Wednesday, June 6, 2012

අදකාලෙ මිනිස්සු පටාචාරා කාලේ හිටියා නන්

අද කාලේ කේලං සිංහලෙන් කියන ගොසිප් කියන එව්වා පැතිරිලා යන විදිහට මේ වගේ අය පටාචාරා මහත්මියට ඇබැද්දිය වෙච්ච කාලෙ හිටියා නන් මොනවා වෙයිද කියලා මං මේ කල්පනා කරේ.. මටත් ඉතින් කල්පනා නොකර ඉන්නම බෑනේ..

දැන් ඔය පටචාරා මහත්මියට ඇබැද්දි ඔක්කොම වෙලා ගමට ආවම ගමේ ගෙදරත් පිච්චිලා ලුනේ.. ඉතින් තනිකඩ පිරිමි අය මග බලාන ඉන්නැති එක රැයක නවාතැන් පහසුකමක් දෙන්න..ඔය අතරේ අවංකව දුක හිතිච්චි එකෙක් පිරිමි එකෙක් (මොකද ගෑණියෙක්ගෙ කරදරයකදි ගෑණියෙක් පිහිට වෙන්නෑ.. තවත් වල කපන එකනේ කරන්නේ ) කතා කරලා ඔයා බුදු හාමුදුරුවො ලගට යන්න කියලා කියන්නැති.. ඒක දැකපු ගමේ මිනිස්සු කතා හදයි අන්න අරූ නන් ඒ ගෑණිටත් ටෝක් කරගත්තා.. ෂුවර් එකට අද රෑට ගෙදරට ගෙන්න ගනී කියලා.. ඒ මිනිහගෙ ගේ වටේට ගමේ මිනිස්සු රෑ වෙනකං වට වෙලා බලාගෙන ඉදී පටාචාරා ගෙදරට එනකං.. දැන් කාලෙ ඉන්න අයටත් ඕප දූපයක් නන් කන්න බොන්න නිදියන්න ඕනිම නෑනේ..

ඊලගට බුදු හාමුදුරුවො ලගට ගියා කියමුකෝ.. ඉතින් බුදු හාමුදුරුවො කියනවනේ කිසිම මිනිසෙකු නොමල ගෙයකින් අබ ටිකක් අරං එන්න කියලා. ඔන්න ඉතින් පටාචාර ලගම තියන ගමට යන්නැති..ගමට ගිහින් ඉස්සලම යන්නැති කඩේට.. මොකද කඩේ අබ තියනවා කියලා ෂුවර්නේ.. කඩේ මුදාලිලා මාර්කටින් පාරකටත් එක්ක ටිකක් වැඩි වෙලා කතා වට අල්ල ගත්තයි කියමුකෝ.. මුදලාලි හාමිනෙත් ඕං පොර දදා කතාව අහගෙන ඉන්නැති..දැන් ඔතනින් වැඩේ කෙරෙන්නෑ කියලා දැනුන නිසා පටාචාරා කොන්ඩෙ කඩාගෙන ඇදුම් බාගෙට ඇදගෙන වීදියට බැහැලා දුවන්නැති.. මේක දකිනවා ලිඳ ළග සංගමේ කාන්තාවක්.. ඔන්න ඉතින් හවස දිය නාන්න යන කාන්තාවො ටික සෙට් වෙනවා ..දැන් කතා වෙයි

මාර සීන් එකනේ.. අර එහාගමේ පටාචාරා.. අපේ මුදලාලියගෙ කඩේ ඉදලා ඇදුම් බාගෙන ඇදගෙන එලියට බැස්සනේ..
නෑහ්.. ඒකි මාරයි නේ. මිනිහත් මරා ගත්තලු නේ.. ඒකිගෙ පවුකාර කම..

ඔන්න ඔය කතාව ලිඳ ළග ඉන්න අනිත් ගෑණු ටිකත් අහගනී.. පස්සේ ගෙවල් වල ගිහින් මිනිහට ගිහින් කියයි..

අන්න පටාචාරා මිනිහ මරා ගත්තා මදිවට මුදලාලියා එක්කත් සෙට් වෙලාලු.. තමුසෙ එහෙම ඔය ගෑණිත් එක්ක කතා කරනවා නෙමේ..

මිනිහත් ඔව්වා අහගෙන ඉදලා පාර තොටට බැහලා යාලුවෙක් සෙට් උනාම..

