත්තා කාර් එකේ..මොනව උනත් විරහ ගී ගයන්න පුලුවනැ..යනවා හැටට හැටේ..දැන් යන්නේ කොහෙද දන්නෙත් නෑ අරූ දීපු ඇඩ්‍රැස් එකකට යනවා මාත්..ටිකකින් බැලුවා දෙන්න මොකද සද්ද නැත්තේ කියලා..දැන්ම නැකතට වැඩ අල්ලද දන්නෑනේ..හලේ මට ලැජ්ජයි අප්පා..මට බෑ අප්පා මෙව්වා බලන් ජීවත් වෙන්න..

මේන් මුන් දෙන්න මල මිනි දෙක වගේ බුදි..කුණුකෙළ පෙරාගෙන බුදි..මනමාලිගෙ මල් පොකුර අරූගේ කටේ හිරවෙලා ඌට හුස්ම ගන්නත් බෑ..ඒක අරන් දාන්න හදලත් පවුල් ප්‍රශන්යක් වෙයි කියලා නිකං හිටියා..මොනව උනත් මනමාලිගේ මල් පොකුරනේ..ඒක ඌගෙ කොහෙ තිබ්බත් මයෙ මොකෝ නේ..මට බෑ අප්පා මෙහෙම යන්න..මක්කක් කොරන්නද ජෝඩුව ගොරවනවා අම්බානක්..හරියට සිංදුවට බේස් එක ගහනවා වගේ..හප්පා..ඒකෙත් අමුත්ම තාලයක් නොවැ තියෙන්නේ...

දැන් යනවා කිතුල් ගල පැත්තට..හප්පා පට්ට කැලයක්නේ...ගල් මුල් උඩින් යන්න තියෙන්නේ..මං බැලුවා මනමාලය දිහා..
මචං..පාර හරිද....
දන්නෑ බං ඇඩ්‍රැස් එක හරි නන් පළ.. .......

අරූ හීනෙන්ද මන්ද කිව්වා..මාත් ඉතින් මොනව කරන්නද..ඔය යන්නේ..කූඩැල්ලෝ චිරි චිරි ගාලා රෝදෙට යටවෙලා යනවා...එක රෝදයක් අඩි තුනක් උස මුලක් උඩින් දාද්දි අනික අඩි හතරක් උස මුලක් හොයාගෙන..එහෙන් ගල් විමානේ..පාරට දාන්න ගෙනාපුවද මන්දා හැම ජා‍ති‍යකම ගල් පාර මැද්දේ..මැණික් විතරයි නැත්තේ..ඒවත් තියනවද මන්දා..යකෝ හනිමුන් කියලා මෙහෙම කැලයක් අස්සේ රිංගන්න ඕනිද.. යකෝ සිංහයෝ කොටිත් ඇති මේ කැලේ අස්සේ...දෙයියනේ දෙන්නෙක් කසාඳ බැන්දට පස්සෙන් හනිමූන් යන්න ඔය තරන් කැලේ රිංගන්න ඕනිද අප්පා..මේක නන් පුදුම ලෝකයක්නේ..
ඔං නැවැත්තුවා කියහංකෝ හෝටලේ....මුන් දෙන්න බහින්නෑ කාර් එකෙන්..තාම නිදි..මොනව කරලවත් නැගිටින්නෑ..මට පට්ට බඩගිනි..
කථා කරා වේටර් කොලුවෙකුට..අහ ගත්තා බුෆේ එක තියන තැන..මේක ගස් අස්සේ මහ මූකලානේ තිබ්බට ‍ලොකු හෝටලයක්ලු..ඔය සුද්දොත් එනවයි කියන්නේ..හප්පා ඌගේ වර්නනාව..හරියට නිකං මුලු හෝටලේම ඌගේ වගේ..මාත් ඉතින් බඩගින්න වැඩි කමට අර දැන් හුඹහින් ඇදල ගත්ත එකෙක් වගේ පස්සෙන් ආවා.මල හත්තිලව්වවයි බුෆේ එක...
පිට්ටු..
පොල්කිරි
‍කෙසෙල්මුව
දඹල..
ගොටුකොළ.
නෙලුම් අල
ආහ්..තව තිබ්බා කුරහන් තලපයි මුං ඇට හොද්දකුයි...
මං ඇහැව වේර් මල්ලිගෙන් මෙව්වද කන්න තියෙන්නේ කියලා..එ‍තකොට ඌ කියපි අද ශ්‍රී ලංකන් මෙනු එකලු..ඇයි හත්තිලව්වේ මොන මගුල උනත් මෙව්ව කන්න පුලුවන්ද මිනිහෙකුට..මට බෑ අප්පා මෙහෙම ඉන්න..මං ගියා ජෝඩුවට කියලා ගෙදර යන්න හිතාගෙන උන්ගේ කාමරේට...බයෙන් බයෙන් ගියා මොන ජල්ලියක් අල්ලද දන්නෑනේ..අනේ මේ මුන් දෙන්නා දොර මුල්ලේ දපල දාලා දොයි...අර රෝසමල් පෙති විසිකරපු ඇද එහෙම්මමයි..මුන් දෙන්නා අර පාපිස්සක් උඩ නිදි..මට දුකේ බෑ..මුන්ට කථා කරල වැඩකුත් නැති නිසා උන්ගේම ෆෝන් වල උදේ තුනට එලාර්ම් තියලා මං ආවා..ඒ වෙලාවටවත් නැගිටල අර රෝසමල් පෙත්තක් කන්නැතෑ කියලා..
කාර් එකේ බෝතලේ තනිවෙලා..ආපහු එනගමන් මුලක් උඩ නවත්තලා කූඩැල්ලෝ ටිකක් තනියට ව‍ටකරගෙන ඒකත් හිස් කරන්න ගත්තා.....

