Friday, July 24, 2015

කෝච්චිය තාමත් යනවා ............

එදා හරි වැස්ස දවසක්. ඉර පායලා තිබ්බෙම නෑ. කලින් දවසෙ කියලා තිබුන විදිහට උදේම ගියා එයාව බලන්න. එයාට ආදරෙයි කියන්න බය වුනා. ඒත් එදා එයාට හිතේ තියන ආදරේ කියා ගන්න ඕනි වෙලා තිබුනෙ. උදෙන්ම කෝච්චිය පරක්කු වුන නිසා එයාට එනකං බලාගෙන ඉන්න වුනා. හිතුවෙ නෑ එනකං කවුරුත් බලාගෙන ඇති කියලා. එනකං බලං හිටියද කියලා ඇහැව්වම එයා කිව්වේ නෑ ඔයා එනකං නෙමේ කෝච්චිය එනකං බලාගෙන හිටියෙ කියලා. ඒ කෝච්චියෙ ආවෙ නැත්තං එයා ඒ ආපු කෝච්චියෙම නැගලා යන්න හිතාගෙන ඉදලා තියෙන්නේ. එදා සහතිකේටම දැන ගත්තා කවුරුත් බලා ගෙන ඉන්නෑ කියලා.

එදා වැස්ස නිසා ඇගට වැහි වතුර වැටිලා තිබුනා. එයාගෙ මූණට වතුර බිංදු වැටිලා හරි ලස්සනයි. ඒ මූණ දිහා බලාගෙන හිටියා. ඒ ඇස් දෙක හිනාවෙනවා බලාගෙන හිටියා. කෝච්චියෙ කවුලුවෙන් ඈතින් පේන වෙල් යාය හරි ලස්සනයි. ඒ වෙල් යායත් එක්ක හිනාවෙන ඇස් දෙක දිහා බලාගෙන කොච්චර දුර ආවද කියලා මතක නෑ. හුලගට කවලං වෙලා එන එයාගෙ සුසුම් සුවද හිත මන්මත් කරලා තිබුනේ..

නීල් නෙයනේ පවසන පෙම
සගවන් කිම හිනැහෙන්නේ..
නුඹ සුසුමේ සැගවුන සුව
කවදද නුඹ මට දෙන්නේ........

දෙතොල් මතින් කියන්න පෙම
නැතුවද නුඹ විමසන්නේ..
හදවත තුල තෙරෙපෙන දුක
නුඹ නැතුවද හදුනන්නේ..

නීල වරල නළල්තලේ
කිමදෝ හැඩරැළි මැවුවේ
ඇය මගෙ තුරුලට ආවම
නළල් තලේ සිප ගන්නේ......

හැගීම් අස්සෙන් හිත තුල තෙරෙපෙන ආදරය කියා ගන්න ඕනි කියලා හිතුනා. එයාගෙ ලගට ලං වුනා. ඇයි.. ඒක තමා එයාගෙ පුරුදු වචන ටික. නිකං.. එයා කෝච්චියෙ කවුළුවෙන් එලිය බලා ගත්තා. ටිකක් එහාට වෙනවද. ගම්පහ අපෙ නෑයො ඉන්නවා. කවුරුත් දැක්කොත් හොද නෑ කියලා කියපු නිසා සීට් එකේ එහාට ගිහින් වාඩි උනා. ඒත් ඒ සුවද ලගින් යන්නැති නිසා මොන කරුමක්ද මන්දා එයාගෙන් ඈතට යන්න බැරි උනා. ඕනි දෙයක් වෙන්න හිතාගෙන එයාට ආදරේ කියනවා කියලා හිතාගෙන එයාගෙ පැත්තට හැදුනා. ඒ සුසුමන් සුවද මැදින් එයාට ආදරේ කියන්න හදවත ඇතුලේ වදන් පොදි බැදලා තිබුනේ. ආදරෙ එයාට දැනිලා එයා සතුටින් උතුරලා යාවි. ඒ උතුරා යන ආදරේ දිය දෝතක් අරගෙන පවස නිවා ගන්න පුලුවන් වෙයි කියලා හිතුවා. ඒ ආදරේ තනිකම උදුරාගෙන ගිහින් ආදරෙන් පුරවන හැටි දැක්කා. ඒ හැගුමන් හිතේ තියාගෙන එයා ලගට යද්දි කොහෙන්දෝ මන්දා පොඩි එකෙක් දුවගෙන ඇවිත් දෙන්නා අතරෙ තිබුන ඉඩ පොඩ්ඩෙ වාඩි උනා.

ඔරලෝසුවෙ කටු කැරකුනා. කාලය ගෙවිලා ගියා. කෝච්චිය කොළඹට ආවා. සෙනග ගොඩක් බැහැලා ගියා. මට මරදානට යන්න ඕනි.. ඔයා එනවද ... එයා ඇහැව්වා.. හා කිව්වා.. මරදානට දැන් ලගයි. හදවත වේගෙන් ගැහෙනවා. එයාට ආදරෙයි කියනවා. ඔවු.. සත්තමයි. එයාට ආදරෙයි කියනවා..

එයා ලගට ලං වුනා. එයා දොර ලගට ලං වුනා. පුළුවන් තරන් හිතට දෛර්ය අරගෙන එයාගෙ සවන් පෙති වලට ලං වුනා..

ඔයාට ආදරෙයි......
එයාගෙ නිල්පාට ඇස් .. උමතුවෙන් මෙන් බලාගෙන හිටියා. දැක්කා ඒ ඇස් වල සතුට උතුරලා යනවා. ඔවු.. තාමත් ඒ ඇස් දිහා බලාගෙන ඉන්නවා. ඒ දෙතොල් හදවතේ ඇති ආදරය වෙනුවෙන් එක වරක් හෝ සෙලවෙනකං බලාගෙන හිටියා. කෝච්චිය හිමීට හිමීට නවතින්න හදනවා. මරදාන ස්ටේෂම අපි වෙනුවෙන් බලාගෙන ඉන්නවා. මුළු ලෝකෙම නැවතිලා වගේ දැනෙනවා. ඒ ආදරේ සුව විදිමින් ඉන්නවා. කෝච්චිය නැවතුනා.. ඇය බිමට බැස්සා..

ඔයයි මමයි හොද යාලුවො නේද.. ඇයි මේ වගේ දෙයක් මම ගැන හිතුවේ..
මට ඔයා ගැන ආදරයක් නෑ.. අපි යාලුවෝ වගේ ඉම්මු..

එයා කිව්වා.. මං අහගෙන හිටියා.. කෝච්චිය ආයෙත් හිමීට යන්න ගත්තා. එයා බිමට බැහැලා හිටියෙ. කෝච්චිය මරදානින් පස්සෙ කොහෙ යයිද දන්නෑ. කෝච්චිය තාමත් යනවා.. ඒත් එයා.. මරදානෙන් බැහැලා එයාගෙ ගමන යනවා. කවද හරි මේ කෝච්ච්යෙ දෙන්නම එකම ගමනක් යාවි. ඒත් එදාට ආදරය වෙනස් විදිහට ලියවිලා තියේවි. ඒ ආදරේ ඇතුලේ චූටි මතකයත් මැකිලා යනවා නන්.. ඒත්....

දුම්රියේ කවුළුවෙන්
එන දූලි රැලි මතින්
ඇදී යනු මන නුඹගෙ මතකය
සිතේ තනිවුන මතකයෙන්.....

හිනැහෙනා නිල් නෙත් මතින්
හමුවනා නුඹ සිහිනයෙන්
වෙන් වෙන්න නුඹ මතකයෙන්
ඇය ඒවි තුරුලට හිමින්...

Friday, April 17, 2015

සිත අතරමං වෙලා......

සිත අතරමං වෙලා..
නුඹ හිත ලගම නැවතිලා...
යයිද මා දමා..
සිත ඇත අතරමං වෙලා.........

නුඹ ලගම දැවටිලා...
ඉන්නද ළයේ හිස තියා....
පෙම්බර වදන් මුමුණලා
නිදන්න හැකිද ලංවෙලා......

ආලය සිතේ මතුවෙලා.
සිත නුඹ ගැනම මත් වෙලා..
ජීවිතෙ අතරමං වෙලා..
නුඹ හැර යයිද මා දමා......







~~ සිතුවිලි ~~

Wednesday, April 15, 2015

අවුරුද්ද සහ අවුරුදු කෑම

බ්ලොග් වසන්තය තිබ්බලු. මොනව හරි ලියන්න හිතාගෙන හිටියට ලියා ගන්න වෙලාවක් නැති තරමට මම බිසී වුනා. මොකද ලංකාව දේශපාලනේ පාර්ලිමේන්තුව විසුරවනවද නැද්ද කියලා තීන්දු තීරණ රාශියක් ගන්න මයික්‍රොෆිට් අයියට උදව් කරන්න මට යන්න සිද්ධ වුනා. ඉතින් ඔය වැඩ අස්සෙ කොයිද අප්පේ මෙව්වා කොටන්න වෙලාවක් කලාවක් හොයා ගන්නේ..

අනික දැන් මෙව්වාගෙ අදෝනා දාන්නත් බෑ නොවැ. අලුත් අවුරුද්ද නිසා කොහොමත් අදෝනා දාන එක හොද නෑ. අවුරුද්ද ගෙවිලා ගියාට මක්කැයි ආයි බොන්ඩ මෙදා අවුරුද්දට රන්වල බලකායයි බැද්දගේ මහත්තයයි වැඩිය සද්දයක් නෑ වගේ දැනුනා.. ෆිලුම් බලපු නිසා එයාලා හිටපුවා මට මග ඇරුනද දන්නෑ. අවුරුද්දේ මාස 12ක් සද්ද වහලා ඉදලා එක මාසයක් ලංකාවේ රූපවාහිනී නාලිකාවලට නැතුවම බැරි උන්දැලැ නැති එක හෙන පාලුයි වගේ සීන් එකක් තිබ්බා. මේ පාර ගොඩක් ටී වී චැනල් වල තිබ්බෙ කලින් රෙකෝර්ඩ් කරපු අවුරුදු උත්සව. කොහා කෑගැව්වෙ නෑ. ඒ වෙනුවට සමහර රේඩියෝ වල නන් තොර තෝංචියක් නැතිව කොහෙක් කෑගැහුව්වා. එයාලත් පුදුම ආතල් තමා ගන්නේ.