මුදලාලිය නන් මරු බඩුව ඕයි. පටාචාර කොහොම හරි ඉස්සුවා නේ.

නෑහ්.. සික්.. අපේ ගෙදරටත් ඇවිත් අබ ටිකක් ඉල්ලුවනේ මං නැති වෙලාවේ... අපරාදේ. සුවර් එකටම මාව හොයං එන්නැත්තේ...

ම්ම්ම්ම්..


ඔන්න ඔය කතා ගමේ පැතිරෙද්දි පටාචාරා නොමල ගෙයකින් අබ හොයාගන්න බැරුව සංසාරෙ කලකිරිලා ආපහු දුක් මූණෙන් ගම මැද්දෙන් එද්දි.. කට පියාගෙනම ඉන්න බැරි එකෙක් එයාගෙන් අහයි..

ඇත්තද ඔයා මුදලාලියා එක්ක බුදිය ගත්තා කියන්නේ.. ඔයා නන් මාරයි ඇ..
(මොකද අනුන්ගෙ වැරදි වැඩිපුරම හොයන්නේ තමන්ට ඒ වගේ දෙයක් කරන්න ආසාවෙන් ඉන්න නිසාලු.. ඔය අපි අතින් වැරැද්දක් උනාමත් අපි කරන්නේ ඒ වගේ වැරදි කරපු තව අය ගැන හොයලා බලලා එයත් කරා නන් මං කරාට අවුලක් නෑ කියලා හිත හදාගන්න එකනේ..)

පටාචාරාට නිකං පිස්සු වගේ හිතෙන්නැති මේක අහලා..

දෙවුරම් වෙහෙර පෙනී පෙනී පටාචාරා ගෙල වැල ලා මිය යයි කියලා ගොසිප් සයිට් එකක යයි... ඒ මරණෙ වෙනුවෙන් පිංකං කරන්න මිනිස්සු ගොඩක් එයි.. පටාචාරා ගැන හොද කියයි.. ටික දවසකින් ඔක්කොම අමතක වෙයි...

Tuesday, May 29, 2012

මගුලක් අඩුවට ගන්නා හැටි

මේ මගුල් කාලෙනෙ.. ඉතින් දන්න කියන ගොඩක් අය පිලිවෙලකට කසාදයක් කරගන්නෙ මේං මේ කාලෙ තමා..ඔය අතරමනේ මං නිතර දකින ඩයල් එකක් වෙච්චි මාර්ක් සකර්බර්ගයත් මගුලක් කර ගහ ගත්තේ.. අන්න මිනිස්සු.. සද්ද වහලා ගෙයි පිලිකන්නට ගිහින් මගුල කෑවා.. සික්... ඌ අරක්කු සුට්ටක්වත් බොන්න දීලා නැතුව ඇති.. දැන් ඕක දැකපු ලංකාවේ අය කියනවා සෝයි වෙඩිමක්ලු ඒක.. ඒක සෝයි වෙන්න පුලුවන් උන්ට.. ඔය ඒ මගුල සෝයි කියන ලංකාවෙ එකෙක්වත් ගෙයි පිලිකන්නෙ ඔහොම මගුල් කන්නෑ කියලා මට සුවර්.. ලංකාව වගේ අපෙරදිග සංස්කෘතියක් තියන රටක ඔය වගේ හොරෙන් මගුල් කන සිරිතක් නෑනේ.. අපෙරදිග මිනිස්සු මගුල් කන්නේ මුලු රටටම කියලා තමා.. ඕං ඒකනේ ඉස්සර කාලෙ කියන්නේ හත් දොහේ මගුල් කනවා කියලා.. මුලු ගමටම කියනවලුනේ..දැන් කාලෙ ගමට තියා නෑයොන්ට කිව්වට පස්සෙ ‍අල්ලපු ගෙදරටත් මගුල කියන්නෙ හෙන ගේමක් දීලා නොවැ..