Sunday, November 21, 2010

මගුලක කතන්දරක්........

උදේ මහ පාන්දර 10ට විතර ‍‍දුරකථනය නාද වෙද්දි මං මං බැලුව මේ මොකාද කියලා..තාම බිං කරුවල ගිහිනුත් නෑ.අනේ දෙයියනේ මිනිහෙකුට නැගිටින්න පුලුවන් වෙලාවක්ද ඒක.. බැලින්නං මේ හෙට බඳින මනමාලය කියහන්කෝ..

ඇයි මචං..

වරෙන්කෝ අපේ ගෙදරට....

මොනව උනත් ඌගෙ අන්තිම දවස් ටිකනේ..මගේ හිතත් උණු වෙලා වැක්කෙරෙනවා.හිමිදිරි පාන්දර හින්දා කුකුල කෑගහන්නැත්තේ මොකද බැලුවම උන්ටත් රෑ නින්ද ගිහින් නෑ..උනුත් මේ වෙලාවේ කෑම හොයන්න ගිහින්ලු..උන්ටත් පිස්සුද මන්දා මේ උදේ පාන්දර කෑම හොයන්න යන්න..

මොනව උනත් එහෙ ගිහින් ආපහු එන්න කියලයැ..මාත් ඉතින් ගියා මගුලට ලෑස්ති වෙන්න..කොන්ඩෙ කපන්න ගිහින් ඉදගෙන ඉද්දි.. ආවා බාබර් බුවා....

මහත්තය මොකද වෙන්න ඕනි..

කොන්ඩෙ කපන්න කියලා..වෙඩිමක් තියනවා නියමට තියෙන් ඕනි හරිද?? කලින්ම කියල තියන්න ඕනි නිසා ඕං ඒකත් කියලම මං ඉදගත්ත කියමුකෝ..

දැන් මූ කොන්ඩේ කපනවා..සිංදුවකුත් යනවා.මට නින්දත් යනවා..පාන්දර 11 ට විතර ඇති ඒ වෙලාව. ඇහැරල බැලුමට මට පේ‍නවා මූ මගේ කොන්ඩෙට කෙළල කියලා..කුකුල් කරමලය වගේ.මෙලෝ රහක් නෑ..කොන්ඩේ මූ කෑවනන් ඊට හොදයි.මං ඉතින් මැරෙන්නද..හප්පා ඌගෙ මූණෙ හිනාව..