කිසිම ගතියක් නැති ඒකාකාරි විදිහට අවුරුද්ද ගෙවිලා ගියා. බොනවා කනවා විතරයි. කිසිම විසේසයක් නෑ. ආහ්.. එක විසේසයක් තිබ්බා.. මහින්ද රාජපක්ෂ එවන මැසේ්ජ් එක මෛත්‍රිපාල සිරිසේන කියලා නමකින් ආවා. එච්චරයි ටිකකට හරි වෙනසක් කියලා තිබ්බේ. 2015 අප්‍රේල් මාසෙත් ඉවර වේගෙන එන්නේ. මේම ගියාම තව ටික දවසකින් 2016 එයි. අපි නාකි වෙයි. දැනටත් කෙස් ගස් දෙක තුනක් ඉදිලා තියෙන්නේ. ලබන අවුරුද්ද දිහාට ලොකු කෙලී දීග තල දෙන්නත් ඕනි. පොඩි එකා නන් මේ පාර විස්ස විජ්ජාලෙ යයි මං හිතන්නේ.  උන්දැලගෙ ඕනෑ එපාකං පිරිමහලම අපේ වයස ගෙවිලා. මොනවා කරන්නද ඉතින්.

තව මොනවා කියලා ලියන්නද. ලියා ගන්න බෑ.. මගෙ සිත අතරමං වෙලා.. පාර හොයා ගන්න බෑ.. ගස් වල අතු කඩලා නැති නිසා... ඔන්න ඕමයි අද තත්වේ. අද යාන්තං නිදහසක් තිබ්බා මොනවා හරි කොටලා යන්න. අනේ මන්දා මේ ජීවිත නන්. දේවල් ඇති වෙනවා. නැති වෙනවා.. නැති කරගන්නවා.. ඕම තමා එහෙට මෙහෙට වෙවී ගෙවිලා යන්නේ. අද කොළඹ ටිකක් පාලුයි වගේ. තාම අනිත් අය අවුරුදු සමරනවා ඇති. අපි වගේ පීඩිත පන්තියෙ මිනිසුන්ට කොයින්ද එහෙම සැපක්. බ්ලොග් වසන්තය ආවා.. වසන්තය ගියා. මං අන්තිමට මොනවද මන්දා ලිව්වා. මොනවා කරන්නද අරමුණක් නැති ජීවිත උනාම මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නොවැ.

අපේ රටත් දැන් හෙනට දියුණු වෙලා. හැමෝගෙම අතේ සල්ලි පිරිලා. ලගදි පාර්ලිමේන්තුව විසුරුවයිද දන්නෑ. මයික්‍රොෆිට් අයියා නන් කිව්වේ එහෙම වෙනවා කියලා.. අනේ මන්දා.. ඒත් රට්ටු මොන කතා කියනවද අපි දන්නෑනේ. මේ පාර ගොවියන්ට වෙලාවට වී ටිකේ සල්ලි හම්බ වෙලාලු.. අනේ වාසනාවක්. ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ අප්පා. අපි දැන් යන්නයි කියලා. ආයෙ අවුරුද්දකින් විතර හම්බ වෙමු.

එතෙක්
මට
සුභ අනාගතයක්.........

ඉස්කෝතුයි.......

Wednesday, March 18, 2015

වසන්තයේ අග........

වසන්තයේ අග
උද්‍යානයක ඇති බංකුවක
නෙතු පියාගෙන නිදියමි
වෙහෙස වී ඇති නිසා සිත.......
මග යනෙන හැම දෙන
බලනු ඇති නිදා උන් මා දෙස
උන් සිතනු ඇත මා ගැන
විදින්නට බැරි එකෙකුයැයි මල් සුවද
සිතුවද දෙනෙත් හැර විදගන්න
වෙහෙසයි මට අවැසි තව නිදියන්න
වසන්තය නැතුවද සෘතු ඇත තව එන්න...
නිදමි මම
ලොවට සැගවී ඉන්න...............
සීතල සුලග විත් හමා මා සනසන්න
ඒ සුලග මත මල් සුවද තවරන්න
මගේ නෙතු පියා මට තවත් නිදියන්න
එපා මගෙ සිහිනයෙන් යලි යලිත් ඇහැරෙන්න.......




Wednesday, January 28, 2015

වල දැමූ සිහිනය

පිපුන නෑඹුල් මලක් මෙන්
හදවතේ උන් තැනම මියදෙමින්
වල දැමූ සිහිනය දෙස බලමින්
දෙපා තිය යන්න යමි විගසින්.......

ආදරය නැතිමුත් හදවතින්
නුඹ නොයයි නිති දෙපා නගමින්
පිපි සිහින මල් තලමින්
හිදින්නට විය නුඹ ලගම දුකකින්.....

නැතිය අන් මගක් එලෙසින්
මසිත රිදවයි සිහින මල් ලැබගන්න විලසින්
ඉපිද ගිය පෙම සිතේ තද කරමින්
මිය ගියෙකු ලෙස ඉදිමි මම නිදුකින්

පිපී තිබුනත් තරු මල් නිතර අහසින්
නැතිය ලැබ ගන්න එමල් ඇත බලමින්
නුඹ මගේ සිත අසල නිති රැදෙමින්
දුරස් කරවයි සිහින සිත මත නිතැතින්

කිසි විටක නොහැක පෙම් කෙරුමන්
එපා නුඹ විමසන්න එවග රහසින්
ආදරය නැත නුඹට මම එලෙසින්
නමුත් මම ඉමි දිවිය නැත තව අවසන්






Friday, December 26, 2014

උඳුවප් සීතලට

සීතලට ගල් ගැහුණු
හදවතක් උණු කර
හිතුවෙ එතැයි නුඹ
හිම පිරුණ මාවතේ

සීතලට ගල් ගැහුණු
මගේ සිත අයිස් කර
කොටම කොට සාය ඇද
ආවෙ ඇයි ඇවිදගෙන...

හිද නොගනු මැන
අයිස් පිරි බංකුව මත
කොය සාය වැසෙන්නට
අයිස් කැට පිරෙනු ඇත.....

එසේ වුවතින් සබඳ
මගේ සිත මියයාවි
සීතලට ගලක් වී
රත් වෙන්න නොහැකිවම...

Wednesday, September 10, 2014

සල්ලාල මම

නුඹ මගේ උනා නම්
ඇය එන්නැහැ සයනට
ඇය ආවෙ මග සයනට
නුඹ එන්නැතිය කියු පසුවය
නුඹ මට හිමි නැතිය
ඇය සයනට හිමිය
නුඹ ඔහු ලග නිදිය
ඇය මම ලග ඇතිය
නුඹ සදාකල් සතුටින
මම හිරු නැගෙන තුරු සතුටින
නුඹට මම සලෙලෙකි
මට නුඹව තවමත් පැතුමකි
නුඹ මටම බැන පසුවෙති
මම දුක දරාගෙන හිනැහෙති
නුඹට කම් සැප උරුමෙකි
මට එය සොයා යා යුතුවකි
නුඹට මම සලෙලෙකි
මට අනුව මම මිනිසෙකි........... 

Thursday, August 21, 2014

කරන්න දෙයක් නෑ..

කරන්න කිසිම දෙයක් නෑ. අද වැස්සා.. වැස්සා කියපුවම නිකං වස්සා වගේ.. ඒ නම හරි යන්නෑ.. අද අහස් දිය ඩිංගක් බිමට වැටුනා. ඩිංගක් කිව්වට ඒක ටිකක් සැරයි. වැස්ස සැර වුනාම හංදියෙ ත්‍රීවීල් අයියලා සැර වෙනවා. දන්නෑ ඇයි කියලා. මම වැස්ස නිසා අද ඔපිස් එන්න පරක්කු වුනා. ඔපිස් ඇවිත් මට කරන්න තියන වැඩ අඩුයි. ඉතින් නිකං ඉන්න කාලෙ වැඩී. නිකං ඉන්නකොට කම්මැලි හිතෙනවා. මිනිස්සුන්ට කම්මැලි කියලා හැගීමක් තියෙන්නෙ අපරාදේ. එහෙම තියන නිසානේ මට කම්මැලි හිතෙන්නේ.

ඉස්සර මම එංගලන්තෙ ඉගන ගනිද්දි එහෙට වැස්සෙ නෑ. හිම වැටුනේ. එහෙ හරි ලස්සනයි. එහෙ කිසිම මිනිහෙක් දුක් විදින්නෑ. එයාලා හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ. ඒකට ලංකාවේ.. හම්බන්තොට අයට හාල් නෑලු. එහෙම කියලා ගොඩක් අය බුකියෙ දුක් වෙලා තිබ්බා. හාල් නැතුව හම්බන්තොට මිනිස්සු ගොඩක් දුක් විදිනවා. පවු එයාලා..රට ඉන්න ගොඩක් අය ලංකාව ගැන හෙන කැක්කුමකින් කතා කරනවා. ලංකාවෙ ඉන්න මට නන් එහෙවු කැක්කුමක් නෑ. මං හම්බකරං කන ගානෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. මට වෙන අය දුක් වින්දට ගානක් නෑ. මොකද හම්බන්තොට එකා කෑවද කියලා මං අහන්නෑනේ. ඒ නිසා මට ඒ දුක දැනෙන්නෑ. ඒක අපෙ කාලකණ්නිකම වෙන්නැති. ඔවු එහෙම වෙන්නැති.