ඇයි හත්දෙයියනේ දැන් බත් වේලක් දෙන්න රුපියල් 3000.00 ක් වත් නැතුව ‍බෑනේ.. මේ කොහෙ තියන සල්ලියක්ද අප්පා.. 200යකට කිව්වත් ලක්ෂ 6ක් යනවා.. කැමරා අල්ලන එකාටයි අන්දන්න එන එකාටයි රත්තරං බඩු වලටයි.. මොන මල ඉලව්වක්ද.. ලක්ෂ 10ක විතර යනවා ඔය කියන විදිහට බැලුවොත්.. මොන හත්තිලව්වකටද අප්පා ඔච්චර වියදං කරලා මගුල් නටන්නේ..අනිතිමට ණය වෙලා මගුලක් අරං ඒකට ඇවිත් සැපට කාල බීලා යන උන්ම පස්සෙ කියනවා මොන මගුලකට එච්චර වියදං කරාද මන්දා කියලා.. සතපහක් වියදං කරලා ගල් අරක්කු සුට්ටක් නොබොනො උන් මගුලට ඇවිත් රට අරක්කු හොයනවා.. හලේ මෙහෙවු ලංකාවක්.. ඔය අරක්කු කේස් එකෙත් මගුලට අරක්කු නෑ කියලා වැඩියෙන්ම කියවනවා කියන්නේ ජීවිතේට සත පහක් වියදං කරලා අරක්කු ටිකක් බොන්නැති උන්ලුනේ.. උන් මගුලට එන්නෙ පිනට අරක්කු සුට්ටක් බීලා යන්න වෙන්ටැ..

හරි දැන් ඉතින් දැන් නොකෙරන මගුල් කියවලා වැඩක් නෑ නේ.. දැන් අපි බලමු කෙරෙන විදිහට අඩු වියදමට මගුලක් නටන්නෙ කොහොමද කියලා..දැන් ඔය මගුල් නටද්දි මනමාලියයි මනමාලයයි මහ රෑ ජාමේ 12 විතර ඉදං අන්දන්න පටං ගන්නවනේ.. කොහොමත් මගේ සුට්ටං දැනුමෙ හැටියෙට පාන්දර 4 5 වෙද්දි ජෝඩුවම මගුලට ලෑස්ති වෙලා නොවැ ඉන්නෙ..

ඉතින් දැන් පාන්දර 4 ඉදං දෙන්නා එක්ක ලෑස්ති වෙලා ඉන්න එකේ පෝරුවෙ මගුල ගන්නවා පාන්දර 7ට විතර.. එතකොට පොටෝ ගන්න උන්දැටත් උදේ පැය තුනක්ම තියනවනේ..ඉතින් උන්දැගෙ පුරස්නත් එතනින්ම විසද ගන්න පුලුවන්.. ඊට පස්සේ පෝරුවෙ මගුල් 7.20ට ඉවරයි.. ඔන්න දැන් පොල් බිදලා පහන් පත්තු කරලා කිරිබත් කපලා ඔය නැටුම් සේරමත් නැටුවට පස්සෙ වෙලාව 7.45 වෙයි.. ඊට පස්සෙ යනවා නෑයොන්ට කතා කරන්න.. මුපු හෝල් එකේම නෑයොන්ට කතා කරලා ඉවර වෙද්දි 8.45 වෙයි...

8.45 ට යනවා කෑම මේසෙට..මොනවද එතකොට කෑම මේසෙ තියෙන්නේ..
කිරිබත්
නූඩ්ලස්
රතුකැකුළු බත්
ඉදි ආප්ප..
පාන්
ආප්ප
පිට්ටු
චීස්
බටර්
අල හොදි/පරිප්පු/ මාලු/ මස්/පොල් සම්බෝල /ඕනිම නන් කම ඔය මොනවා හරි දාගන්න බැරියැ....(ආහ් කොහොමද මෙනූ එක ඇ.. )
තව.. කැවුම් කොකිස් අරවා මෙව්වා ඩෙසට් එකට.. ඕනිම නන් පලතුරු තියන්න පුලුවන්..

ඔන්න ඔය කෑමෙ මෙසෙට ගියා.. ජෝඩුව කෑවා බඩ පැලෙන්න.. ඊට පස්සෙ සුට්ටක් නටන්න පුලුවන් කස්ටියටම.. උදේ දහය වෙද්දි මගුල ඉවරයි...ඊට පස්සෙ ජෝඩුව යනවා පොටෝ ගන්න.. පොටෝ අල්ලන එකාට පුලුවන් ඇති වෙනකං පොටෝ ගන්න දවල් වෙනකංම..එතකොට ඒකත් හරි...

දැන් බලන්න මේක කොයි තරං වාසි ක්‍රමයක්ද..
මගුලෙ වියදමෙන් තුනෙන් එකක් ඉවරයි.. ඒ කිව්වේ ඔය කෑම මේසෙට වියදම එක්කෙනෙක්ට 1000ක් ගියත් අවුලක් නෑ.. 200ක් ආවොත් ලක්ෂ දෙකෙන් ගොඩ...