දැන් හරි නේද... (ඇයි මූ වැරදි නන් කොන්ඩේ හිටවන්නද)

මේ ඔය ඉතුරු කරපු ටිකත් කපනවා.. වෙන කියන්න දෙයක් නැති නිසා මං ආයෙත් ඇස් දෙක පියං හිටියා.

ඊට පස්සේ ගම්පහට යන්න හිතාගෙන ගියා ඉස්ටේෂමට..නැග්ගා කෝච්චියක..මල මගුලයි..ඒකේ ඩ්‍රැයිවර් මාමාට කණ්නාඩි දෙක ගේන්න අමතක වෙලාලු.ඒක පස් කන්ඩියක් දැක්කත් නවත්තනවා ඉස්ටේෂමක් කියලා..
ඒ කෙලියත් කරලා දිව්වයි කියමුකෝ ගම්පහට..ඒකත් හරි..දෙන්නත් එක්ක ගියා නුවර..කිසි කථාවක් නෑ..අරූ නිකං මල ගෙදරක යනවා වගේ මං තනියෙන් ඔහේ කියවනවා..

දැන් කොහෙටද බං යන්නේ..

නැටුම් පුරුදු වෙන්න යනවා බං..

හුටා..මූ දෙකක් දා ගත්තම කොහොමත් නටන එකා..දැන් පුරුදු වෙන්නත් ඕනිලු..හයියෝ..මටත් මෙව්ව බලන්න උනානේ..මාත් ඉතින් ඔන්න ඉද ගත්තා පුටුවක..දැන් දෙන්නා හුරේ එකට නටනවා..
එකපාරට ගුරුතුමී අක්කා හැරුනා මෙහෙ එන්න ඔයා..අපි නටල පෙන්නපු මේ දෙන්නට..

හත්දෙයියනේ මං ජීවිතේට නටපු එකෙක්යැ..ලැජ්ජාව උතුරලයනවා..විලිබිය එහෙන්..තව මොනවද මන්දා ඔක්කොම එකපාර වැක්කෙරෙන්න ගත්තා..මැරෙන්නයැ ඉතින්..ඔන්න නට නට ඉද්දි හෙට මනමාලය කෑගහන්න ගත්තා..

මචං..
ඇයි..
මට හෙට අඳින්න ඇදුමක් නෑ.
ඇයි හෙට මොකක්ද තියෙන්නේ
යකෝ මං බඳනවා..මට අඳින්න කොට් එකක් නෑ.....

හුටා..
ඇයි නිළමේ..
ඒ උදේට..දැන් යමු ගිහින් එකක් ගේමු බං...

මොන නැටිලිද ගියා කෝට් බෑයක් හොයන්න...ඒකත් හෙව්වයි කියමුකෝ..ආයෙත් මුන් දෙන්න නටපි..මගේ කකුල අර ගුරුතුමිය පාගලම මට එපා වෙලා..ආයෙත් පෑගුවොත් කියලා දෙන්න ඇඩ්‍රැස් එක කලින්ම ලියල තියා ගත්තා..නැත්තං ඒකත් මල මගුලයිනේ.

යන්තං රෑ එකට විතර ඔය කෙළි කරල ගියා නිදා ගන්න කියලා..කොහෙද

මචං..
ඇයි බං...
හෙට කෙල්ලව අන්දන තැනට ගිහින් දාලා උඹ ඒකිත් එක්කම හොටෙලේට වරෙන්..
හා..කීයටද බං..
‍2.30ට පළයන්..
හා..
යන්තං පැයක් විතර නිදා ගන්න ඇස් දෙක පියා ගත්ත විතරයි..ඇහෙනවා හීන් කෙඳිරියක්..මං බැලුව මේ මොකාද කියලා..බැලින්නං මනමාලයා..

ඇයි බං
මං හෙට බඳිනවා නේ බං
ඔවු බං..ඉතින්..
හෙටින් පස්සේ බොන්න බැරි වෙයි නේ බං..
මං දන්නෑ බං..මං බැඳල නෑනේ..
අනේ චුට්ටක් බොන්න දීපංකෝ..
හුටා..කඳුලුකැට සට සට ගාලා වැටෙනවා..බිම තෙමිල වතුර එකයි..මගේ හිත උණූ වෙලා ගිහින් කඳලු වතුරේ දිය වෙලා යනවා..බලන් ඉන්න බෑ අප්පා..මං දුවල ගිහින් ගෙනාවා මගුලට අරන් තියපු බෝතලයක්..