දැං ලංකාවට වහිද්දි පාරෙ වතුර පිරෙනවා. පාරෙ වතුර පිරුනම සපත්තුව ඇතුලට වතුර යනවා. සපත්තුව ඇතුලට වතුර ගියාම දවසෙම ඒ සපත්තු දාගෙන ඉන්න හරි අමාරුයි. ඒ නිසා පාරෙ වතුර පිරෙන්න දෙන්න හොද නෑ.අපි පයින් යන මිනිස්සු. වහන පදින අය හයියෙන් යනවා.. ඒ වාහනේ තෙමෙන නිසා වෙන්නැති. එයාලා හයියෙන් යද්දි රෝ්‍ද වල මඩ වලවල් වල වැටිලා අපේ ඇගට වතුර විසිවෙනවා. ඒ වෙලාවට ඒ රියදුරු මහත්යාගෙ අම්මා මතක් වෙනවා. ඒත් සමහර වෙලාවට එයාලට හදිස්සියක් වෙන්නැති නේ. ඒ නිසා ඔව්වා ගැන විස්සෝප වෙලා වැඩක් නැතුවා. ඒ වෙලාවට මට හිතෙනවා පිටරට යන්න. පිටරට ගිහින් එහෙ මහන්සි වෙලා රස්සාවක් කරලා ලංකාවට බනින්න පුලුවන්. ලංකාවෙ ඉද්දි පඩි මදි. මං දන්න රට ගිය හැමෝම වාහනයක් අරගෙන ගෙයක් හදලා ආතල් එකේ ජීවත් වෙනවා. ඉතින් ලංකාවෙ ඉන්න උනුත් ඔය ටිකම කරනවා. එකම වෙනස රටගියාම වගේ ලංකාවට බැනලා ආතල් එකක් ගන්න චාන්ස් එකක් නැති වෙනවා. මොකද ලංකාවෙ ඉද්දි බනින්න වෙලාවක් නෑ නේ.. එක්කො රස්සාව. නැත්තං ගෙදර සාමාජිකයො එක්ක ආතල් එකේ ඉන්න ඕනි. නැත්තං ඉන්න රොත්තක් වෙන යාලුවො එක්ක සෙට් වෙන්න ඕනි. ඔය මොකක් හරි වෙන ආතල් වැඩක් නිසා ලංකාවට බැනලා ගන්න සෙට් වෙන ආතල් එක මට නන් මිස් වෙනවා. ඒක අපරාදයක්..

කරන්න දෙයක් නැති කමට මොනවා හරි ලිව්වා. අද දෙදහස් දා හතරේ විසි එක් වෙනිදා. මගේ බ්ලොග් එකේ මට පස්සෙ බලන්න හිතට ආපු දේවල් ටිකක් ලිව්වා. නැත්තං මට මෙහෙම එව්වා හිතුනා කියලා අමතක වෙයි. එහෙම අමතක වුනොත් අපරාදේ. මේ වගේ අදහස් වලින් තමා කවදා හරි මේ පුංචි ලංකාව ලොකු කරන්න පුලුවන් වෙන්නේ. අපි හැමෝම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න යනවා. අපේ රට දූපතක්. ඉතින් දූපත් මානසිකත්වයෙන් මිදෙන්න නන් එක්කො ඉංදියාවට ගිහින් සෙට් කරන්න ඕනි..අන්න එදාට ලංකාව දුපතක් නෙමේ. එහෙම වුනාම අපිට පුලුවන් වෙයි දූපත් මානසිකත්වය නැති කරන්න. මං හිතට ආපු කවියක් ලිව්වා. අදට ඇති. ඇගිලි රිදෙනවා..


නෙතු පියන
සීත රාත්‍රියේ
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද..සිත රැගෙන ගියේ.
ගෙනත් දියන් මට
මෝඩ ගෑණියේ...(ඩර්ටි වර්සන්)


නෙතු පියන
සීත රාත්‍රියේ...
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද .. සිත රැගෙන ගියේ
ගෙනත් දෙන්න මට
මගෙ සිහින කුමරියේ.......(ලවු වර්සන්)


නෙතු පියන
සීත රාත්‍රියේ...
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද .. සිත රැගෙන ගියේ
රැගෙන ගියා නම්...
තියං මැරීයන් යෝදියේ..(බූට් වර්සන්)

Wednesday, July 23, 2014

ෂර්ලොක් හෝම්ස් - සුල මුල සොයා.(3 වන කොටස)

ෂර්ලොක් හෝම්ස් පලවෙනි කොටස

ෂර්ලොක් හෝම්ස් දෙවෙනි කොටස


දිර්ඝ සුසුම් වැලක් වාතලයට මුසු කළ හෝම්ස් මහතා තම හාන්සි පුටුව මත හිස තබා ‍ගන්නට විය.. මුළු කාමරය පුරාම රජයන නිහඩතාවය මග හරින්නට රැහැයි නාදය සමත් වූවාදැයි මා නොදනිමි. මමත් අප ආගන්තුකයාත් මුහුණට මුහුණ බලා සිටි අතර හෝම්ස් මහතා තවමත් දෙනුවන පියාගෙන කල්පනා කරමින් සිටින්නට විය.
නිහඩ තාවය බිඳිමින් හෝම්ස් මහතා තව හඩ අවදි කරන්නට විය.
ඉතින් විල්බර්ට් මහත්මයා.. ඔබ බැංකු කළමනාකරුගෙන් විමසීමක් කරේ නැද්ද.. ඒ චෙක්පත මුදල් කරේ කවුද කියලා..
මං බැංකුවට ගියා මහත්මයා.. ඔවුන් දුන් විස්තර මා පොලිසීය හරහා විමසුවා.නමුත් ඒ සියල්ල නිවැරදි තොරතුරු නෙමේ මහත්මයා..
හ්ම්ම්ම්.. වොට්සන්.. මේක තමයි දැනට බැංකු ක්‍රමයේ තියන සුරක්ෂිතම මුදල් හුවමාරු ක්‍රමය.නමුත් දැන් පේන විදිහට එහිද අඩුපාඩුකම් බොහොමයි වගේ..
හොදවි විල්බර්ට් මහත්මයා. දැන් ඔබතුමා ගෙදර යන්න.මං මේ පරික්ෂනය භාරගන්නවා.. හෙට දින ඔබතුමාගෙ ගෙදරදි අප හමුවෙමු.
ඉතින් වොට්සන්.. අද ඔබට බොහොම වෙහෙස පාටයි..අප හෙට උදෑසන පිටත් වෙමු.. විල්බර්ට් මහත්මයාගෙ සුන්දර තේවත්ත බලන්න...

එම වදන් මා හට නුපුරුදු විය..

මොනවා.. හෝම්ස් මහත්මයා මමත්...

වික්ෂිප්ත වූ දෑස් දෙස සිනාමුසු මුහුණින් බලාසිටි හෝම්ස් මහතා
ඔබට හෙට දින විශේෂ රාජකාරියක් නැතිනම් වෙනසක් අත් අත්විදින්න මා සමග ඒවි යැයි මා සිතුවා..
හොදයි හෝම්ස් මහත්මයා.. මා බොහොම සතුටින් ඔබ හා එක්වන්නම්..
හිත තුල නොසන්සුන් තාවයකුත් මේ අපූරු පුද්ගලායාගේ නිරීක්ෂන මගින් නිගමන බිහිකිරීමේ දක්ෂතාවය බලා ගැනීමේ ආසාවකුත් ඇතිවන්නට විය.. එදින රාත්‍රිය නින්ද පැමිණියේ වෙහෙස නිසාවෙන් පමණී.

උදෑසන හිරු කිරණ මීදුම අතරින් ගලාවිත් මා සයන මත නේක රටා මවනු වෙනදා මා බලාසිටියද අද දින තිබෙන විශේෂ රාජකාරියට ඇති උනන්දුව නිසාවෙන් ඒ සියල්ල පසක ලා මා ආලින්දය වෙත පිය නැගුවෙමි.. මා පැමිණිමටත් පෙර හෝම්ස් මහතා සිය උදෑසන ආහාරය ගනිමින් සිටියේය.

සුභ උදෑසනක් හෝම්ස් මහත්මයා...
සුභ උදෑසනක්.. වොට්සන්.. මා අදහස් කරේ දහවල මීදුම අඩුවෙන් කලින් විල්බර්ට් මහත්තයගෙ ගෙදරට යන්න කියලා..
ඇයි හෝම්ස් මහත්මයා..
එතකොට මට ලේසියි වැඩි ප්‍රසිද්ධියකින් තොරව මීදුම අතරින් මා සොයන දේ නිරීක්ෂනය කරන්න..
ඒ කියන්නේ ඔබ දැනටමත් අභිරහස විසඳල ඉවරයිද?

මා ප්‍රිය මිත්‍රයා නිවරැදි තොරතුරු නැතුව මා කිසි විටකත් විසදුමක් හොයන්නෑ.. අපි පිටත් වෙමු වොට්සන්.. නැතිනම් බොහෝ ප්‍රමාද වෙන්න පුලුවන්..