මගුලට එන අයට රස්සාවල් වල නිවාඩු දාන්න ඕනි නෑ.. ෂෝට් ලීවු දාල ආව නන් දවල්ට වැඩට යන්න පුලුවන්..

ජෝඩුවට හනිමූන් ගිහින් මහන්සියට නිදා ගන්න ඕනි නෑ.. එදාම වැඩ අල්ලන්න පුලුවන්..

බොන්න නෑ කියලා කවුරුත් කියවන්නෑ.. මොකද උදේ පාන්දර බොන්නෑනේ.. අනික දවල්ට වැඩට යන්නත් තියනවනේ.. ඒ නිසා ඒ අවුලත් ඉවරයි..

ලාබයි ලේසියි පහසුයි.. එන්න. ඔබත් අදම මගුලක් ගන්න...


Thursday, May 24, 2012

පෙම් බැඳි රුවට

මිහිදුම් සළුව වසාගෙන
ඈත තුරු මතින් ඇදීඑන
සීතල පවන් රැළි රෑනක
එතෙන්නට ඇත්තම් නුඹ සමග තනිවම

පායනා නීල තරු දහසක
වෑහෙනා සඳ කැළුම් අහසක
සතපවා නුඹ සේද යහනක
විදින්නට ඇත්නම් නුඹ සමග තනිවම

රැළි ඇදී යන වෙරළ අද්දර
ගංතෙරක විල් උයන් පත්තුර
හිනැහෙනා නෙතු පියන් අභියස
ඉදින්නට ඇත්තම් නුඹ සමග තනිවම







පිංතූරෙ ගත්තෙ මෙතනින්.. http://julian.35photo.ru/photo_299622/

Wednesday, May 23, 2012

ඇය සමග නැවතුමක... !!!!!!

ඉඩෝරයට වියළී ගිය සියඹලා ගස් අතරින් බිම වැටුන දුඹුරු පාට සියඹලා කොල දුහිවිලි සමග හාද වී පලසක් මෙන් වැටුන පාර දිගේ ඉර බැහගෙන යද්දි ඇවිදගෙන යන එක හිතට අමුතුම සැනසිල්ලක්. ඒ පාරෙ දිගේ කෙලවර තියන වැව් තාවුල්ලෙ හැම දාම මඩ තලන්න එන මී හරක් රංචුව අදත් අලස ගමනින්මා පසු කරමින් යන්නට විය..වෙනදා වගේම වැව් තාවුල්ලෙ පණ අදින විදානෙගෙ ඔරු කඳ රන් හිරු එළිය වැටීමෙන් දිලිසෙන්නට වූ අතර සුපුරුදු ලෙස ඔරු කඳ මත හිඳ ගත් මා බැස යන හිරු සමග සුපුරුදු මනෝ ලෝකයට ගොඩ වුනෙමි.
ඝෝෂාකාරී පරිසරයකින් වට වුන නගරකට උරුම්කම් කියන මා ජීවිතයේ ලද පරාජයන් අභියස තාවකාලික සහනයක් සොයා ගෙන කටුක පරිසරක වුවද සුන්දර මනරම් රටා මවන වැව් තාවුල්ලට මා පෙම් බදින්නේ ඇයි දැයි මා නොදනිමි. රාත්‍රිය උදා වීමට පෙර නිවස කරා ඇදී යන සිය‍තුන් රෑන් අහස මත අදින රටාවන් රන්වන් ඉර එලිය මතින් තවත් ‍වර්ණවත් විය.තාලයක් නැතුව අපිලිවෙලකට පොලව තෙමාගෙන යන දිය රැළි අරමුණක් නැතුවම හැමදාම ගොඩට ඇවිත් යනවා.. ඒක මගෙ ජීවිතය වගේමයි. අරමුණක් නැතුවම හැමදාමත් ජීවත් වෙනවා..

මහත්තයා වැවක් හදන්නද යන්නෙ...? ....... මා පිටිපසින් පැමිණි කටහඩින් මා පියවි ලෝකයට වන්නෙමි...

මිනිස්සු නෑ නේ හදන්න.. නැත්තං හදන්න තිබ්බා...