හප්පා උගේ මූණේ තිබ්බ සතුට..සෝමාලියාවට කෑම අරන් දුන්නා වගේ..එක හුස්මට කෙලියා.මටත් පුලුවනැ මෙව්වා බලං ඉන්න..හප්පා...
ඒ සංග්‍රහයත් ඉවර වෙලා වෙලාව බලපි..කෙළියා..මහ රෑ 2යි..දැන් පලකෝ කෙල්ලව මනමාලි කරන්න..
ඔන්න ඒ කෙල්ලවත් අරන් මනමාලි කරන්න දීලා..එන්න හදද්දි කියපිය තම මල් කුමාරියෝ දෙන්නෙකුත් ගෙනෙන් කියලා..ඕං ඒකත් අරන් ගිහින් දීලා....මං ආවා සුට්ටක් දොයිය පාරක් දාන්න..

ගියා ආයෙත් හෝටලයට.එතන එක විකාරයයි..මනමාලය පොළවෙ පස් කනවා.වැලි මූනේ හැම තැනම..නිළමේ ඔටුන්න ලග තිබ්බ පේර ගහ උඩ. ඌ පැනල මනමාලිට ගහන්න යනවා.වටේ උන් මනමාලයම අල්ලගෙන..හරියට නාට්‍යයක් වගේ..මං ගියා වීරය වගේ..හුටා..මූ ඇද්ද නැද්ද නිළමෙගේ පිහිය මට අනින්න.. ඒක ඇද්ද ගමන් යාර 36ම බිම..ඌ දැන් යට සාය පිටින්..මං නැග්ගා තාප්පේ උඩට..

හති අරින ගමන් අහපි

මොකෝ සීන් එක..

මනමාලි මාරු කරලලු..මේ ඉන්නේ මුගෙ කෙල්ල නෙමේලු..

මල හත්තිලව්වයි එහෙම වෙන්නේ කොහොමද.මංනේ එක්කං ගියේ..එහෙන් මනමාලය දඟලනවා වැඩී කියලා ඌව යට සාය පිටින් ගස් බැඳලා...වැලහින්නක් වගේ ඌ අඩනවා..

මං ගියා මනමාලි ලගට..
මොකෝ සීන් එක..ඔයා මාරු උනාද..
නෑ නෑ..මං එයා තමයි..

වොයිස් එක නන් හරි..ඒත් හමේ පාට තමයි අවුල..අර පොට්ට පාට කෙල්ල රානි මුඛර්ජී වගේ..මටත් ෂුවර් නෑ..ඕනි ගිනිගෙඩියක් වෙන්න මනමාලිගේ අම්ම ලගට ගියා..

මේන් වැඩක්..එයත් අඩනවා හොටු පෙරාගෙන..
ඇයි ඇන්ටි..මේ ඔයාගෙ දුව නෙමේද..
නෑ නෑ වෙන්න බෑ..අවුරුදු 25ක් තිස්සේ හදපු දුව මෙයා නෙමේ..එයාගේ පාට වෙනස්..මගේ දුවට කවුරු ගරි ගුරුකමක් කරල කියලා ඇන්ටි කියපි..

දැන් මොකද කරන්නේ..මටත් දැන් ෂුවර් නෑ..ගියා වේටර් මල්ලි කෙනෙක් ලගට..එයාලා වට්ටක්කා ගෙඩියේ කැටයම් කපන පිහියක් ඉල්ල ගත්තා.. ගියා මනමාලි ලගට.. කැපුවා කම්මුලේ හතරැස් කොටුවක්..සෙන්ටි මීටර් 12ක් විතර ගැඹුරට යනකං හෑරුවා..හප්පා.....දැනුන සතුට..යන්තං පවුඩර් තට්ටුව ඉවර උනා.. ඈතින් පේනවා හරි පාට..පුදුම සතුටුයි..බැලුවා මනමාලය දිහා..ඌ තාමත් ගහේ බැඳලා..