හැකි ඉක්මනින් උදෑසන ආහාරය නිම කළ මා නිවසින් පිටත් වූවේ කුමන ආකාරක දවසක් ගත කිරීමට සිදුවේදැයි හිතුතුල හට ගැනුන නුපුරුදු හැගීමක් සමගය.අසුන් දෙදෙනෙකු බැදි කරත්තයක් අප නිවස ඉදිරිපිට නවතා තිබුනේ හෝම්ස් මහතා කලින් කල දැනුම් දීමකට අනුවය..
මා සමග කාථා නොකරම කවුළුව ‍තුලින් එළිය බලා සිට හෝම්ස් මහතා මා සමග අමනාපයෙන්දැයි මට විටක සිතෙන්නට විය. අප දෙදෙන කිසිදා දැක නැති ආගන්තුකයන් දෙදෙනෙකු ලෙසින් රථය තුල ගමන් කරන්නට විය. එක්වරම නිහැඩියාව බිදිමින්

වොට්සන් මහත්මයා.. ඔබ මොකද හිතන්නේ මේ පරිසරය ගැන..
ම්ම්ම්ම්.. මීදුමෙන් වැසීගිය කදුවැටිත් ඒ අතරින් ලා කොළ පැහැයෙන් සැරිසීගත් තේ වතු යායත් හැරෙන්නට මට කිසිවක් නොපෙනුනි. එම දසුන වර්ණනා කළ නොහැකි සුන්දර දර්ශනයක් ලෙස මා ඉදිරියේ ඇදෙන්නට විය.

වොට්සන් මහත්මයා ලස්සන විදිනවා වගේ.. නමුත් මට නන් මේ ‍පලාත අපරාධකාරයකුට තෝතැන්නක් වගේ.. මීදුමෙන් වැසුන පරිසරය.. තේ වතු මතින් වැටී ඇති අතුරු පාරවල් නන් අපරාධකාරයෙකුට නියම පරිසරයක් නිර්මාණය කරනවා.. ඔබට ඒ පිළිබඳ වැටහීමක් නැද්ද වොට්සන්..

ම්ම්ම්ම්..නෑ හෝම්ස්.. මා ඒ පිළිබද කල්පනා කරේ නෑ.
අපි දකින එහෙත් කල්පනා නොකරන නිසා තමයි වොට්සන් ඔබයි මමයි වෙනස් වෘත්තීන් දෙකක් කරන්නේ..

හොම්ස්ගේ දොතොල මත ඇදි සිනහව මට අවමන් ක‍රන්නේදැයි සිතුණී. ඒ සිතුවිල්ල මා මනසින් වියකී යන්නට ප්‍රථම අප රැගෙන ආ රථය විල්බර්ට් මහතාගේ ‍නිවස වෙත වැටී ඇති පටු මාර්ගය ඔස්සේ ගොස් ආලින්දය අසල නැවැත්විය.
කරත්තය පැමිණි ශබ්ධය නිසාවෙන් ‍හෝ පෙර සුදානමක් තිබූ නිසාවෙන් අප පිළිගැනීමට විල්බර්ට් මහතාත් පොලිස් නිළධාරියකුත් පෙර මගට පැමිණියේය.

අසුන් බැඳි රථය අසලට විල්බර්ට් මහතා පැමිණියත් ඒ පිළිබඳ අවධානයක් නොදැක්වූ හෝම්ස් තව දුරටත් තේ වතු දෙසට දෑස් යොමා ගෙන සිටින්නට විය. සැබැවින්ම එය සුන්දරය. එහි දසුන නිල් පැහැයෙන් නම් හදුන්වන්නද කොළ පැහැයෙන් යැයි හදුන්වන්නද මා හට සිතා ගැන්මට පවා නොහැකිය. මල් තුහීන බිම පතිත වන නිසාවෙන්දෝ දෙනෙත බිම යොමා ගත් හෝම්ස් මහතා අවසරකියකින් තොරවම නිවස දෙසට ඇදෙන්නට විය.ගල් බංගලාවක් වූ විල්බර්ට් මහතාගේ නිවස එක පෙලට සැදී කාමර රැසකින් යුක්ත වූවක් විය.අතුරා ඇති බුමු තුරුණු විදේශයක සිට ගෙන විත් යැයි මට සිතුණි. නිහැඩියාව රජ කරමින් අප එක නෙකා දෙස බලා සිටියද එම නිහැඩියාව බිඳිමින් විල්බර්ට් මහතා අප හට අසුන්ගැනීමට ආරාධනා කරන ලදී.

විල්බර්ට් මහත්මයා.. කොහෙ ඉදංද ඔබ චෙක් පත් ලිව්වේ.

හෝම්ස් මහත්තයා .. මම ඒ ටික සකස් කරේ මාගේ කාර්යයාල කාමරයේ සිටයි.

අපි යමුද ඒ කාමරය බලන්න..

ඔවුන් දෙදනා පසු පසින් මාද එම කාමරය දෙසට පිය මනින ලදී. එය සැබැවින්ම කාර්යයාල කාමරයකි. ලියන මේසයක්, පොත් රාක්කයක්  සහ ආගන්තුකයන්ට පිරි නැමීම සදහා තිබු පුටු දෙකක් හැරෙන්නට එය තුල වෙන කිසිවක් නොතිබිණ.

කාමරය පුරා නෙත් හෙලමින් විටක ඉව කරමින් මෙන්ද විටක මද සිනහවකින් මුව සරසා ගෙනද හෝම්ස් කාමරය පුරා ඇවිද යන්නට විය. ඔහුගේ මෙම හැසීරීම ආගන්තුක වූ මට සැබැවින්ම ඔහු උන්මත්තෙකු යැයි නොසිතුනා යැයි පැවසීමට නොහැක.විනාඩි ගනනක් පුරාවට සිදු වූ විමර්ෂනයකට පසු ආගන්තුකයන්ට පනවා තිබූ පුටුවක් මත හිදගත් හෝම්ස් මහතා විල්බර්ට් මහතාගේ පුතුනුවන් හා කතා කිරීමට අවැසි බව පවසන ලදී. එවිට විල්බර්ට් මහතා විසින් කරන ලද විධාණයකට අනුව ඉතා කෙසඟ සිරුරක් හිමි විඩාබර මුහුණකින් යුතු ඔහුගේ පුතුනුවන් යැයි හදුන්වනු ලැබූ මෝගන් තැනැත්තා අවුදින් අප ඉදිරියේ සිට ගන්නා ලදී. ඔහු දෙස මදා වෙලාවක් නෙත් යොමා සිටි හොම්ස් මහතා පුටු ඇන්දට බරවී සුසුමක් හෙලන්නට විය.

ඉතින් මෝගන් මහත්මයා.. ඔබ මේ සිදුවීම දවසේ විශේෂ දෙයක් අත්වින්දද?

නැහැ මහත්මයා. මම වෙනදා වගේ අසුන් ස්තාලයේ ගැට ගහලා කාර්යයාල කාමරයට ආවා පියානන්ව මුන ගැහෙන්න.

ඊට පස්සේ

ඊට පස්සේ වෙනදා වගේම මම දවසේ වතු වල විස්තර පියාට සදහන් කරලා හෙට දවසට අදාල වියදම් සදහා ගෙවීමට ඇති චෙක් පත් ඉල්ලා සිටියා..

එදින ඔබට ගෙවීමට විශේෂ වූ මුදලක් තිබුනද..

නැහැ හෝම්ස් මහත්මයා..

එහෙනන් .. එවන් වූ මුදලක් ඔබට අවශ්‍ය වූයේ ඇයි.

හෝම්ම් මහතා විසින් ඇසූ පැනයෙන් ඔහු අපහසුතාවයකට පත් වූවා දැයි නොදනිමි. නමුත් රත් පැහැ ගැන්වූ ඔහුගේ මුහුනත් සෙමින් වෙවුලන ඔහුගේ දෙතොලත් කුමක් හෝ අභීරහසක් සගවනුදැයි මම සිතන්ට වීමී.

පවසන්න මෝගන් මහත්මයා.. ඔබට එදින එවන් මුදලක් ඇවැසි වූයේ ඇයි?

දෙනෙත් පසාරු කරගෙන යන හෝම්ස්ගේ බැල්ම නිසාදෝ වෙවුලන දෙතොල සොලවමින් මෝගන් ඔහුගේ හට අවධි කරන්නට විය..

හෝම්ස් මහත්තයා.. ඒ සල්ලි...

එක් වරම වසා තිබූ දොර පිියන කිරි කිරි හඩින් විවෘත කරමින් මෙහෙකාරිය තේ බඳුනක් රැගෙන අප වෙතට පැමිණයාය..

Tuesday, July 22, 2014

ඇය.....

මලානික හිරු අවරට යන සැදෑවක
දිරාගිය ඔරු කදට වාරු දී හුදකලාවක
මියදිලා ගිය ආදරේ කවි රටාවක
අකුරු ගලපමින් ඈ හිදී නෙත් මානයක

වැන්දඹුව ඇය නෙත් කෙවෙනි සලමිනා
මග බලයි නෙක ප්‍රේමයේ සුව විදිමිනා
සියොත් කැල ඇය තුරුලෙ ගී ගයමිනා
ගෙන යන්න මග බලයි ප්‍රේමයට ඇය රවටනා

සිහින වැල් බැදි මල් මාල ගෙල පලදිනා
නෙත් කෙවෙනි මත ප්‍රේමයේ දළු ලියලනා
සයනයේ රන් ඇගෙ වත මඩල සැතෙපෙනා
සියොත් ඉගිලේවී ඇය සයනෙ යලි තනිවෙනා

පිපි මලට සමණලුන් බොහො වෙනා
රොන් ගත් පසුව මල යලිදු තනිවෙනා
බඹරු ඇවිදින් රිදුම් දෙන මල රිදවලා
රොන් ගන්න වෙර දරයි නෑඹුලම සොයමිනා




Friday, May 2, 2014

මොනව හරි ලියන්න ඕනි

ලියන්න ඕනි මොනවා හරි. මාස ගානකින් මුකුත් ලියලා නෑ. හරියට අකාලෙට වේලිච්ච හේනක් වගේ.. හේනක් උනාම වට්ටක්කා වැලක් තියෙන්නම ඕනිලු. දන්නෑ ඒක ඇයි කියලා. අනේ මන්දා මෙව්වා රට්ටු කියන කතා. මට මතකයි මං පුංචි කාලේ කුඹුරු වැඩ කරන්න යනවා. මං නෙමේ.. අපේ ගමේ කුඹුරු වැඩ කරන කට්ටිය. අනේ මන්දා එයාලත් ඉතින් කුඹුරු නැතුව වෙන මොනව කරන්නද. ජීවත් වෙන්නනේ අපි හැමෝම මොනවා හරි කරන්නේ.