ඇයගේ සිනහව පිරි නෙත් මානයෙන් මිදී නැවතත් වැව ඉහත්තෑවෙන් ගිල යන හිරු දෙස බලා ගන්නට විය.. වැව මැද පිහිටි කෝටු පමණක් ශේශව ගිය වෘක්ෂයක හිඳ වුන් කොක්කු රෑනක් එක්වරම අහස් කුස වෙත නැගෙන්නට විය..

මං මේ දවස් ටිකේම දැක්කා මහත්තයා මෙතන ඉන්නවා..

මං ආසයි මෙතනට..

ජීවි‍තයෙන් පැනලා යන්නද මෙතනට එන්නේ...

වික්ෂිප්තව ගිය මා ඇය දෙස බලා සිටියෙමි... සිනහව පිරුන විට වල ගැහෙන රවුම් මුහුනකට උරුම්කම් කියූ ඇ සැබවින්ම සුන්දරය..

ඔයාගෙ නම මොකක්ද...

නයනී..

ම්ම්ම්.... වෙන්නැති..

ඇයි.........
ඇස් දෙක දැක්කම හිතුනා....

මං අහලා තියනවා මහත්තයා කවි ලියනවා කියලා

කවුද කිව්වෙ..

මැණිකා කිව්වා.....

ම්ම්ම්ම්...

ඇතින් හමා යන සුලගත් බැසයන හිරු එලියත් ඇයගේ සුන්දරවත්වය වැඩි කරන අතර ඇය දෙස මා නෙතු යොමා තබන්නට මා සිත් නොදෙන්නේ මන්දැයි මා නොදනිමි..

ජීවිතයට බයයි නේ

ඇයි

ඔය තරං හැංගෙන්නෙ

හැංගන්න ජීවිතයක් නෑ මට

හැංගෙන්න ජීවිතයක් නැත්නම් ඇයි පැනලා යන්නේ...

නවතින්න බැරි නිසා.....

නවතින්න බය නිසා වෙන්නැති... ඇය සැබැවින්ම කටකාරියක යැයි මට සිතුනි..........

මහත්තයා ආදරේ කරාද......

ඔවු ඇයි..

නෑ ආදරයට බයයි කියලා ඇස් කියනවා..

ම්ම්ම්.. ඇස් කියවන්නත් දන්නවද......

පේන දේ දකිනවා........

ජීවිතයේ ලැබෙන්න බොහොම ටිකයි.. නොලැබෙන දේ බොහොම දිගයි.....

වෙන්නැති....... ඒ නිසා නොලැබෙන දේවල් පතන්නෑ....

පතන් නැත්තං ‍ලැබෙන දේත් ලැබෙන එකක් නෑ ....

පැන යන දීවිතයට ලැබෙනා දේ අත්හැරීම මුලාවක් යැයි නොයෙක් වර මා සිතා ඇත්තෙමි. නමුත් ලගා කර ගන්නට නොහැකි අරමුණු තුල අත්හැරීම හැර අන් දෙයක් ඇත්දැයි සිතන්නට මා සිතට සවියක් නැත්තෙමු.....

අත්හැරීම දිණුම නෙමෙයි
වෙන්නැති....
ආදරය අමුතුයි.... හැබැයි ජීවිතය නෙමෙයි.. ජීවිතය අමුතු නෑ....
ඇයි.....
ජීවිතයෙන් පැනලා යන්න බෑ...... මුණ දෙන්නම ඕනි...
ඔයා දන්න දේවල්..

දෙතොලින් පමණක් සිහන වූ ඇය මා සමගම ඇත බලා ගන්නට විය..

මහත්තයා ගෙදර යන්න...

ඇයි ??

ජීවිතය හොයා ගෙන යන්න.. නැවතිලා බලාගෙන ඉදලා වැඩක් නෑ

හොයන්න ජීවිතයක් නැත්තං ?

හොයලා බලන්න.. ජීවිතය හම්බ වෙයි....

සොයා යන ජිවිතයක අරමුණක් තිබිය යුතුය. අරමුණක් නැති ජීවිතයකට සොයා යා නොහැකිය.. මෙය කෙසේ හෝ වටහා ගත යුතුය..

මං යන්නං ... දැන් රෑ වුනා..

හරි... සමුදෙන්නද එහෙනන්.

සමුදෙන්න හමුවෙලා නෑ මහත්තයා.. ජීවිත ගමනෙ බස් එකක් එනකං අපි කතා කරා විතරයි....

ඇය දෙස බලා සිටිනු හැර අන් යමක් නොකීවෙමි..