හප්පේ ටෝච් එකක් ගහල අර කම්මුලේ හදපු වල ඇතුලෙන් පාට පෙන්නලා යන්තං ඌව ෂේප් කරගත්තා.දැන් ඉතින් වහපන්කෝ අර වල..මොකෝ මං ගාව පවුඩර් තියනව කියලයැ..ගියා කෑම මේසේ ලගට..ගත්තා තම්බපු බිත්තර කහ මදයක්..ඇනුවා බටර් එක්ක..හදපු තලපේ ගෑවා මුණේ වල වැහෙන්න..කොහොමද ටිකිරි මොලේ.. හරි ඒ මගුලත් හරි..මැස්සෝ වහන ගත්ත එක තමයි අවුල.මොනව කරන්නද මල් ‍පොකුරෙ තිබ්බ සුදු රෝස මලක් ගැහැවා ඒ වහපු වලේ..දැන් නිකං මල් නැන්දා වගේ..මනමාලි එක විකාරයයි.මල් හතර අතේ..අරූත් ආයෙත් යාර 36 ඇදගෙන ආපි.මට බෑ තවත් මෙව්ව බලං ඉන්න..

ඈත කොනක තිබ්බ පුටුවක් උඩ ඉදගෙහ හිස් වෙච්ච වීදුරුවකට මොනවද දාගෙන ඉවර කරන්න හදද්දී මට ඈතින් ඇහුනා කෙල්ලෝ දෙන්නෙක් කථා වෙනවා

බලපංකෝ මනමාලි දිහා..අලුත් පැටර්න් එකක් නේද..මාත් මගේ වෙඩින් එකට මෙහෙම අඳිනවා..

හලේ.මං කොහොමද මෙව්ව අහගෙන සිහියෙන් ඉන්නේ...එක හුස්මට හිස් කරා මුලු වීදුරුවම.

Saturday, November 13, 2010

උඹ ආයෙත් ආවද....


"අයියෝ..අදත් වහිනවනේ............."

"මොන මගුලක්ද මන්දා..හැමදාම හවස් වෙද්දි වහිනවා...."

"අද සෙට් වෙමුද..."

"බෑ බං..අද කලින් යන්න ඕනි.."

"යකෝ අපිනෙ බැඳපු උන්..උඹ මොකටද කලින් යන්නේ..."

"අද යන්න ඕනි බං..අද සෙට් වෙන්න බෑ.."

"පිස්සු කෙලින්න එපා බං..අද සිකරාදානේ.."

"හ්ම්ම්ම්..හරි...රෑ වෙනං බෑ.කලින් යන්න ඕනි..."

"හරි..අඩෝ සුදා..වරෙන් වලට යමු.. දිසා ටත් කියපං එන්න කියලා.."

මගේ කරවට අත දමාගත් මිතුරාත් සමග කාර්යාලය ඉදිරියේ ඇති අවන්හල වෙත යාමට පිය නැගිමී..අද දින මෙවැන්නක් කිරීමට සිතා නොසිටිය මුත් මිතුරාගේ බලවත් පෙරැත්ත මත ඇදී ගියද සිත තුල සක්මන් කරන අපුල භාවය වසා ගන්නට මා සිතත් සමග පොර බඳන්නට විය.

ඝන අදුර වසන්නට දල්වන ලද කුඩා විදුලි පහන් එළිය එම අදුර පලවා හරින්නට මෙන් ලා තැඹිලිවන් එළියක් විහිදුවන්නට විය.මා නෙත් විහිදා බැලිමි..නුපුරුදු තැනක් නොවුවද අද හිතතුල ඇති හැගීමෙන් ‍මා දුටු දසන් සිත කලකිරවන්නක් විය.හමා එන සැර සුවඳ නහය රිදවන විට මා වට නෙත් යොමමින් ‍හිඳගතිමි.

"මචං..මොනවද බොන්නේ..."

"හ්ම්ම්ම්ම්ම..ඕනි දෙයක් ගනින්..මට නන් ගන්න එපා..මං යන්න ඕනි කලින්........"

"මොනවද බං..ආපු ගමන් යන්න හදන්නේ..."

"හරි හරි...උඹල සෙට් වෙයන්..මං යන්නං...අවුලක් නෑනේ........"