ඉස්සර ගොඩක් දුප්පත්.. කන්න තිබ්බෙ නෑ හරියට. කෑවත් බඩපිරුන්නෑ. අම්මයි තාත්තයි දාලා ගියා. වෙන අදුරන කෙනෙක් හදා ගත්තේ. හරි අසරණයි. ආසයි දියුණු වෙන්න.. කවුරුත් නෑ සල්ලි දෙන්න.. දිරිය ගන්න ඕනි හිතට. එතකොට කවුරු හරි උදවු කරයි. ඉල්ලන්න යන්න හොද නෑ. දුක කියන්න පුරුදු වෙන්න ඕනි. මගේ නෙමේ.. ඕක වෙන කෙනෙක්ගෙ කතාවක්...

එක අතකින් ඔතන තියෙන්නේ කුහකත්වය වෙන්නැති. මට නැති දෙයක් වෙන කෙනෙක්ට ලැබුනම ටිකක් හිතට අමාරුයි. ඒක මට ලැබුනා නන් ඒ තරං ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. එහෙම තමා ලෝකෙ හැටි. හැමෝම බලං ඉන්නෙ පිනට ගන්න. ඒකටත් හැකියාවක් නැතිව බෑ. අනේ මන්දා. රට්ටු වෙලාවකට මොනවා කියනවද කියලා.

අපි හැමෝම එකම මුහුදු පාවෙනවා. සමහරු මාළු අල්ලනවා.. සමහරු අල්ලපු මාළු කනවා. මාළු අල්ලන එකාට අනිත් උන් හූල්ලනවා .. දෙයියනේ අරූට අහුවෙන මාළු ගොඩ.....කියලා.. නිකං ඉන්න උන්ට මාළු අල්ලන උන් කියනවා.. අරුන්ට තියන සැප..කියලා.. බැලින්නං අපි හැමෝම කාට හරි හූල්ලලා හිතෙන් දුක් විදිනවා මිසක් හිතේ සතුටින් ඉන්නැතුවා වගෙයි.

දවසක් රේල් පාරක ඇවිදගෙන යද්දි කෝච්චියක් ආවා. මං කල්පනා කරා කෝච්චියක් නැතුව නැවක් ආවා නන් මං මොකද කරන්නෙ කියලා. එහෙම උනා නන් මට අයින් වෙන්න ඉඩ මදි වෙනවා. වෙලාවට එහෙම උනේ නැත්තේ. හැබැයි නැවක් ආවා නන් මරු. එතකොට රේල් පාර දිගේ මුහුදත් එයිනේ. ආහ්.. එහෙම උනොත් මං ඉවරයි. මට පීනන්න බැරි නිසා ගිලෙන්න පුලුවන්. හම්මෝ වෙලාවට නැවක් ආවෙ නැත්තේ. ඕක තමා වෙලාව කියන්නේ.

දැන් රෑ වෙලා මං හිතන්නේ. හිම වැටෙන නිසා හෙටත් පාන්දර නැගිටින්න වෙයි. හෙට පාන්දර නැගිට්ටොත් මටත් හිම කඩන්න යන්න වෙයි. හිම ගොඩක් සීතල ඇති. මට බෑ හිම කඩන්න. හෙටත් ඉන්නවා දවල් වෙනකං. එතකොට හිම දිය වෙයි.. එහෙම උනොත් හොදයි.. නැත්තං මගුලයි..මං නිදා ගන්නවා. දන්සල දෙන්න කඩල කිලෝ දෙකක් ගන්නත් ඕනි. මට සුභ රාත්‍රියක්..

පොටෝයක් හොයද්දි. මෙතනින් (http://sodurusitha.blogspot.com/2014/01/blog-post.html) හම්බ උනා

Tuesday, October 1, 2013

අමතකව ගියෙ අතීතය මතක පොද

ගලාගෙන යන ගං දියක් අසබඩ
http://artphotographyservices.com
මං හිඳගෙන බලා සිටියෙමි
ඔබේ මතකය පාව යනතෙක්
නිසල ගඟ මත නොපෙනි පහලට
එදා මෙන්ම
ගං දියද නිසලව ගලා යයි පහලට
මං හිඳගෙන බලා සිටිමි
ඔබේ මතකය පාව යනතෙක්
ගඟ පහලට මගේ සිතට හොරැහෙන්
කුරුළු ගී හඩ මැදින්
සමනළ රෑන් රැදි රේදුනු අතරින්
කාලය සමග යන වළාකුළු සමගින්
මම තවමත් බලා සිටිමි..
කාලය ගෙවී ගොස්
වියපත් වී මගේ සිත
මා තවමත් බලා සිටිමි
ගග පහලට ගලා යන තෙක් මතකය
අමතකය ගිය අරුමය
කෙලෙස නන් ගඟ පහලට ගලා යාවිද
නුඹේ මතකය
වල දමා ඇත්තේ
උල්පතේ පාමුල මත වග........

Sunday, September 22, 2013

කෑම්පින් ගියාම ඔහොම තමයි ඉතින්....

අතරමග
මී මුරේට ප්‍රසිද්ධ ගල
අවුරුද්දටම හරි හමන් ගමනක් යා ගන්න බැරුව වේලි වේලි ඉද්දි මං වගේම වේලෙන තවත් එක් පණ කඳක් සෙට් උණා.. ඌත් එක්ක කොහේ හරි යන්න ඕනි කියලා කිචි කිචි ග ගා ඉද්දි ඒ වගේම වේලෙන තවත් උන් දෙන්නෙක් සෙට් උනා.ඊලගට යන්න කොහෙද කියලා හිතා ගන්න බැරිව තෙම්පරාදු වෙවී ඉද්දි පොදු මතයකට ආවා යාන්තං මී මුරේ යං කියලා. ඉතින් ඔය ලන්ද අස්සෙ රිංගන්න අපි දන්නවයැ කියලැ. කලින් වතාවකුත් මං මී මුරේ පාරෙ භාගයක් දුර ගිහින් හැරිලා ආපු එකා වෙච්චි. ඉතින් ආයෙ ගාටතෑහැකියැ නොදැන. ඕං ඔය විජ්ජුම්බරේ හින්දා හොයලා බලපු හැම ගොඩක් උන් කිව්වේ.. ඒහෙ ගිහින් වැඩක් නෑ. කරන්න දෙයක් නෑ. දවස් තුනක් හොදටම වැඩී.. ඔය ආදී නානාප්‍රකාර එව්වා..ඔය අස්සේ අපේ අර ප්‍රසිද්ධ අභීත ගොයියත් මී මුරේ ගැනම දොඩවන නිසා අපි ඇහැව්වා. බැරි වෙලාවත් අපි ආවොත් ගහෙන් පෙරාපු කිතුල් පැණි ජූංඩක් හොයලා දෙන්න පුලුවන්ද කියලා.. ඕං ඒ ගමන අපිට අලි දෙන්නං කොටි දෙන්නං කියලා මුගෙ පරණ තැටිය දැම්මා. ආයෙ අපි නොදන්නවැයි ඔව්වා.. ඒත් ගහෙන් පෙරාපු කිතුල් පැණි මී කිරි චුට්ටකුත් එක්ක කන්න ආසාවට අපි කිව්වා එන්නං කියලා ඉතින්..

මොනවා උනත් සතා දන්න අපිට කොළ කඩාපාන්න ඕනි නැති නිසා අපි සූදානං වෙලා ගියෙ.. හැබැයි මොන කරුමෙකට මන්දා සෙට් උණ හතර දෙනත් වෙඩි උණ්ඩ වගේ කාන්ඩයක්. බැරි වෙලාවත් අලි කොටි තියා හාවෙක් වත් දෙන්න අර පරණ පුරුදු අභීතයට බැරි උනොත් ගලක් උඩ ගහක් පල්ලෙ හරි නිදා ගන්න ලෑස්ති වෙලා තමා අපි ගියෙ..චුට්ටි ගෑස් ලිප් පොඩ්ඩක් වලදක් දෙකක් එහෙමත් දාගෙන පාන්දර මෙහෙන් පිටත් උනේ එදා ඉන්න තැනක් කන්න තැනක් ගැන කිසිම ගානක් නැතුව.හප්පා අන්න ගමන.මග විස්තර කොහොම කියන්නැයි ඉතින්.. ඒක නන් ආයෙ ගිහින්ම බලන්න ඕනි.

බොන්න තියන වතුර
ඒ ගම නන් හරිම ලස්සනයි. එහෙ මිනිස්සු සත්තු නෙමේ. එහෙ ඉන්නේ මිනිස්සු. බල්ලො හිටියා ගොඩාක්. ඒ බල්ලො නන් හරිම බයාදුයි. ගමේ අය නන් කිව්වේ ගමේ කෙනෙක් බල්ලෙක්ට කතා කරාට ගනන් ගන්නෑ පිටින් ආවොත් නගුට වනාගෙන පස්සෙන් දුවනවා කියලා.එහෙම බල්ලො ඉන්නවා නොවැ ඉතින් කොහෙත්.හරි බල්ලො ඉවරයි. ගමේ ලස්සන කියනවා කියනවා කියන්නේ තැපෑලෙන් පීනන්න උගන්නවා වගේ වැඩක් නොවා. ඒ නිසා ඒක කියලා වැඩක් නෑ..අපි ගියෙ කෑම්පින් ගහන්න කියලා මං කිව්වනෙ ඉතින්. කලින් කිව්වෙ නැත්තං දැන් කිව්වා ඇ..