යන්නං.....

සුභ රාත්‍රියක්.......



Tuesday, April 24, 2012

වැට කෙයියා ගාලේ........ නුඹ මට පිදුව ආලේ

වැට කෙයියා ගාලේ
නුඹ මට පිදුව ආලේ
ගෙදර ගිය වේලේ
බිමට දැම්මද ගලක් පල්ලේ

නුඹට දුන් මාලේ
බිල මේසෙ පල්ලේ
මාලෙ නුඹෙ බෙල්ලේ
වාරිකය ඇත තවම රාළේ

දියමන්ති මාලේ
අරූ දුන් වේලේ
අමතකව ප්‍රේමේ
ගියා සඳ පානේ

ඌත් මහ පාරේ
දියමන්ති ඇගෙ බෙල්ලේ
මටත් නැත මිතුරේ
ඌත් තනිවිය පාළු අදුරේ

Friday, March 23, 2012

හිත කියන කතාවක්.....

මම පාරක් දිගේ ඇවිදගනෙ ගියා
අරමුණක් තිබුනද මතක නෑ
තනියෙන් ගමනක් යන්න වෙන්නැති
මට මතකයි
ඒක හරි ලස්සන උදෑසනක්
හිරු රන්වන් පාටින් පායල තිබ්බා
මං ඇවිදගෙන ගියා
මං දැක්කා...
තුරුලෙ හිනැහෙමින් පෙම් කරන අය
ඉතින්...
පෙම් කරන්න හිතාගෙන නැවතුනා
පෙම දුර ගමනක් ගියා
මම තාමත් නැවතිලා
මග හැරුන තැන් පසු කරන්න හිතාගෙන
ආයෙමත් ගමනක් යන්න පිටත් උනා
ආසයි ආයෙත් පෙම් කරන්න
නවතින්න අමාරුයි.. මට බයයි නවතින්න
මග හැරුන බොහෝ දේ තියනවා මට ගන්න
‍මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා
මම ‍දුර ගමනක් ගියා
පෙම නැවතිලා බලාගෙන ඉන්නවා
මම ගොඩක් දුර ගිහින්...
නවතින්න අමාරුයි..
ඉර බැහැල යන්නත් ලගයි
හැම තැනම කළුවර වෙලා
එක බංකුවක් තියනවා
මට මහන්සියි.. ගොඩක් දුර ඇවිල්ලා
මම ඉදගත්තා ටික වෙලාවකට
බලා හිටියා.. දුර ඈත පෙනෙන ආදරය
ටිකක්වත් ලගට එයි කියලා
ගොඩක් වෙලා ඉදගෙන ඉන්න බෑ
ඉර අවරට ගියාම නපුරු සත්තු එයි
මට තනියෙන් ඉන්න අමාරුයි
සීතල සුලගක් හමාගෙන යනවා
සමහර වෙලාවට බය හිතෙනවා
මම මෙතනම මිය ගියොත් කියලා....

Thursday, March 1, 2012

මං යනවා... මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි....


සීත අහසෙ මල් යහනක
දේදුන්නක පිණි බිඳුවක
පායන රන් තරු දහසක
නුඹව සොයමි තවත් රැයක

පායන රන් විමන් යටින්
නීල නයන කැළුම් මැදින්
සියොත් නාඳ ගී අතරින්
නුඹ ගෙනයමි ලොවට හොරෙන්...

...........................................................................
නිදන නෙතු යුග දෙස
බලාසිටියෙමි...
නුඹ සිනාසෙනු ඇත..
මා දිහා බලාගෙන..
වැසු විමන් විවර නොකරම
නුඹ සිනාසෙනු ඇයිද..
දනීද නුඹ..
තවමත් මා නුඹ සමීපයේ..
සිටිය වග....

..........................................................................
නුඹ පෙම් කවිය විය
තාලය සොයා
අතරමං වුන
තවත් එක
කවියකුට.......

.........................................................................
නිල්වන් සේද ඇදි නුඹ ගත සරසාලා
රන්වන් නුඹ වතේ රතු තිලකය තියලා
දුටුවන් පිනවනා ඉග සොඟ නළවාලා
කැදවන් යන්න දෙනවද නුඹ මගෙ කරලා

........................................................................