මෙම අවන්හලතුල මා පෙර පැමිණ තිබුනද මෙතරම් අලසව ගෙවු දිනයක් මතකයට ගැනීමට පවා මට නොහැකි විය..වේලාව සවස හතෙ ඔරලෝසුව තුල සටහන් වෙද්දී මා යන්නට මිතුරන්ට සමුදීමි..

මහමගට පැමිණියද නිවසට යාමට තරම් ප්‍රියත්වයක් සිතතුල නොමැත..ආගන්තුක හැගීම් සමූහයක එකතුවක් ලෙසින් සිත රෝගාතුර වී ඇත.වැහි අදුර නිසාවෙන්දෝ වෙනදාටත් වඩා ඝන අදුරක් පතිර ගොසිනි..අහස උසට නැගි තට්ටු ගොඩනැගිලි සමූහයක් මැද මා අතරමං වී ඇති බවක් දැනීමෙන් මා අවට බැලීමි..කහවන් ආලෝකය මැද්දෙන් බිම පතිත වෙන වැහි බිංදු රන්වන් පැහැයෙන් දිලිසෙමෙන් නේක රටා මවන්නට විය.නිවසට යා යුතුය.මා සෙමෙන් පිට මනින්නට වීමි.

බිම යොමාගත් දෑස ඉහලට එස වූවේ මන්දැයි මම නොදනිමි..නමුත් මගේ නෙතු මානයේ සුන්දර යුවතියකි. මේ ඇයමද.මා නැවතත් හදවතින් විමසා බැලිමි.සිහින් වැහි බිඳු වලින් බේරිමට කුඩයක් යටට වී පෙර මග බලන මේ ඇයමද.මා ඇය අසලට ගියෙමි.

කථා කරන්නට අවැසි මුතු දෙතොලින් වචන පිට නොවෙයි.මා ඇය දෙස බලා සිටිමි..

"මොනවද ‍බලං ඉන්නේ....................."

ඒ ඇයමය..ඒ සුන්දර සිනහව එලෙසමය.කිසිදු වෙනසක් නැත.පෙර දින මා සමග දොඩමලු වූ මේ ඇයමය..මගේ පෙම පිළිනොගත්තද මා තවමත් නුඹට ආදරය කරන බව ඇය දනීදෝ දැයි මම නොදනිමි.ඒ නිල්වන් නෙතු සඟලත් නොනවතින කථාවත් එලෙසමය..ඇය සමග වරු ගනන් නොදෙවුද මා සිත ඇය කෙරෙහි ඇදී ගියේ ඇයි දැයි මා තවම නොදනිමි..ඇයගේ තුරුලේ නිදන්නට මා සිහින ‍මැව්වේ නැත..නමුතු ඇය මා තුරුලේ හොවා සනසන්නට ඒ මිහිර විදින්ට මා අපමණ සිහින අමුණා ඇත.ඒ සියල්ල දැන් යටගියාවක් වී හමාරය..එවන් වූ දෑ දැන් වැලලී ගොසිනි..ඒ මිහිරි අතීතය මා සිත වෙලා ගත්තද ඇයට අමිහිරි වූ එම දිනයන් දැන් වලදමා ඇති බව මා දනිමි.

"මොනවද අනේ බලන්නේ......"

"හ්ම්ම්ම්ම්..ලස්සන බැලුවේ........."

"මේ එන්න එපා ඕවට..මං කිව්වනේ..ඔයා තාමත් පොඩි ළමෙක් වගේනේ හැසිරෙන්නේ.."

මගේ සිත මටම දොස් නගන්නට විය.

"මං යන්නං දිනූ....."

"ඇයි යන්නේ.."

"හ්ම්ම්ම්ම්......රෑ වෙනවා..බස් නැතිවෙයි..මං යන්නං දැන්.."

"ඉන්න ටිකක්.."

"මොකටද..."

‍"මගේ බෝයි එයි කාර් එකේ..එකේම යමු.."

"බෑ දිනු..මං යන්නං..."

"ඇයි ඔයා මාත් එක්ක තරහද..මට හොද යාලුවෙක්ව නැති කරගන්න බෑ.."