බොන්න තියෙන්නේ ඇළ පාරෙන් එන වතුර. ගමේ අය කියන්නේ හරි පිරිසුදුයි කියලා. එතකොට නාන්න තියෙන්නෙ ගමේ ඇළ පාරෙන් එන වතුර. උයන්න පිහන්න තිබ්බෙත් ගමේ ඇළ පාරෙන් එන වතුර. එතකොට වැසිකිලියට යන්න නන් ඉතින් ඒත් ඇළ පාරෙන්ම තමා වතුර ගන්න වෙන්නෙ. අන්න ඒ ඇළ පාරෙ තමා සූරිය අරණ කියන බයිස්කෝප් එක හදලත් තියෙන්නෙ.. එහෙන් මෙහෙම් රොඩ්ඩක් දෙකක් පාවෙලා ආවට ආයෙ නිල් කැටේ වගේ වතුර ඩිංග. මොනවා නැතත් අභියා අපිට ඉන්න කූඩාරං කෑල්ලකුයි සුදු මල්ලියි තිලකෙ මචං කියලයි මරු ජෝඩුවක් පංගාත්තු කරා. තිලෙක මචං නන් උපාධිධාරී ගොවි මහත්තයෙක්.
අපිට සෙවන දුන්නා.......

අන්න එතනින් පස්සෙ තමා ආතල් පටං ගන්නේ. දවල්ට යද්දි අපිට කන්න දෙයක් නෑ.. කොයි කටත් කියලා අපි කලින් දැනගෙන ගිය නිසා හොදයි. නැත්තං දවල්ට බඩගින්නේ. මොනවා කරන්නද මෙහෙන් අරං ගිය නූඩ්ල්ස් පැකට් ටික හදාගෙන කෑවා ඉතින්.. බඩගින්නෙ ඉන්න පුලුවනැ..ඊට පස්සෙ නාලා ආවා. අන්න ආතල්.. ඉතින් නෑවට පස්සේ.. කියලා වැඩක් නෑ අප්පා ඒක අත්විදලම බලන්න ඕනි..


උදේ පාන්දර



අපි කාපු පරිප්පුව


නාන්න තියන වතුර 

මඩේ ලගින තාරාවන්











ජල මත ලිස්සා යාම..(වලේ ගැඹුර නොදනී) 



වැල් මත ඔන්චිලි පැදීම










පණට ආස නැති උන් ගැඹුර නොදන්නා
 වලට පැණිම



ජල මත ලිස්සා යෑම


















සුදු මල්ලි තිලකෙ මචනුයි - මස් පිලිස්සීම


රාත්‍රියේ නිල ආලෝක සැපයුම්කරු












ආහ් හුටා.. දැන් ඉතුරු පොටෝ දාන්නෙ කෝමෙයි..........




මී මුරේ යනවා නන්...
දන්න කියන කෙනෙක් සෙට් කර ගන්න. පන්සලේ හාමුදුරුවො/ග්‍රාම සේවක වගේ ගමේ මිනිස්සු පිලිගත් කෙනෙක් දන්නවා නන්.. ගම ඇතුලේ කරන්න පුලුවන් ගොඩක් දේවල් තියනවා. ඒ ගමේ අයගෙ සහයෝගයක් නැතුව අපි කොළඹින් ආවා කියලා ලොකු සීන් දාන්න ගියොත් මී මුරේ කියන්නේ ආතල් නැති දුෂ්කර විනෝද සවාරියක්.

මී මුරේ යනවා නන්.....
ගමේ ඉස්කෝලෙ ළමයි 14 (දාහතර) දෙනයි ඉන්නේ.. මොනවා හරි පුලුවන් දෙයක් අරං යන්න..

මී මුරේ යනවා නන්..
ඉතින් පලයවු.. අපිට මොකෑ.....

හැමෝම ගන්න ආතල් වලට අමතරව දිය ඇළි උඩින් පනින්න.. වලවල් වලට පනින්න අපිව එක්කං ගිය අභිතයටයි.. සුදු මල්ලිටයි.. තිලකෙ මචංටයි ටැංකූ ඇ..

කෑම්පිං ගියාම ඔහොම තමයි ඉතින්... ආයෙ වෙන මක්කයැ...





Tuesday, September 17, 2013

ප්‍රේමය ආදරය සහ රාගය

ප්‍රේමය
සොයා යන 
හමු නොවන
සිතිජඉම ඇති
පිංතූරෙ හොයා ගත්තේ :
http://worldceylon.blogspot.com/2012/03/blog-post.html
තවමත් සොයන
මිරිගුවකි

ආදරය
හැමදාම හමුවන
වෙන්වෙමින් හමුවන
විකුන්න හරි පහසු
රාගයට මග කියන
සුන්දරම
වදනකි.....

රාගය
ආදරය විකුණගෙන
ලබා ගත් රාගය
අද වුවා මෙන් නොව
හෙටට මිහිරිව පතන
ඇබ්බැහිය පුරුදු වන
දවසකින් නිමවන
මතකයකි!!!!!!

Saturday, June 22, 2013

කාමරයක් ඇතුලත..නිදහස් සදාචාරය...කෙටියෙන්

බෝඩිම කියන්නේ ජීවිතේ පුදුමාකාර අත්දැකීම් ගොඩක එකතුවක්. ගමෙන් කොළඹට ඇවිත් නන්නාදුනන සමූහයක් එක්ක එකතුවෙලා හැදිච්චි පුංචි පවුලක් වගේ.එක එක ගම් වලින් ආපු මිනිස්සු. එක එක ගති පැවතුම් තිබ්බත් බෝතලේකට වට උනාම අපි හැමෝම එක විදිහයයි.. බීලා වැඩි උනාම වතුර වලින් ගහ ගත්තත් කන්න ගෙනාපු පැණි කොමඩු වලින් ගහගත්තත් උදේට වමනෙ දාපු බත් ඇටයි ඒකට කවලං වෙච්ච පැණි කොමඩු ඇටයි අරං දාන්න කාටවත් කියන්න ඕනි උනේ නෑ. රස්සාවක් නැති කාලෙට සල්ලි අතේ නැති උනත් කන්න බත් පැකට් එකක් අරගෙන කුණුහරුපෙකුත් කියාගෙන ඇතුලට එන කිසිම නෑකමක් නැති උන් අතරේ කවදා තනිවෙන්නද..

අඩෝ නැගිටපං..

පුකට ගහන්න එපා ඩෝ.. රිලීස් වෙයි.. ....  වෙලාව කීයද බං..

දැන් 10යි බං.. මූණ හෝදං වරෙන් බඩගිනි..

කොහෙන්දෙ කන්නේ.. කෝ සුදයි කොටයි..

උන් ගියා ෂුටිං.. උඹ ඇදුමක් දාං වරෙන්..

නිවාඩු දවසට දත් මදින එක කම්මැලි වැඩක් උනත් සදාචාරයට හොද නැති නිසාද මන්දා හැමදාම දත් මදින්න වෙලා තියෙන්නේ..

අඩෝ... පැණියත් ඉන්නවා.. බෝතලයක් ගේමුද..

දවල්වෙලා ගේමු බං.. එතකොට රස්නෙට වැඩියෙන් වෙරි වෙනවා.. වත නෑ යකෝ ඔහොම බොන්න..

එහෙනන් උදේට කන්න ඕනි නෑ.. දවල්ට අක්කගෙ කඩෙන් රයිස් එකයි බෝතලයයි අරං එමු..

ඒක නෙමේ බං.. උඹ ඊයෙ ප්‍රවෘත්ති දැක්කද බං..

ඇයි මොකක්ද සීන් එක

ඇයි බං.. අර හරක් මස් කන්න එපා කියපු අය කාලගුනේට ගිහින් අහන්නේ ධීවරයන්ට මුහුදු ගියාට කමක් නැද්ද කියලා

ඉතින් බං මොකක්ද වැරැද්ද.. රට ජාතිය වෙනුවෙන්නේ හඩ ගනන්නේ..

ඇයි කොකටුවො. තොට තේරෙන්නැද්ද.. ධීවරයොත් මුහුදු යන්නේ සත්තු මරන්නනේ.. තෝ හිතුවද උන් මල් කඩන්න යනවා කියලා..

ඉතින්..

ඉතින් කියන්නෙ පෙත්තො.. හරක් විතරද යකෝ මැරුවම පවු.. ඊට වඩා දුක් විදලා මැරෙන මාළුවා පවු නැද්ද..

ආහ්.. හුටා... අලියයි පාං පෙත්තයි.. ඒකත් ඇත්තනේ බං..

වරෙන් යමන්.. පැණියා.. උඹ ගල් ගහනවා නේ.. අද සල්ලි නෑ.. වතුර තමා..

අඩේ.. ඕනි පෙත්තක් බං.. උඹ මටත් පෝක් කෑම එකක් ගෙනෙන්

ඇයි බං.. උඹ දැං ටිකකට කලින් කිව්වා නේ සත්තු මරන එක පවු කියලා.. දැන් තෝ මොනවද කන්නේ..