මල හත්තිලව්වුවේ.. තොපිලට මතකද මං මල් සරාට යවපු ලිවුම.. මං ඌට ලියුමක් ලිවුවෙ අහවල් මගුලක් කරන්න හිතාගෙන නෙමේනේ.. අන්තිමේදි ඌ මටම කෙලින්න ආවනේ.. ඒ මගුල් ඔක්කොම ඉවර වෙලා මං උගෙන් සමාවත් ගත්තයි කියමුකො..එදයින් මෙදා සත්තයි මං ඌත් එක්ක අද වෙනකං කතාකරලා නෑ.. අනේ අම්මපා සත්තයි...


අර මහ පාන්දර කුකුලා අතේ අරං නැගිටගෙන ගිය මගුල තිබ්බෙ. අන්න එදා මට තාමත් මතකයි.. බිං කරුවල වැටිලා තිබ්බා මහ පාන්දර දහයට විතර.. සුදුම සුදු පාටයි මං ඇහැ ඇරලා බලද්දි.. මං ඌ වෙනුවෙන් නැගිට්ටා මිසක් සත්තයි වෙන ‍මි‍නිහෙක් නන් මං ඒ තරං උදෙන් නැගිටින්නෑ.. මල රෙද්ද අද ඔපිස් එකේ ඉන්ටනෙට් නෑනේ.. මේ ‍කුලියට ඉල්ල ගත්ත ඩොංගල් කට්ටකින් ලියලා දැම්නෙ නැත්තං හරි නෑ නේ..
තොපිලට ඉතින් මෝල් වගේ කට ඇරං බලං ඉන්නැතුව කල්පනා කරපල්ලකෝ මං මේ මොන අහවල් කෙංගෙඩියක්ද කියන්නෙ ‍කියලා.. හා ඇත්ත කියපං.. තොපිලට තේරෙනවද යකෝ මං මේ මොනවද කියන්නෙ කියලා..
මටත් තේරෙන්නෑ යකෝ.. තොපිලයට තේරෙන්නැත්තං අහවල් මගුලකටද යකෝ තවත් ඇස් ගෙඩි දෙක එලියෙ දාගෙන බලාගෙන ඉන්නේ.. ‍සික්.. හැටි විතරක් ‍තොගෙ.. ඊයා....

.............................................................................

ඔයාලට මං කිව්වට එහෙම අහක බලාගෙන යන්න එපා.. මං ඉස්සර ඉදන්ම කරේ ඔය වගේ බයිලා ලියපු එක.. ඔය උඩින් තියන හැම විදිහකින්ම මං බයිලා ලිව්වා..ඒවා ඔයාලා හැමෝම මෙලෝ රහක් නැති උනත් බැලුවා.. මට එක වෙලාවකට ඔයාල ගැන දුකත් හිතුනා. මං මොනවා ලිව්වත් ඔයාල කියෙව්වා..අද වෙනකොට පෝස්ට් 180 ක් විතර ලියලා තියනවා.. ඒ හැම දෙයක් එක්කම මාත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි.. මං තීරණය කරා සමුදෙන්න.. මට දුකයි එහෙම කරන්න..ඒත් කරන්න දෙයක් නෑ.. ජීවිතේ එහෙම තමා.. හැම දෙයක්ම කාලය සමග නැති වෙලා යනවා..කාලය ගෙවිලා ගියාම ඒ හැම‍ දෙයක්ම අතීතය වෙලා.. එහෙම ගොඩ නැගුණු අවුරුදු දෙකක අතීතයක් අදට අවසන් වෙනවා...

එහෙනන් මට අවසරයි මට අදට මේ ලියමන නවත්තන්න...

මාත් එක්ක අවුරුදු දෙකක් පුරාවට රැදිලා හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි..අදට මං මේ බ්ලොග් කෙරුවාව පටං අරං අවුරුදු දෙකක් වෙනවා ඇ...

ආයත් කියනවා.. මා සමඟ මේ තරං දුරක් ආපු හැ‍මෝටම ගොඩක් ස්තූතියි..ඉදිරියටත් ඉතින් ඔයාලා මාත් එක්ක ඉදී කියලා මං හිතනවා.. ඔන්න එහෙම කරන්න ඕනි ඇ.........

ප/ලි...

මගේම සොහොයුරෙක් වගේ ඉදලා අද අප අතරින් වෙන් වී ගිය ඉලංදාරියා නොහොත් දිළුම් සහෝදරයව මතක් කරන්න ඕනි.. දිළුම්.. උඹට නිවන් සුව අත්වේවා.........

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...