"මං තරහ නෑ දිනූ..ඒත් යාලුවෙක් විදිහට ආදරය කරපු ඔයා දිහා බලන්න මට බෑ.."
දිග සුසුමක් හෙලූ මා යන්නට අදිටන් කර ගතමි.

"මං යනවා දිනූ.."

"ආයෙත් අපි හම්බවෙයි නෙ කවද හරි...නේද?..."

"හ්ම්ම්ම්ම්..ඒක නන් දන්නෑ..ඒත් මං පතන්නේ එහෙම වෙන්න එපා කියලා..."

නැවතත් ඇය දෙස බලන්නට සිත සවිය නැත.මා පියමනින්නට වීමි..අරමුණක් නැත..දෙපා ඔවුනට අවැසි ලෙස ගමනේ යෙදේ..මා අසරණ වී නැත..නමුත් මා තවමත් ඇයට ආදරය කරනුයේ මන්දැයි මා නොදනිමි..මේ සසර පුරා බැඳි වේදනාවක් දැයි අනේක වාරයක් මා සිතා ඇත.පියමනින්ට වීමි..අහස වසාගත් ගත් ගොඩනැගිලි අතරින් වැටෙන රන්වන් පැහැ වැහි බිංදු අතරින් පිය නැගිමි.

"අඩෝ..දිසා..අන්න අරූ ආයෙත් එනවා..." සුදාරක හඩ තලන්නට විය..

"මොකෝ බං ආපහු ආවේ.."

මා නිහඬය.සිතතුල දහසක් දේ කිවීමට ඇති මුත් අසන්නට කවුරුත් නැති බව දනිමි..‍මා මේ ලොව තනී වි ඇති බව වටහාගෙන ඇත..

"සුදාරක..මටත් වීදුරුවක් ගෙන්න කියපං...."

නිහැඩියාව විනාඩි කිහිපයකට රජ කෙරුවද..පෙර සිනහව නැවතත් පැතිරෙන්නට විය...

Thursday, November 11, 2010

මේ මගේ සිතද..සිතන්නට අවැසි නැත..

බෝඩින් කාමරය අසල ඇති පිහිඹියා ගස අතරනින් පොළව මත වැටුන මලහිරු එළියෙන් සිත්තම් උණ ඝන සෙවැනැලි මිදුල මත සිත්තම් අදින්නට විය.එය දෙස බලා සිටියෙමි.කාමරය තුලට යාමට සිතකු නොමැත..බංකුව මත හිද ගැනීමට සිතුවද වෙහෙසකර දිනක් නිසාවෙන් දෙපා රිදුම් දෙන්නට විය.අවුල් ගිය මනසකට සමානව අපිළිවෙල අරක්ගත් කාමරයතුල වෙහෙසකර බව තවත් වැඩිකරන්නක් විය.

"මල්ලී..මෙන්න ලියුමක් ඇවිත්."

බෝඩිමට හිමිකාරියක වන කවදත් සොයුරකුට මෙන් මෙන් සලකන අක්කාගේ කට හඩින් මනෝ ලෝකය බිදි ගියේය.අත් අකුරු ඇයගේමය..වෙවුලන දෑගිලි වලින් විවෘත කර බැලිමී..

දෙවියනේ..මෙය ඇයගේ මංගල ඇරයුම් පතයි..ඇයගේ සිහින ඉටු වී ඇත..පුටුව මත හිද ගත් බවක් මතක නැත..නමුදු මා පුටුව මත හිඳගෙන අවසානය..නැවතත් කියවා බැලීමි..මේ ඇයමය.පෙර දින මා සැනසු පපුතුරක හිමිකාරියයි.

ඇය ජීවිතය ජයගෙන ඇත..මා පැතු සියලු දේ තවම අතරමග නැවතී ඇත.රිදුම්දෙන ජීවිතය කරපින්නාගෙන තව බොහෝ දුර යා යුතුය.සහයට කවුරුත් නැති බව මා දනිමි.දරාගත නොහැකි සියුම් වේදනාවකින් මා හිත රිදුම් දෙන්නට විය..මා මිය ගියා නන් යැයි අනේක වාරයක් සිතා ඇත..මේසය මත හිස තබා ගත් මා අසල ඇති කොළයක් මත පැන්සලක් දුවවන්නට විය..මෙය මගේ සිතද..මා නැවතත් හෙට හිනැහෙයිද.සිතන්නට අවැසි නැත..මා දෙනෙත් පියා ගතිමි...