ආහ්.. තොපිලා නන් කියයි.. උඹලා දන්නැද්ද සුදා වෙජිටේරිං වෙලාවෙච්ච දේ... ඌගෙ බර අඩු වෙලා.. ඩොකා විටමින් දීලා.. මාසෙකට දහදාහක් විතර යනවලු එව්වා ගන්න.. ආං ඌ යස අගේම දැන් මස් කනවා.. ඒක ලාබයි කියලා.. මාත් මොකටද බං මාමයිට් ගාගන්නේ..

අනේ මුංගෙ විලිසංගෙ..

................................................................
අඩේ කවලංද මන්දා බං.. ඉඹලා  බලපං.. ෆුඩ් සිටි නෙමේද ගත්තේ..

අනේ මේ.. තෝ කැටයං දාන්නැතුව බොනවා නන් බීපං.. වෙරි වෙනවා නන් මොන පෙත්තක්ද යකෝ තව..

ඒ උනාට බං..අනේ මන්දා.. ගනින්කෝ මටත් එහෙනන්..

තොපිලා වල් බල්ලො.. මං එන්න කලින් බෝතලේ කැඩුවා නේ..

ආහ්.. සුදා..උඹ මොකද මේ අත පය හූරගෙන.

අලි පෙත්තක්නෙ උනෙ බං.. මං ඊයෙ බෙහෙත් ගත්තනේ අර ඉස්සරහට ආපු අලුත් ගෑණු ඩොකාගෙන්..

ඉතින්..

මං ඕක අපෙ ගෑණිට කිව්වා ඒ ඩොකී ලස්සනයි කියලා.. අපේ එකී කිව්වා බෙහෙත් ටික අරං එන්න අද එන්න කියලා..

ඉතින්..

අද ගිය ගමන් ඒකි බෙහෙත් ටික විසික්කරලා.. අර ඩොකී අල්ලපු හැම තැනක්ම හූරලා දැම්මනේ බං..

මලා.. තෝ වාසනාවට අහවල් එකේ ලෙඩක් හැදිලා ඊයෙ බෙහෙත් ගත්තෙ නැත්තේ..

ඇයි බං..

ඇයි කියන්නෙ වස්සෝ.. එහෙම අරං තිබ්බා නන් තොගෙ අහවල් එක අද කටින් හපලා ගලෝලා දැම්මට පස්සෙ තොට නිකං තමා ඉන්න වෙන්නේ.. ආහ් ඉදා බීපං. පවුකාරයෝ.. චික්.. නොදෝමකින්...

...............................

ෂා මරු ගාන ඇ.. තව එක සිගා එකක් තිබ්බා නන් මල් හැත්ත හතයි..

ඕයි.. අන්න කොටා දොර ලග වැටිලා.. මූ කොහෙන්ද බීලා තියන්නේ.. පෙරේතයා. ඌ අපිට හොරෙන් බීලා.. කාලකණ්නියා..

ඇයි කොටෝ තෝ බිව්වේ..

අද ගෑණියි මායි රණ්ඩු උනා බං. මං ඒකිට කිව්වා යන්න කියලා. වල් ගෑණු.. ඕනි නෑ ඔය ගෑණු..

ඒක තමයි බං.. අපි
ත් උඹට කිව්වනේ ඕකිව අතෑරපං උඹට හරියන්නෑ කියලා.. කෝ තෝ අහනවයැ..

ඒක තමා බං.. මං අද බිව්වා බං.. ආයෙ මං ඒකිට ලවු කරන්නෑ..ඕකි මලත් මං නන් ආයෙ මූණ බලන්නෑ බං..

ඇති යාන්තං.. උඹට මොලේ පෑදුනා.. යමන්. ඇදට ගිහින් නිදා ගනින්..

ට්‍රීංංංංංංං..

කොටා.. අන්න තොගෙ කෑල්ල කතා කරනවා. මං උඹ නෑ කියන්නද..

එපා එපා... මෙහෙ දියං.. මං ඕකිට හොද දෙකක් කතා කරනවා.. මෙහෙ දියං ඔය පෙත්ත...

හලෝ....

ආහ්.. මොකක්ද...මොකක්ද කිව්වේ.. ඔවු මං බිව්වා තමා.. ඉතිං..

අනේ.. නෑ මැණික නෑ.. සත්තයි..

ඔවු..

ඔවු හෙට එනවා..

හා.. හෙට හම්බවෙමු..

ලවු යූ.... උම්මා...

අඩෝ.. තියපං මේ ෆෝං එක.. රෙද්දෙ ගෑණු.. මං යනවා ඩෝ නිදා ගන්න..........

Sunday, March 10, 2013

වීරයා මැරිලද.. මරලද ?

ආසයි වීරයෙක් වෙන්න
හදවතින් ලෝකෙටම පේන්න
බයයි යුධ වදින්න
කඩු පහර හිත රිදවයි ඒ නිසා බයයි
ඒත් වීරයෙක් වෙන්න ආසයි
යූධ පිටියට යන්න බයයි
ජීවිතය නැති වෙයිද හිතයි
ඒත් ආසයි යුධ වදින්න
හදමු..
අපේම
කොලොසියමක්
එන්න කියමු අපේම උන්ට
බලන්නට වීරයා යුධ වදින හැටි
වීරයා මරන්නට බැරිය
සතුරා පෙනෙන්නට නැතිය
පෙන්නයි කඩු හරඹ..
පවසයි මරන හැටි ආවොතින් ඉදරියට
ජය ඝොෂා හඩ නැගෙයි සතර අත
දිරිය ගෙන වීරත්වයෙන් පුම්බාගෙන හිස
රගයි වීරයානන් සතර අත
ගෙදර ගිය පසු වීරයා සවස අත
නැතිය කිසිවක් තනිකමට කවුරුවත් නැති නිවස මිස
පිම්බී නැටුවාට කොලොසියමක් තුල
හිත පමණි දන්නේ තනිකමක
මිය යන විරුවාගෙ වත ගොත........

Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!




මට පිස්සු ඕයි
ලොකු හබරල කොලයක නිදාගෙන ගගක් පහලට පාවෙලා යන්න හිතෙනවා ඕයි..
සීතල වතුර මුළු ඇගටම වැටෙයි ඕයි
ඇස් දෙක හයියෙන් පියාගෙන කැරකෙන අහස දිහා බලාගෙන ඉර එලිය ඇස් ඇතුලෙන් ඇවිත්
මුලු ලෝකෙම රතු පාට වෙද්දි පිස්සු හැදෙනවා ඕයි..
ලොකු ගල් කැට වල වැදිලා කොළේ කැරකෙද්දි විකාරයක් වෙයි ඕයි
ලස්සන දිය ඇල්ලක පල්ලට දූවිලි ව‍ගේ ඇවිස්සෙන පිණි බිංදු වල පාවෙලා බිමට වැටෙයිද ඕයි
මිනිස්සු කවුරුවත් නැති කැලයක් මැද්දෙන් සත්තුන්ගෙ කෑගහන හඩ අහගෙන හයියෙන්
පාවෙලා යන හබරල කොලේ කැඩිලා යයිද ඕයි.
එහෙම කැඩුනොත් ගලක් උඩ ගිණි අව්වෙ ඉදගෙන ඉන්න වෙයිද ඕයි
ආයෙ මට හබරල කොලයක් හොයා ගන්න බැරි වෙයිද ඕයි
එහෙම බැරි උනොත් රෑ වෙනකං ගල උඩ ඉන්න වෙයිද ඕයි
ගග මැද්දෙ කිඹුල්ලු ඉදලා මාව හපන්න පනියිද ඕයි..
කිඹුල්ලුන්ට එන්න බැරි තරං ගලක් උඩට නැගලා කිඹුලන්ට පාං කෑලි වලින් ගහන්න
හිතෙනවා ඕයි.
ගගේ පාවෙලා ආයත් ගිහින් හබරල ගාලක හැංගෙන්න හිතෙනවා ඕයි
ඒත් හබරල කිරි ගෑවිලා ඇග කසයිද ඕයි... ???


මට පිස්සු වගේ ඕයි
වගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි !!!


මාත් එක්ක ඇඩ්මිට් උන අය

පිස්සං කොටුවේ අපේ එවුං...

Monday, January 14, 2013

අතරමග......


පායන රන් තරු සඳු අතරත්
පාවෙන විසිරෙන වළාකුලෙත්
නුඹ සුසුමින් සැදි මදු බඳුනෙත්
සොයනෙමි ආලය මම තවමත්

දෑගිලි පටලා පිය මං කරලා
නෙතු මත නෙක පැතුමන් පුරලා
ආලය සොයමින් වෙහෙසිලා
ගත සිත තවමත් මුලාවෙලා

නුඹ රුව සිත මත සිතුවමක් වෙලා
ඒ රුව හදවත උමතු කලා
සද තරු රහසෙම මිලින වෙලා
හදවත පමණක් තරුණ වෙලා

Wednesday, December 12, 2012

අහිමි නුඹ...


නුඹ අහිමි බව දැන
නුඹට පෙම් කරන මම
නුඹ අන්සතුය වග
කෙලෙස සිතුනිද මා හට

පුරුදු හැගුමන් මුලාවක
ගමන් ගත් අදුරු උයනක
නේක පැතුමන් තුරුළු කර
අදිමි සිත්තම් පාළු අහසක

සොයමි නුඹ සඳ නැගුනු අහසක
දනිමි නුඹ අන්සතුය හෙට දින
යලිත් නුඹ මා මුණ ගැසෙන විට
කෙලෙස මා නුඹ දෙස බලන්නද...

Monday, December 10, 2012

මගුලක ආතල් එකක්

පස්සට යාන්තං ඉර අව්ව වැටිලා ඔම්ලට් එකක් දාගන්න පුලුවන් ගානට රත් වේගෙන එද්දි හුචක්කුව වදින්න ගත්තා.....
අලෝ...
අලෝ.. අලෝ නෙමේ නැගිටපං යකෝ.. මගුලට යන්නැද්ද..
හැහ්.. මගුල .. කාගෙද යකෝ ඒ මගුල..
ඇයි ඔටුවො සුදා බදිනවනේ.. වරෙන් ලෑස්ති වෙයන්...මං පැය භාගෙන් උඹලගෙ ගෙදර...
හුටා.. ඒක පොස් මගුලක්නේ බං.. මං කොන්ඩෙ උල් කරගන්න ටිකක් හිටපං.. සුටුස් ගාල ලෑස්ති වෙන්නං ඇ...
පැය භාගයක් යන්න හම්බ උනේ නෑ.. ගෙදර බල්ලා බෙරිහන් දෙන්න ගත්තා..
මොකක්ද කොටෝ තෝ කලේ.. බල්ලව හැප්පුවද
පෙන්නෑ බං..මං බල්ලව දැක්කෙ නෑ..
තෝ කොටා ස්ටීරිං වීල් එක අස්සෙන් අහස බලාගෙන එලෙව්වට බිම ඉන්න බල්ලො පේන්නෑ යකෝ.. බැහැපිය බිමට මං ගන්න වාහනේ...
යාන්තං සෙට් එක දාගෙන මගුල තියන පොට් එකට ගියා.. හප්පා. එතන තියන සිරියාව.. එකෙක්වත් ඇවිත් නෑ.. අපි සෙට් එක ජෝඩුවට කලින් මගුලෙ.. ඉතින් මොකෑ කරන්නද කොට්ටං ගහක් යට නවත්තලා බිම ඉදගෙන ටයි ගැට ගහන්න පටං ගත්තා..
ආහ්.. ඉදා බීපං..
ඔය මොනවද යකෝ...
මගුලට ගෙනාපු බෝතලයක්.. කොහොමත් බොන එකනේ.. හිස් බඩම ඇදලා දාපං බං.. පණුවන්ට හොදයි
අමුවෙන් බෑ යකෝ..
අමු නෑ බං.. මං වතුර ටිකක් දැම්මා.. ඉක්මනට නමාගෙන දීපං.. එක කෝප්පයයි තියෙන්නේ..
එක දෙක උනා දෙක තුන උනා.. ජෝඩුව ආවා..අපි පස්සෙන් ගියා.. බෙර ගහන උන් කවි කියනවා .. උඩ පනිනවා එක පාරටම සද්දයක් ආවා..
හැහ්.. මොකක්ද බං ඒ උනේ..
ඒයි බං නැට්ටුවා අල්ලපු කස්තිරමට අරෑගෙ සෙට් එකේ වැදිලද කොහෙද. ඌ බිම බඩගාගෙන  යනවා බං..
නෑ යකෝ.. ඌට බදින්න බෑ කියලා හිතිලා.. ගෙදර යන්න ඕනි කියලා අඩනවලු..
හුටා..එහෙනන් දැම්ම බෝතල් අපි ලග කියලා කෑගහන්න එපා.. වෙඩිම කැන්සල් උනොත් අපි මාරු වෙමු...
මොන ඉලව්වක්ද.. අර පුයර දාපූ මනමාලිව දැක්කා විතරයි අරූ දුවගෙන ගිහින් පෝරුවේ.. සුදු රෙදි අන්දනවා රතු රෙදි අන්දනවා.. එක විකාරයයි...
සීයක්.. ඔට්ටුයි.. නෑ දෙසීයක් ඔට්ටුයි..
මොනවටද යකෝ ඔට්ටු දාන්නේ..
මං කියනවා මනමාලි අඩනවා කියලා.. මූ කියනවා මනමාලිගෙ අම්මා අඩනවා කියලා..
හරි .. දෙන්නම ඇඩුවොත් මට තොපිලා දෙන්නා දෙසියක් දියං ඇ..
කියලා කට ගන්න හම්බ උනා.. පිරිමි පරානයක් අඩන සද්දේ ආවා..මලා..
මෙන්න අෂ්ඨක කියන එකා අඩනවා..
කැමරා අයියේ..ඇයි අෂ්ඨක මාමා අඩන්නේ..
නෑ.. එයා අඩනවා වගේ රගපෑවම වෙනදට මනමාලි අඩනවා මල්ලි.. ඒත් අඩ අඩන්නැති නිසා ඒ දුකට මූ අද ඇත්තටම අඩනවද කොහෙද..
යකෝ මෙව්වා මාර ආතල්නේ....එක පාරටම වලියක්..
කොටා බලපං .. අර වලිය මොකක්ද කියලා..
ඌ අස්සෙන් බඩගාගෙන් රිංගලා ගිහින් බලලා ආපි..
උන්ට උතුර දකුණ හොයා ගන්න බැරුව බං.. අත්සං කරන්න තියෙන්නේ නැගෙනහිර බලාගෙනලු.. දැන් ගිණීකොනටලු මේසෙ තියෙන්නේ..
වේටර් කියනවා දකුණු මෙහෙලු.. මාමා කියනවා.. නැගෙනහිර නැහැල්ලු.. අයියෝ.. මං උන්දෙන්නට මන්න පිහිය දීලා ආවා බං..
නොදකිං ඔටුවා.. මන්නේ ගෙනෙන් යකෝ.. පොල් බිදින්න.. පල...ගිහින් අරං වරෙන්..
මේ ඉලවු බෑ බං... වරෙන් දෙකක් දාගන්න යන්න.. අද වෙලාවත් මදි.. මුන්ට ඉක්මනට හනිමූං යන්න ඕනිලු..
ඔං හුලං වදින පොට් එකක් ඉදගෙන දෙක තුන නමාගෙන යද්දි.. ඉර කැරකිලා දොලහ විතර උනා ඇ..
යමං.. ටිකක් නටන්න..
අඩෝ.. කොහෙද යකෝ ඔය ඉඳුල් වතුර බාල්දිය උස්සං දුවන්නේ..
අතන ඇන්ටි කෙනෙක් ආවේස වෙලා බං... නටාගෙන නටාගෙන යනවා යකෝ...
මල හත්තිලව්වයි.. අමරදේවගෙ සිංදුවට ඔහොම නටතෑකියැ..
මචං.. මං කොයි එකටත් වතුර බාල්දිය ගහන්නද..
එපා බං.. එයා පොස් නිසා නටාගෙන නටාගෙන යනවා වෙන්නැති බං..
එකපාරට සිංදුව නැති උනා.. ඇන්ටි මිසින් උනා..බැන්ඩ් එක බැහැලා ගියා...
යාන්තං දවල් 1යි 45 ට උන් ආවා ස්ටේජ් එකට...2ට මගුල ඉවරයි.....
ඒයි වරෙන් බං නටන්න.. අන්න අරුං ආවා.... දැන් නටමු..
එතකොටම කොන්ඩෙ උල් වෙන්න හදා ගත්ත අයියා කෙනෙක් කියපු
කෝ බෘං ගෙ කොල්ලො සෙට් වෙන්න පොඩි ෆන් එකක් ගන්න...
හැහ්.. මොකාද යකෝ බෘං කියන්නේ..
බෘං නෙමේ කොකටුවො.. ගෘම්. මනමාලයා යකෝ.
ආහ්.. සිංහලෙන් කියන්න එපායැ.. ඇන්න අරූ කතා කරනවා එහෙනන්. වරෙන් නටමු..
ටෙස්ටිං වං වං වං..
හැහ්.. ඒක භාතියලගෙ සිංදුවක් බං..
නෑ යකෝ.. ඒක මයික් ටෙස්ට් කරනවා..
කමෝන් කොල්ලනේ.. මෙන්න නටන්න සිංදුවක්..මයික් අයියා කෑගහද්දි කොටා මැද්දට පැනලා මැන්ඩියට කකුල් දෙක තියාගෙන ඉන්නවා...
“අම්මා... පෙවු කිරි කඳුළින්.. ලෝකය මෙතරම් .. හැඩවේදෝ...“
කොටාට මල පැන්නා..
අඩෝ.. මුගෙ අම්මට එන්න කියාපං ඩෝ.. දනහිස දෙකට නැමෙන්න බීලා ඉද්දි අම්මටද යකෝ නටන්න කියන්නේ..
දණීපනි ගාලා කොටාව ඇදගෙන ගියා කාර් එක ලගට.. මූ.. පොලෙවෙ පස් කනවා නටන්න ඕනි කියලා.. ඒ ගමන කාර් එකේ තිබ්බ ජෝතිපාල සන්ෆලවර්ස් එක්ක ගහපු කැසට් එක දීලා ෂේප් කරගත්තා.

හප්පා.. මෙන්න ජෝඩුව යනවා..
ඒයි සුදා.. උඹලා යනවද.. අපිට කන්න කෑම..
තොපිලා තාම කෑවෙ නැද්ද යකෝ.. දැන් ඔක්කොම ඉවරයි.. දැන් ඉස්සරහා කඩෙන් කොත්තු ටිකක් කාල ගෙදර පලයන්..
ආහ් .. තැන්කූ සුදා.. උඹට පුලුවන් නන් ඕඩර් එකත් දීලම පලයන් ඇ....
මෙන්න ඒ ගමන කොටා ඔලුව බිම තියාගෙන පොලොවෙ පස් කන්න යනවා..
මොකක්ද යකෝ උඹ කරන්නේ..
මං මේ ඔලුවෙන් කැරකෙන්න යනවා යකෝ..
නොදකින්.. තෝ කැරකියන්.. මං යනවා කොත්තු තුනකට ඕඩර් එකක් දාන්න...සික් විතරක්.. ඒ මගුලෙත් කන්න හම්බ උනේ නෑනේ.....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...