ජීවිතය
පැතුම් පොදි අත දරාගෙන
ඇත අනන්තය මත ඇදි
ලස්සන සිතුවමක් සොයා ගෙන
පිය නැගුවෙමි
පැතුම් පොදි කරපින්නා ගෙන
රන් තරු වලින් සරසා ගත්
නිල්වන් සේද ඇතිරූ පාවඩ මතින්
පියමං කෙරුවෙමි
අනන්තය තව බොහෝ දුර ඇත...
රිදුම් දෙන විඩාපත් පා යුග දෙස
නෙත් යොමා බැලිමී.........
පාවඩත් නැත..අදුරට එළියක් වූ රන් තරුත් නැත..
අනන්තය මත ඇදි සිතුවම එලෙසමය..
විඩා හරින්නට වීමී...
තව බොහෝ දුර යා යුතුය..
දෙපා වාරු නැත..තනිකමට හුන් නුඹද නැත...
නැවතත් නැගිට සිටීමට හැකි දැයි නොදනිමි..
දෙනෙත පියා ගතිමි වෙහෙස නිවන්නට..
දෙනෙත් යළි හිරු එළිය
දකින්නට පිං කර ඇති දැයි නොදනිමි

Sunday, November 7, 2010

එන්න වෙනසකට
















මල් වත්තකට පැන්නා
බඹරු මට ඇන්නා
මං ආපහු දිව්වා
මලේ බඹරුන් තාම ඉන්නා

මමයි වැරදි කෙරුවේ
අනුන්ගේ වත්තකට පැන්නේ
බඹරු මට ඇන්නේ
එහි දුක මමයි තව වින්දේ

මම යන්න යන්නේ
බඹරු තව නෑ දුකක් දන්නේ
කෙලෙස හෝ මං දන්නේ
බඹරු නැති මල් කොහෙද ඇත්තේ.........
.


Friday, November 5, 2010

ගීතයකට පිළිතුරක්.....

සුනිල් එදිරසිංහ මහතා විසින් ගායනා කරන ලද "කදුලු දෙන්න මට හඬන්න සත් සමුදුර ගොඩ ගලන්න" නැමැති ගීතයට මා විසින් ලියූ පිළිතුරු පදයක් තමා මේ..සිංදුවෙ පද බලන්න නන් මෙතනින් යන්නකෝ........:-D

කදුලු කුමට ​තව හඩන්න
නුඹ මගෙ තුරුලේ හිඳින්න
සුසුම් කුමට තව හෙලන්න
මද පවනක් වී හමනන්න

හිත උපන්න ආල වන්ත
කුමරිය නුඹ මගෙම වන්න
මගේ ලොවට නුඹ පමණයි
හිත තුල සක්මන් කරන්න

ලිහිනියනේ පියාඹන්න
මගෙ ආදරේ මට විදින්න
සදලු තලට නුඹ වඩින්න
නුඹෙ උකුලේ හිස තියන්න...........

Monday, November 1, 2010

එන්න යමු අපි අපේ වීලා...




සත් පියුම් මතින් හීන බලලා
පිණි පොදින් නුඹෙ දෙපා දොවලා
රන් හුයෙන් අපෙ දෑත් බැදලා
යන්න එනවද මගෙම වීලා

රන් තොරන් බැද වියන් සරසා
මල් පොකුරු නුඹෙ හිසේ ගවසා
සත් සියක් පිරිවරට කියලා
යන්න එනවද මගෙම කියලා

ගෙල වටට රන් මාල බැදලා
දෙසවන් මත රන් තෝඩු තබාලා
හිසේ ලස්සන තැල්ල බැදලා
එන්න යමු අපි අපේ වීලා

සීත මිහිදුම් රෑන් අතරින්
පාට විහිදුනු සිත්තමක විලසින්
නුඹව හිමිඋන සිතක් මෙලසින්
යදියි ප්‍රේමය නුඹෙන් එලෙසින්...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget